ඇතා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:29, 3 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න
3-65.jpg
(අලියා). දැනට ජීවත්ව සිටින ගොඩබිම් වැසි ක්ෂීරපායි සතුන් අතුරෙන් විශාලතම සත්වයා ඇතාය. අභාවයට ගිය සතුන් අතුරෙන් ඔලිගොසීන අවධියෙහි විසූ බලුකිතේරියුම් (Baluchitherium) නමින් දන්නා විශාල රයිනොසිරසුන් ද ඩයිනොසෝර් (dinosaur) නමින් දන්නා ඇතැම් උරගයන් ද අලියාට වඩා විශාල වූහයි සැලකිය හැකිය. අලියා මමාලියා (බ.) වර්ගයෙහි ප්‍රොබොස්කිඩෙයා (Proboscidea) ගෝත්‍රයෙහි එලෙෆන්ටිඩෙ (Elephantidae) කුලයට අයත්ය. ප්‍රොබොස්කිඩෙයා යන්නෙහි අදහස ‘සොඬක් ඇති සත්වයෝ’ යන්නයි. එලෙෆන්ටිඩේ කුලයට අයත් දැනට ජීවත්ව සිටින විශේෂ දෙකට පමණක් නොව ප්ලයොසීන අවධියේ සිට මෑතක් වන තුරු ජීවත් වූ යථෝක්ත කුලයට අයත් වූවනට ඉතා නුදුරු සම්බන්ධකම් ඇත්තවුනට ද අලියා යන නාමය යෙදේ. මේ සත්වයෝ යුරෝපය, අප්‍රිකාව, ආසියාව හා උතුරු ඇමෙරිකාව යන මහාද්වීපයන් පුරා ම ජීවත්ව සිටියහ. දැනට ජීවත්ව සිටින අලි විශේෂ දෙක නම් ලොක්සොඩොන්ටා අෆ්‍රිකානා (Loxodonta africana) සහ එලෙෆාස් මක්සිමුස් (Elephas maximus) ය. ලොක්සොඩොන්ටා අෆ්‍රිකානා නම් අප්‍රිකානු අලියා අප්‍රිකා මහාද්වීපයෙහි සහරා කාන්තාරයට දකුණින් පිහිටි කොටසෙහි වාසය කරයි. අප්‍රිකානු කුරු අලි වර්ගයක් කොංගෝ ප්‍රදේශයෙහි දක්නට ලැබේ. මේ ඇතකුගේ උස සාමාන්‍ය අලියකුගේ උසින් අඩක් පමණ වේ. එලෙෆාස් මක්සිමුස් නම් වූ ආසියානු අලියා ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාව, කාම්බෝජය සහ සුමාත්‍රාව යන දේශයන්හි වනාන්තරවල වාසය කරයි.

අප්‍රිකානු ඇතා හා ආසියානු ඇතා අතර නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ. ඉන්දියානු අලියාට වඩා අප්‍රිකානු අලියා තද කළුපාටය. උගේ කන් වඩා ලොකුය. උගේ හම ද වඩා රළුය. අප්‍රිකානු අලියාගේ හොඬවැල කෙළවරේ ඇඟිලි වැනි තුඩු දෙකකි. ආසියානු අලියාට ඇත්තේ එවැනි තුඩු එකකි. අප්‍රිකානු අලියාගේ ශරීරයෙහි ඉතා ම උස් ප්‍රදේශය උගේ උරහිසය. උගේ පිට පහත්ය. ඉන්දියානු අලියාගේ පිට ඉහළට නෙරා තිබේ. එය උරහිසට වඩා උස්ය. අප්‍රිකානු අලියාගේ පස්සා පාදයෙහි නියපොතු 4 බැගින් ද ඉස්සරහ පාදයෙහි නියපොතු 5 බැගින් ද තිබේ. ආසියානු අලියාගේ ඉස්සරහ පාදයෙහි නියපොතු 5 බැගින් ද පස්සා පාදයෙහි නියපොතු 4ක් හෝ 5ක් බැගින්ද තිබේ. අප්‍රිකානු අලියාගේ පිරිමි සතාටත් ගෑනු සතාටත් හොඳට විකසනය වූ දළ තිබේ. ආසියානු අලින් අතර දළ ඇත්තේ පිරිමි සතාට පමණි. එහෙත් හැම පිරිමි සතකුට ම දළ නැත. ගෑනු සතාට අවශිෂ්ට දළ තිබිය හැකිය. අප්‍රිකානු ඇතා ඉන්දියානු ඇතාට වඩා දරුණුය.

