ඇත්ගාල් හා අලි ඇල්ලීම
වනවාසී සතකු වූ හස්තියා දුරාතීතයේ සිට ම ඉන්දියාව, ලංකාව, බුරුමය, සියම වැනි පෙරදිග රටවල බර ඇදීම හා ආරෝහණය පිණිසත් යුද්ධ කාර්යය පිණිසත් වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් පිටරටවලට යැවීම උදෙසාත් හීලෑ කරගන්නා ලද බව ඉතිහාසයෙන් පෙනේ.
හීලෑ ඇතුන් අතර බෝවීම ඉතා ම දුර්ලභ හෙයින් කවර කාර්යයක් සඳහා වුව ද හීලෑ කර ගනු ලබන සෑම හස්තියකු ම වනයෙන් අල්ලා ගත යුතු වේ. මේ නයින් බලන කල ඇතුන් ඇල්ලීම ඔවුන් හීලෑ කිරීම තරම් ම පැරණි විය යුතුය.
ක්‍රි.පූ. 3 වන ශතවර්ෂය තරම් අතීතයේ දී කාර්තේජයෙහි හා මිසරයෙහි යුද පිණිස ඇත් හමුදාවන් යොදවන ලද බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඒ අතීත යුගයේ දී පවා ඇත්දත් වටිනා වෙළෙඳ භාණ්ඩයක් වූයෙන් ඒවා ලබාගැනීම පිණිසත් යුද කටයුතු පිණිසත් අප්‍රිකානු ජාතිකයෝ ඇතුන් ඇල්ලූහ. ක්‍රි.පූ. 275 පමණේ දී ටොලමි II නම් මිසර රජු යුද පිණිස අප්‍රිකානු ඇතුන් ඇල්ලීමට පටන්ගත් බව ද ක්‍රි.පූ. 3 වන සියවස අග දී ටොලමි III රජු විසින් ඇතුන් ඇල්ලීම යුද්ධ කාර්ය්ය පදනමක් මත සංවිධානය කරන ලද බව ද සුප්‍රසිද්ධ ඉතිහාසඥ ටාන් කියයි (යාවනික සංස්කෘතිය - Hellenistic Civilization). ටොලම් Vගේ කාලයේ දී ඇතුන් ඇල්ලීම අභාවයට යෑමට පටන්ගත් බව ද ඔහු පවසයි.
මෙකල ඉන්දු චීනයේ මීකොං නදියේ පහළ කොම්පෝං තෝම් නම් වූ පළාත ගංවතුරෙන් යට වන කාලයන්හි දී එහි අලි අල්ලන්නෝ, මඳක් වතුරෙන් යට වූ පෙදෙසෙහි ඉන්නා වල් අලින්ට හීලෑ ඇතුන් ලවා පහර දෙවීමෙන් ද ඝෝෂා කිරීමෙන් ද උන් ගැඹුරු දියට පන්නවා ඉක්බිති පහුරුවලින් ගොස් දම්වැලක් අමුණා ඇති ඇවුළුම් බිළියක් උන්ගේ කන් පසාරු කරගෙන යන සේ විද ජලයට යට වූ පෙදෙසේ ම ඇති ගස්වල උන් බැඳ දින කීපයක් අඩහාමතේ හෙම්බත්ව සිටින්නට හැර පසුව ගොඩට ගෙනැවිත් හීලෑ කර ගනිති.
හස්තීන් මෙල්ල කිරීම, හීලෑකිරීම, යුද ආදියට පුරුදු පුහුණු කිරීම, උන්ට වෙදහෙදකම් කිරීම ආදි කටයුතු ශිල්පයක් වශයෙන් ඈත අතීතයේ සිට ම පවත්වාගෙන ආ දඹදිව්හි ඇතුන් බැඳීමේ හෙවත් ඇල්ලීමේ ක්‍රම කීපයක් පැවැත්තේය. කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රය, හත්යායුර්වේදය, රණ හස්ති, කරටි කෞතුක, මාතඞ්ග ලීලා ආදි ග්රන්ථයන්ගෙන් වනහස්තීන් ඇල්ලීමේ දී උපයෝගී කර ගත් ක්රමයන් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
ඇතුන් ඇල්ලීම සඳහා යොදාගත යුතු කාලය ග්‍රීෂ්ම ඍතුව යයි ද අල්වාගත යුත්තේ අවුරුදු 40, 35, 25, 20 යන වයස්වලට අයත් ඇතුන් යයි ද කෞටිල්‍ය කියයි. කිරිබොන වයසේ සිටින ඇත් පැටවුන් (බික්ක), දිගින් ඇතිනියකගේ දළට සමාන දික් වූ දළ ඇති ඇතුන් (මුග්ධ), දන්ත විහීන ඇතුන්, රෝගී ඇතුන් හා පැටවුන්ට කිරිදෙන ඇතිනියන් (ධේනුකා) අල්වා නොගත යුතු ගණයෙහි ලා හේ සඳහන් කරයි.
වාරිබන්ධ, වශා බන්ධ, අනුගත බන්ධ, ආපාත බන්ධ, අවපාත බන්ධ යයි ඇතුන් බැඳීම සඳහා උපයෝගී කරගත් ක්‍රම පඤ්චකයකි. මොවුනතුරෙන් මුලින් කී බන්ධත්රය උතුම් කොට ද පසුව කී බන්ධද්වය නින්දිත ලෙස ද සලකන ලදි. නින්දිත වශයෙන් හැඳින්වූ බන්ධයන් ඇතුන්ගේ විනාශයට හේතු වන බැවින් ඒවා වර්ජනය කළ යුතු බව සඳහන් වේ.
පටුන
වාරි බන්ධය
ඇතුන් හැසිරෙන තැන් සෝදිසි කර බලා යෝග්‍ය භූමි භාගයක් හැම පැත්ත ම ආවරණය වන සේ විශාල වෘක්ෂයන්ගෙන් (දැව දඬුවලින්) හෝ දිය අගලකින් හෝ වට කර ඊට ඇතුන්ගේ ප්‍රවේශය සඳහා ද්වාරයක් හෝ දෙකක් තැබිය යුතුයි. මෙපරිද්දෙන් සකස් කරගත් භූමි භාගය වාරි යන නමින් හැඳින්වේ. ඒ අසල ඇතුන් අධික වශයෙන් කෑමට ප්‍රිය කරන සල්ලකී (කුන්දුරුක්කන්), කෙසෙල් හා උක්දඬු ද නෙළුම් අල හා හරිතවර්ණ පත්‍රාදිය ද දැමිය යුතුයි. ප්‍රියතම ආහාරයන් කෙරෙහි ලොල් වීමෙන් ඇතුන