ඇතාගේ පරිණාමය

අලියාට සබඳකම් ඇති සතුන්ගේ පාෂාණිභූත ධාතු රාශියක් නොයෙක් රටවලින් සොයාගෙන තිබේ. මේ පොසිල සොයාගැනීමත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමත් නිසා අවුරුදු කෝටි ගණනක් මුළුල්ලේ ඇතා පරිණාමය වෙමින් වර්තමාන හැඩහුරුකම දක්වා පැමිණි ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වී තිබේ. අලියාට සබඳකම් ඇති සතකුගේ පැරණි ම පාෂාණිභූත ධාතුව මොඑරිතේරියුම් (Moeritherium)ය. මෙය මිසරයේ ඉහළ ඉයෝසීන (Upper Eocene) අවධියට අයත්ය. මේ සතා උසින් අඩි දෙකක් පමණක් විය. ඌට හොම්බක් තිබුණා යැයි සිතිය හැකිය. දිගිටි හිස් කබලක් ද කුඩා දළ ද තිබිණි. මොඑරිතේරියුම් වැනි ඇතැම් සතුන්ගේ පටන් ඇතාට සමාන සත්ව විශේෂ 350ක් පමණ ඇති වී යයි තම ජීවිතයෙන් වැඩි කාලයක් අලියාගේ පරිණාමය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ගත කළ එච්.ඇෆ්. ඔස්බෝන් සඳහන් කොට තිබේ. මේ විශේෂ අතුරෙන් වර්තමානයෙහි ජීවත් වන්නේ මේ ලිපියේ මුල දී සඳහන් කෙරුණු විශේෂ දෙක පමණි. මොඑරිතේරියුම් පහළ ඔලිගෝසීන (Lower Oligocene) අවධිය තෙක් ජීවත් විය. ෆියෝමියා (Phiomia) නම් සත්වයා ජීවත් වූයේ පහළ ඔලිගෝසීන අවධියෙහිය. මේ සතා මොඑරිතේරියුම්ට වඩා දෙගුණයක් විශාල විය. එසේ ම ඌට වඩා දියුණු සත්වයෙක් ද විය. උගේ හනු දෙකෙහි ම දළ තිබිණි. පේලියොමැස්ටොඩොන් (Palaeomastodon) නම් සත්වයා වාසය කෙළේ මේ කාලයේ දී මය. ඌ උසින් අඩි 6ක් පමණ විය.

3-66.jpg

මීළඟ අවුරුදු කෝටිය ඇතුළත අලියාගේ පරිණාමය සම්බන්ධයෙන් අප දන්නා තොරතුරු ස්වල්පය. මයෝසීන (Miocene) අවධියෙන් ගොම්ෆොතේරියුම් (Gomphotherium) ගණයට අයත් සත්ව විශේෂ ගණනක් ගැන ම අපට දැන ගන්නට ලැබී තිබේ. උන් සියලු දෙන ම දිග හනු ඇති සත්තුය. මයෝසීන අවධියෙන් පසු පාෂාණිභූත ධාතු විශාල සංඛ්‍යාවක් සොයා ගෙන තිබේ. එහෙත් එක් සත්ව වර්ගයකින් අන් සත්ව වර්ගයක් පරිණාමය වී ඇතැයි නිසැකයෙන් කිය නොහැකිය. සමාන්තර ලෙස වෙන වෙන ම පරිණාමය වී ගිය විකසන මාර්ග කිහිපයක් තිබුණේ යැයි සිතිය හැකිය. ඉතා දිගිටි වූ හනු මයෝසීන අවධියේ අවසානයේ සිට කෙටි වීමට පටන් ගත්තේය. හොඬවැල දික් වී නියම ඇතකුගේ ස්වභාවය ඇති වූයේ මේ කාලය ඇතුළත යැයි සිතිය හැකිය. වර්තමාන අලියාගේ පෙළපත පළමුවෙන් හඳුනා ගත හැක්කේ පහළ මයෝසීන අවධියේ දීය. ස්ටෙගොලොෆොඩොන් (Stegolophodon) සහ ස්ටෙගොඩොන් (Stegodon) යන සත්ව විශේෂ දෙක ප්ලයෝසීන (Pliocene) අවධියත් ප්ලයිස්ටොසීන (Pleistocene) අවධියත් අතර කාලයෙහි විසූ බව පෙනේ. මුන් දෙදෙනාගේ යටි හනුව කෙටිය. හිස්කබල පිළියෙල වී තිබෙන ආකාරය අලියාගේ මෙනි. උන්ට වක් වූ අතිමහත් උඩු දළ තිබිණි. මැමත් (මමුතුස්-Mammuthus) නම් සත්වයා ද ලොක්සොඩොන්ටා සහ එලෙෆාස් නම් වර්තමාන අලි දෙදෙනා ද ඇති වූයේ ස්ටෙගොලොෆොඩොන් හා ස්ටෙගොඩොන් වැනි සතුන්ගෙනි. මැමත් නම් සත්වයාට දික් වූ ද වක් වූ ද දළ තිබිණි. ඒවායේ අග කොටස උඩට නැමී තිබිණි. උගේ සර්වාංගයෙහි ඝනව වැඩුණු රළු රෝම විය. ප්ලයිස්ටොසීන අවධියෙහි මැමත් නම් සතුන් විශාල සංඛ්‍යාවක් යුරෝපයේ ද උතුරු ආසියාවේ ද උතුරු ඇමෙරිකාවේ ද විසූහ. මෑතක් වන තුරු ම ඒ සත්තු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ වාසය කළහ. මේ රටවල ග්ලැසියරවල තිබී මේ සතුන්ගේ මළකුණු විශාල සංඛ්‍යාවක් හමු විය. මැමත් බොහෝදුරට ඉන්දියානු අලියාට සමාන වූයේය. මැස්ටොඩොන් (Mastodon) නම් සතා ද අලියාට සමාන වූ ලොකු සතෙකි. උන් විශාල සංඛ්‍යාවක් ප්ලයිස්ටොසීන අවධියේ දී උතුරු ඇමෙරිකාවේ විසූහ. වර්තමාන අලියාගෙන් ඌ වෙනස් වන්නේ චාර්වක දත්වල හැඩයෙනි. උඩු හනුවේ දළ දෙක හැර යටි හනුවේත් කුඩා දළ දෙකක් ඌට ඇතැම් විට තිබිණි.

3-67.jpg

ඇතා වැනි විශාල සතකුට යැපීම සඳහා උවමනා විශාල ආහාර ප්‍රමාණය රැස් කර ගැනීම පිණිස විශේෂ උපක්‍රම තිබීම අවශ්‍යය. මේ අතින් අලියා කෙරෙහි ඇතැම් විශේෂාංග තිබෙන බව අපි දනිමු. ඌට ආහාර සොයා ගැනීම සඳහා කාර්යයක්ෂම ස්නායු සංවිධානයක් ද ඒ රැස්කර ගැනීම සඳහා කාර්යක්ෂම ශරීරාවයවයන් ද එසේ ම ආහාර අඹරාගැනීම සඳහා උගේ දත්වල විශාල පෘෂ්ඨ ද ඇත්තේය.

හොඬවැල ද්‍රව්‍ය රැස්කිරීමට උපයෝගී වන ප්‍රධාන ශරීරාවයවයයි. ඒ වූකලි කෙළවර නාස් පුඩු පිහිටා ඇති බොහෝ දික් වූ නැහැයක් සහ උඩු තොලකි. ඉහළට, පහළට සහ පැත්තෙන් පැත්තට චලනය කරනු සඳහා අදාළ වන පේශී 500ක් පමණ ඊට ඇත්තේය. නොයෙක් ද්‍රව්‍ය අල්ලාගැනීමට උපකාර වන අතිසංවේදී වූ තුඩක් ද එහි තිබේ. අලියා ලොකු සතකු බැවින් බිම තිබෙන දෙයක් අහුලා ගැනීමට ක්‍රමයක් ඌට තිබිය යුතුය. මේ කාර්යය සඳහා දිග බෙල්ලකට වඩා හොඬවැලක් තිබීම ඉතා ප්‍රයෝජනවත්ය. අනෙක් ක්ෂීරපායී සත්තු ජලයට මුව පොවා දිය බොති. මේ දිය පීමේ සාමාන්‍ය ක්‍රමය ඇතා විසින් අනුගමනය කරනු නොලැබේ. ඇතා හොඬවැලින් දිය ගෙන මුව තුළට විදගනී. ඌ මුව පෝනා තෙක් ජලයේ සිටිය ද මුවින් දිය නොබොයි. හොඬවැලේ පරිණාමයත් බෙල්ල කෙටි වීමත් සමඟ ම දිය පීමේ සාමාන්‍ය ක්‍රමය වෙනුවට ඌට මේ ක්‍රමය ඇබ්බැහි විය. අලියා තම හොඬවැල තුළට දිය උරාගෙන සිරුර සිසිල් කරගනු වස් ඊ මත දිය පිඹී. වර්තමාන අලියාට ඇත්තේ නොකඩවා ම වැඩෙන කෘන්තක යුග්මයක් පමණි. එනම් උඩට නැමී ඇති විශාල දළ දෙකයි. කෙළවර ඇති තාවකාලික එනැමල් ශිරස්කය හැර දළ සෑදී ඇත්තේ ඝන දන්තිනයෙනි. ආරක්ෂාව සඳහා පිටුවහල් වන මේ දළ ඇතැම් විට ආහාර රැස් කර ගැනීම සඳහා ද ප්‍රයෝජනවත් වේ. යටි හනුවෙහි රදනක හා කෘන්තක නැත.

ආහාර අඹරා ගැනීමෙහි ලා අලියාට ඇති කාර්යක්ෂම උපකරණය නම් උගේ සංකීර්ණ දත්ය. උස් වූ තියුණු හරස් වැටි බොහොමයක් ඇති විශාල චාර්වක දත් ඌට ඇත. මේ චාර්වක දත්වලින් නොයෙක් ශාක වර්ගයන් කුඩා කැබලි බවට පත් කරනු ලැබේ. ඉක්මනින් වැටෙන කුඩා පුරශ්චාර්වක දත් තුනකි. ඒවා වැටුණු පසු චාර්වක තුන ශ්‍රෙණියක් වශයෙන් විකසනය වේ. මේවා පිළිවෙළින් ප්‍රයෝජනයට ගනු ලැබේ. ඕනෑ ම අවස්ථාවක, ප්‍රයෝජනයට ගනු ලබන්නේ එක් එක් හනුවේ දෙපැත්තෙහි ඇති දත් දෙකක කොටස් පමණි. අලියකුගේ ජීවිත කාලය තුළ දී කෑම අඹරන පළල් වූ චාර්වක දත් ගෙවී යත් ම ඒවා ක්‍රමයෙන් යථාතත්වයට වැඩේ. අලියා ශාකභක්ෂක සත්වයකු වුව ද උගේ ආමාශය සහ අන්ත්‍ර සරලය. ආහාර පැසවීම සඳහා විශේෂ කුටියක් ද නැත. මේ කාර්යය සඳහා උගේ අන්ත්‍ර දිගින් සහ විශාලත්වයෙන් ප්‍රමාණවත් යැයි සිතිය හැකිය.

3-68-1.jpg

ඇතාගේ පර්ශු මහත් බරක් උසුලන නිසා ශ්වසනය සම්පූර්ණයෙන් ම වාගේ සිදු වන්නේ මහාප්‍රාචීරය මගිනි. උරස් කුහරයේ හිත්තීන්ට පෙණහැලි සම්බන්ධ වී තිබේ. අලියාගේ කකුල් අති විශාල කුලුනු වැනිය. යටිපතුල ස්ථූල තන්තුමය පටකයක් මත පැතුරුණු ඝන සමකින් යුත් වටකුරු කොට්ටයකි. මෙයට අලියාගේ අතිමහත් බර ඉසිලිය හැකිය. වලිගය ඌරාගේ වලිගයට තරමක් සමානය. අලියාගේ ඇස් කුඩාය. ශබ්දය සහ ආඝ්‍රාණය පිළිබඳ දැනීම ඉතා දියුණුය. අලියාගේ ප්‍රජනක ඉන්ද්‍රිය අසාමාන්‍යය. පිරිමි සතාගේ වෘෂණ උදරය ඇතුළත පිහිටා තිබේ. ඒවා අශ්වයන්ගේ හා ගොනුන්ගේ වෘෂණ මෙන් කෝෂයක් වශයෙන් පහතට නොඑල්ලේ. ගෑනු සතාගේ යෝනිය ගුදයට පහළින්, පාදද්වය අතර පිහිටා තිබේ. එහෙයින් අලි ඇතුන් ගැන හොඳින් දන්නා කෙනකුන්ට හැර අන් අයට අලියකුගේ හා ඇතින්නකගේ වෙනස දත නොහැකිය.

ඇතාට උගේ හොඬවැල සතුරනට පහර දීමේ ආයුධයක් හැටියට ද යොදාගත හැකිය. ඌ සතුරකුට පහර දෙන්නේ හොඬවැල මුඛය දෙසට හකුළා එය වහා දිග හැරීමෙනි. අලියාට උගේ හොඬවැලින් අතු කැබැලි හෝ ගල් කැබැලි වැනි දේ අහුලා අඩි 150කටත් වඩා ඈතින් සිටින අය දෙසට එල්ලය නොවරදවා ඉතා වේගයෙන් වීසි කළ හැකිය. ඌ තම හොඬවැල විශේෂයෙන් පරෙස්සම් කරයි. එය තුවාළ වුවහොත් හෝ ක්‍රියා විරහිත වුවහොත් ඌට සාගින්නෙන් මරුමුවට පත් වීමට සිදු වේ. අලියාගේ පාදය අන් සතුන්ගේ පාදයන්ට වඩා බෙහෙවින් වෙනස්ය. පතුල තදය; දැඩිය; එහෙත් අතිශයින් සංවේදීය. ගාතයේ ඇට අශ්වයන්ගේ හා ගවයන්ගේ ගාත් ඇටවලට වඩා ඍජු ආකාරයකින් පිළියෙල වී තිබේ. අලියා සිටගන්නේ අත් ඇඟිලි (ඉස්සරහ පාද) හා පා ඇඟිලි (පස්සා පාද) තුඩුවලින් යැයි කිව ද වරදක් නැත. මේ කරුණත් උගේ විශාලත්වයත් හේතු කොටගෙන අලියාට පැනීමට ද හැල්මේ හෝ පිම්මේ දිවීමට ද නුපුළුවන. ඌට පැයට සැතපුම් 15ක් තරම් වූ වේගයකින් ගමන් කළ හැකිය. අලියා පිහිනීමට ද කඳු නැඟීමට ද ඉතා දක්ෂය.

අලියා වෘක්ෂලතාදිය විශාල ප්‍රමාණයක් (රාත්තල් 1,000 දක්වා) දිනපතා බුදී. ඒ ආහාර උගේ ආමාශය සහ බඩවැල් තුළින් ඉක්මනින් ගමන් කරන හෙයින් සම්පූර්ණයෙන් නොදිරයි. මේ අසම්පූර්ණ දිරවීම නිසා අලිපෝර ගවයන්ගේ සහ ඌරන්ගේ පෝර තරම් ප්‍රයෝජනවත් නොවේ යයි කියත්. ජලය විශාල ප්‍රමාණයක් ද දිනපතා ඌට වුවමනා කරයි. අලියා සෙවණැති තැන්වලට ද ගංගා, විල් පොකුණු ආදියට ද බෙහෙවින් ප්‍රිය කරයි. එසේම ඌ මුහුදේ වුව ද පීනන්නේය. තද ඉරුඑළිය (අව්ව) ඌට නුරුස්සයි. සම ඝන වුව ද මැසි මදුරු ආදි සතුන් දෂ්ට කරනු ඌට තදින් දැනෙන්නේය. අලියා වැඩි වේලාවක් නොනිදයි. පැයක් දෙපැයක් නිදාගත් පසු නැගිට කෑමට පටන්ගනී.

බෝවීම

ඇතුන් බෝවන ක්‍රමය හා කාලසීමාවන් පිළිබඳව තොරතුරු අප්‍රකට වුවද ඇතින්නක සාමාන්‍යයෙන් දෑවුරුද්දකට වරක් පැටවකු ලබන බව කියත්. බොහෝ විට මව් ඇතින්න අසල මුලින් ලැබුණු පැටවා මෙන් ම බාල පැටවා ද එක විට සිටිනු දක්නා ලැබේ. ඇතින්නක් අවුරුදු අටක් හෝ නවයක් වයස් වූ විට තම ප්‍රථම පැටවා ලබයි. උන්ට බොහෝ වයස්ගත වන තුරු ම පැටවු ලැබෙති. සම්භෝගය පතන ඇතින්න පිරිමි සතාගේ සිත ඇදගනු වස් මෘදු ස්වරයෙන් නාද කරයි. ඉක්බිති ඒ යුවළ සතියක් පමණ කල් එකට වාසය කරති. උන් සංසර්ගයෙහි යෙදෙන්නේ සාමාන්‍යයෙන් විනාඩියක් පමණ කාලයකි. එහෙත් දින කීපයක් මුළුල්ලේ වරින් වර කීප වතාවක් සංසර්ගය සිදු වීමට ඉඩ ඇත. ඇතුන් රැළේ යෑමේ දී ඇත් රංචුවෙන් ඈත් වන බවත් මනුෂ්‍යයන් හමුවෙහි සංසර්ගයෙහි නොයෙදෙන බවත් බොහෝ දෙනාගේ කල්පනාවයි. එහෙත් එය එසේ නොවේ. සාමාන්‍යයෙන් රැළේ යෑම සිදු වන්නේ වනයේ නිසංසල තැන්වල දී හෝ ගංගාවල දීය. එය මිනිසුන් බලා සිටිය දී වුව ද සිදු විය හැකිය. ජලයට බෙහෙවින් ආශා කරන මේ සතුන්ගේ රැළේ යෑම බොහෝ විට සිදු වන්නේ ගංගාවල දී හෝ මඩ ගොහොරුවල දීය.

ගැබ් කාලය මාස 18 සිට 22 දක්වා වේ. සාමාන්‍යයෙන් වරකට උපදින්නේ තනි පැටවෙකි. එහෙත් නිවුන් පැටවුන් උපන් අවස්ථා ද ඇත. 1940 අප්‍රේල් මාසයේ දී අවුරුදු 25ක් වයසැති ඇතකු අවුරුදු 20ක් වයසැති ඇතින්නක හා රැළේ යෑමෙන් 1941 දෙසැම්බර් මාසයේ දී ඒ ඇතින්නට ගෑනු පැටවුන් දෙදෙනකු උපන් බව ලංකාවෙන් වාර්තා වී ඇත. පළමු පැටවා උපන්නේ උදේ 5ට පමණය. දෙවෙනි පැටවා උපන්නේ උදේ 7ට පමණය. පළමු පැටවා ඉපදී පැය එකහමාරක් ජීවත් විය. ඇතින්න තම ඉදිරි පාදවලින්, පරිස්සමින් පැටවා පෙරළෙන අයුරින් සියුම් ලෙස තල්ලු කරමින් ඌට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට සැලැස්වූවාය. උපදින විට ම මැරී සිටි දෙවෙනි පැටවාට ඈ එසේ කිරීමට මහන්සි නොගත්තාය. ඌ උපන් අවස්ථාවෙහි ඇයගේ දෙකොපුලින් කඳුළු ධාරා ගලන්නට විය.

ඇතැම් නිරීක්ෂකයන් කියන හැටියට අලි රංචුව මව් ඇතින්න කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. එසේ ම ඇය පැටවා ප්‍රසූත කරන විට ඔව්හු මුරකායක් මෙන් සැදෙති. ඇතින්න වැදෑමහ පිට කරන අතර ඔව්හු පැටවා සුරතල් කරති. වැදෑමහ පිට කළ කල්හි ඈ පැටවා උසුලාගනී. දිනක් හෝ දෙකක් ඇතුළත දී පැටවාට ඉක්මනින් ඇවිදිනු හැකි වෙයි. ඌ මුවින් කිරි උරයි. ඇතින්නගේ ස්තන ග්‍රන්ථි ගණනින් දෙකකි. තනපුඩු ඉස්සරහ ගාත්වලට පිටුපසින් පසෙකට නෙරා සිටී. ප්‍රථම ස්‍රාවය හෙවත් නවස්තන්‍යය (colostrum) ප්‍රෝටීන්, මේදය හා නොයෙක් විටමින් ආදියෙන් පොහොසත්ය.

අලිපැටියා අටමස් විය පමණේ දී තෘණ සහ කොළ වර්ග ටික ටික කෑමට පටන්ගන්නා නමුත් අවුරුදු දෙකක් හෝ තුනක් යන තුරු ම කිරි උරා බොන්නට බැරි නැතැයි කල්පනා කරනු ලැබේ. උත්පත්තියේ දී පැටියකුගේ බර රාත්තල් 200ක් පමණ වේ. ඉතා ඉක්මනින් උගේ බර වැඩි වේ. උස අඩි දෙකක් පමණ වේ. අවුරුදු 25ක් 30ක් වන තුරු ම ඌ උසින්, මහතින් හා දිගින් ක්‍රමයෙන් වැඩෙන්නේය. ඇතකුගේ ඉදිරි පාදයේ වට ප්‍රමාණය දෙකෙන් වැඩි කළ විට උගේ උරහිස් දක්වා වූ උස ප්‍රමාණය දළ වශයෙන් ලැබෙන බව කියත්.

රංචුවක ඇතකු හෝ අලියකු චණ්ඩ වූ විට ඌ රංචුවෙන් පිටමං කරනු ලැබේ. එවැනි සතා තනියා හෙවත් තනි අලියා වශයෙන් මෙරට හැඳින්වේ. ඌ ඉතා බිහිසුණු සතෙක් වේ. ඇතකු රංචුවෙහි සිටිය දී මිනිසුනට පහර දෙන්නට සැරසෙන්නේ කලාතුරකිනි. වඩා දරුණු වනුයේ හුදකලාව සිටින ඇතාය. සාමාන්‍යයෙන් මොව්හු පවා තදින් ශබ්ද කරතහොත් පලා යත්. ඔවුන් පහර දෙන්නේ ද කලාතුරකිනි. ඇත්තු මිනිසුන් මැරීමේ දී නොයෙක් ක්‍රම උපයෝග කොටගනිති. ගසකට හේත්තු කොට තද කිරීම, පොළොවේ ගැසීම, තම සිරුරේ පසකට හේත්තු කොටගෙන මිරිකීම, පෑගීම හෝ දණ ඔබා තද කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ක්‍රමයි.

මද කිපීම හෙවත් ‘කම්මුල් තෙමීම’ යනු සම්පුර්ණයෙන් වැඩුණු අලින්හට කලින් කල පහළ වන තත්ත්වයකි. කලාතුරකින් ඇතැම් ඇතින්නන් කෙරෙහි ද මේ තත්ත්වය දක්නට ඇත. ඇතැම් අලින්ට කලින් කල නොවරදවා ම මද කිපීම ඇති වේ. මද කිපුණු ඇතැම් අලි කලබල වෙති; අකීකරු බවක් පෙන්වති. මොව්හු ඇත්ගොව්වනට පවා අනතුරුදායක වෙති. ඇතැම් අලි උදාසීන වෙති; රළු වෙති.

කපෝල ග්‍රන්ථි ඉදිමීම මද කිපීමේ ලකුණුය. මේ ග්‍රන්ථීන්ගෙන් පිටවන තෛලමය ද්‍රව්‍යයක් කම්මුල් මතින් ගලා බැසීමට පටන්ගනී. මද කිපුණු කල ස්වල්ප වශයෙන් මූත්‍රධාරණය පවතින බවත් මද කිපුණු අලියා පහසුවෙන් මූත්‍ර කිරීමට පටන්ගත් වහා ම මද කිපීම නවතින බවත් එවන්ස් මහතා සඳහන් කරයි. මදකිපීම පවත්නා කාල සීමාව බෙහෙවින් වෙනස් වන්නකි. එය දවස් කීපයක් හෝ සති ගණනක් හෝ මාස ගණනක් හෝ විය හැකියි. මදකිපීම නැවැත්වීමට යම්කිසි ආහාරයක් දීම හෝ බෙහෙතක් පෙවීම සතාගේ සෞඛ්‍යයට අහිතකර යයි කියති. අලියකු කෙරෙහි මද කිපීමේ ලකුණු පහළ වූ විට ඌ අනික් අලින්ගේ ආශ්‍රයෙන් වෙන් කොට මැනැවින් බැඳ තැබිය යුතුයි. ඌට දිය යුත්තේ ළපටි කොළ ආහාර පමණයි. රුජා නාශක ඖෂධයක් දීම අවශ්‍යයි. ඇතැම් විට මද කිපුණු පිරිමි සතා ගැහැනු සතා කෙරෙහි තද ආශාවක් දක්වයි; ඇය කෙරෙහි කෝපාවිෂ්ටව පහර දෙන අවස්ථා ගැන ද අසන්නට ලැබේ.

අලියෙක් අවුරුදු 55ක් 60ක් වන විට මහලු වීමට පටන් ගනී. අවුරුදු 75කට 80කට වඩා ජීවත් වන්නේ ඉතා ටික දෙනෙකැයි කියත්. එහෙත් සමහර අලි අවුරුදු දෙසියයක් හෝ තුන්සියයක් ජීවත් වන බව පැරණි සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වේ. වනාන්තරවල දී වයස්ගත අලියාට රංචුවේ නායකත්වය නොලැබී යයි. ශක්ති සම්පන්න තරුණ අලියකු විසින් ඌ පන්නා හරිනු ලැබේ. ඌට තදබල තුවාළ ලැබීමෙන් කෑම්පීම් ආදිය ලබාගැනීම දුෂ්කර වේ. එවිට ඌ ක්‍රමයෙන් නිරාහාරව ගං ඉවුරක මැරී යයි. මළකුණ ඉත්තෑ, සිවල්, කූඹි ආදි සතුන් විසින් කා දමනු ලැබේ. හස්තීන් මරණය ළංවූ විට විශේෂ රහස් තැනකට ගොස් මිය යතැයි යෙන ජනප්‍රවාදය මිථ්‍යාවකැයි සලකනු ලැබේ.

ලංකාවේ ඇතා

දඩයම විනෝදය කරගත්තවුන් විසින් ද ගැමියන් විසින් ද අවුරුදු ගණනක් මුළුල්ලේ දයාවිරහිත ලෙස මරා දමනු ලැබීමෙන් පසුත් ඇත්තු දිවයිනේ බොහෝ පෙදෙස්වල නිතර දක්නට ලැබෙති. මෙහි වනාන්තරවල 1,700ක් පමණ වල් අලින් සිටින බව ලංකාවේ සත්වාරක්ෂක සංගමයේ සී.ඊ. නොරිස් මහතා විසින් මෑතක දී ගණන් බලා ඇත්තේය. මේ අලි නීතිවිරෝධි ලෙස වෙඩි තැබීමට හෝ ඇල්ලීමට හෝ ඉඩ නොතබා උන් ආරක්ෂා කොට, උන්ට ප්‍රමාණවත් තරමින් ආහාර සොයා ගැනීමට මං සැලසිය හැකි නම් උන් වඳ වී යෑම වළකාගන්නට පිළිවන් විය හැකිය. එහෙත් තම වගාවන් අලින්ගෙන් බේරාගැනීමේ අදහසින් ගැමියන් උන්ට වෙඩි තැබීම තවදුරටත් කෙරීගෙන ගියොත් වැඩි කලක් යන්නට පෙර උන් වඳ වී යනු නිසැකයි. මෙය මහත් ඛේදජනක සිද්ධියක් වනුයේ වටිනා සතකු නැති වී යෑම නිසා පමණක් නොව, ලංකාවේ අලියා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වන නිසාත්ය. ලංකාවේ අලින් අනික් අලිවර්ග සියල්ලකට ම වඩා ශක්තියෙන් ද බුද්ධියෙන් හා එඩිතරකමින් ද උසස් වූ හයි ‘ගංගා නදී නිම්න වාසීන්ගේ’ මහ නරදෙටු වූ චන්ද්‍රගුප්තයන් විසින් මහා ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතීනට කියන ලද බව පැරණි ග්‍රීක ග්‍රන්ථයක සඳහන් වේ. ඒ පැරණි අවධියෙහි දී ලංකාව දහස් ගණන් අලින්ගෙන් ගහන විය. උන්ගෙන් විශාල සංඛ්‍යාවක් අල්ලා යුද්ධයට පුහුණු කිරීම සඳහා ඉන්දියානු කුමාරයනට විකුණනු ලැබූහ.

යුද ඇත්තු

ඉන්දියාවේ කුමාරවරුන් හා රජවරුන් ඔවුනොවුන් හා යුද වැදීමේ දී පමණක් නොව රට ආක්‍රමණය කිරීමට පැමිණි ග්‍රීකයන් හා සටන් කිරීමේ දී ද අලි යොදවනු ලැබූහ. මහා ඇලෙක්සැන්ඩර්ට විරුද්ධව යුද වැදුණු ඉන්දියාවේ පෝරස් රජුගේ හමුදාවෙහි යුද ඇතුන් 200ක් වූ බව සඳහන්ය. සිරියානු රජවරු මිසරයේ ටොලමි පරපුරේ රජවරුන් හා සමඟ සටන් කිරීමේ දී ද එපිරස්හි පිරස් රජ ඉතාලිය ආක්‍රමණය කිරීමේ දී ද ඇත් හමුදා යොදා ගත්හ. මිසරයේ ටොලමි පරපුරේ රජවරුනට ආසියාතික අලින් මිල දී ගෙන ගොඩබිමින් ගෙන්වාගැනීමට නොහැකි විය. එහෙයින් ඔව්හු වෙළෙඳ නැව් කණ්ඩායමක් ඇති කළහ. රතු මුහුදේ නැව් තොටවල සිට යාත්‍රා කළ ඒ නැව් ලංකාවටත් ඉන්දියාවටත් පැමිණියේය. වර්තමානයෙහි සොමාලිලන්තය සහ ඇබිසීනියාව නමින් දන්නා අප්‍රිකානු පළාත්වල දී ඒ නාවිකයෝ අප්‍රිකානු අලින් ද අල්ලා ගත්හ. මිසරයේ ටොලමි පරපුරේ රජවරුන් හා සිරියන්වරුන් අතර කැරුණු එක් සටනක දී (ක්‍රි.පූ. 217) අප්‍රිකානු අලි ආසියාවේ අලින් සමග පොර එළවන ලදහ. අප්‍රිකානු අලින් ආසියාතික අලිනට වඩා දුබල බව එහි දී පෙනී ගියේය.

පසුව වයඹදිග අප්‍රිකාවේ කාර්තේජියානුන් විසින් දැන් අවිද්‍යමාන මොරිටේනියන් වර්ගයට අයත් අලි අල්ලාගනු ලැබූහ; නැතහොත් මිල දී ගනු ලැබූහ. මොරිටේනියන් අලි ඉතා කුඩා අප්‍රිකානු අලි වෙසෙසකි. හැමිල්කාර්, හැස්ඩ්රුබාල් සහ හැනිබල් යන තිදෙනා රෝම අධිරාජ්‍යය හා සමඟ කළ සුප්‍රකට යුද්ධවල දී උන් උපයෝගී කරගත්හ. පළමුව මේ අලි රෝමවරුන් මහත් සේ බය ගැන්නූ නමුත් අවසානයේ දී උන්ගෙන් කාර්තේජියානුන්ට වූයේ උපකාරයක් නොව අපකාරයකි. ගින්නෙන් සහ ඝෝෂා පැවැත්වීමෙන් අලින්ගේ ධෛර්යය හීන කළ හැකි බව රෝමවරු ඉක්මනින් වටහාගත්හ. ජූලියස් සීසර්ගේ අරෝකාර සිපියෝගේ අප්‍රිකානු මිත්‍රයා වූ ජුබාට යුද අලින් 64 දෙනකුන් සිටිය දීත් ක්‍රි.පූ. 47 දී තැප්සස් සටනේ දී ජූලියස් සීසර් අතින් සිපියෝ අන්ත පරාජයට පත් වූයෙන් එයින් පසු මධ්‍යධරණී සමුද්‍රාසන්න රටවල පවා සංග්‍රාමවලට අලින් උපයෝගී කර නොගත්හ. එහෙත් ක්‍රි.ව. 232 දී රෝම අධිරාජයා වූ ඇලෙක්සැන්ඩර් සෙවෙරස් හා කළ යුද්ධයේ දී පර්සියාවේ සැසනිද් රජවරුන් විසින් අලි උපයෝගී කරගන්නා ලදහ. ඉන් පසු, ශත වර්ෂ ගණනක් ම ආසියාතික ජාතීන් අතර කැරුණු යුද්ධවල දී, විශේෂයෙන් බුරුමයත් සියමත් අතර කැරුණු යුද්ධවල දී, අලි යොදාගනු ලැබූහ. මේ රටවල ‘සුදු’ අලි (ඇළි ඇත්තු) මහත් හරසරින් සලකනු ලබත්. සමෙහි වර්ණක නොමැති ඇළි වර්ගයේ අලි හෙවත් සුදු අලි දුර්ලභය.

ප්‍රයෝජන

ගිරි දුර්ග හා වන දුර්ග ප්‍රදේශයන්හි දැව, විශාල ගල් හා වෙනත් ලොකු බර ඇදීම අරභයා අලියාගෙන් ඇති ප්‍රයෝජනය කිව නොහැකි තරම්ය. යාන්ත්‍රික යුගයට ප්‍රථම අලියා බර ඇදීම සම්බන්ධයෙන් දැනට වඩා බෙහෙවින් ප්‍රයෝජනදායී විය. ලංකාවේ ජාතික උත්සව සමයයන්හි දී වැදගත් තැනක් ගන්නා ඔව්හු දළදා පෙරහර වැනි පෙරහරවලට සහභාගි කරගනු ලැබෙති. සිංහල රජ කාලයේ දී ඇතා රාජාදීන්ගේ වාහනය විය. එකල ඇත්පොර ජනප්‍රිය ක්‍රීඩාවක් විය. එය ‘ගජකෙළිය’ නමින් හැඳින්විණ (ඇත්පොර බ.). ඇතා රාජකීය වධකයා ලෙස යොදා ගනු ලැබූ අවස්ථා ද ඉතිහාසයෙහි සඳහන් වී ඇත. මෙකල ඔව්හු සර්කස් සඳහා පුහුණු කරනු ලැබෙත්. පසුගිය ශතවර්ෂය ඇතුළත දී බුරුමයේ සහ සියමේ තේක්ක කැළෑවල ඇත්තු බෙහෙවින් වැඩෙහි යොදවනු ලැබූහ. බුරුමයේ තේක්ක කැළෑවල සිටින ඇතුන් සම්බන්ධයෙන් ලියන ලද පොත් කීපයක කර්තෘ වූ විලියම්ස් මහතා විසින් 1939-1945 යුද්ධයට ප්‍රථමයෙන් බර වැඩට උපයෝගී කොටගත් හීලෑ අලින් හාර දහසකට අධික ගණනක් ද ඊටත් වඩා දහස් ගණනින් අධික වූ වල් අලි සංඛ්‍යාවක් ද බුරුමයේ සිටි බව දක්වා තිබේ. සියම, කාම්බෝජය, ලාඕස් යන රටවල ද ඉන්දු-චීනයේ අනික් කොටස්වල ද ඇති තේක්ක කැළෑවලත් දැව ඇදීම සඳහා ඇතා බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ඉතා පුරාණයේ පටන් ඇත් දළ විශේෂ වටිනාකමකින් යුත්, ශ්‍රෙෂ්ඨත්වය පිළිබිඹු කරන සැරසිලි භාණ්ඩයක් හැටියට පෙර අපර දෙදිග ම සලකනු ලැබීය (ඇත්දත් හා ඇත්දත් කැටයම් බ.).

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇතා&oldid=9326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි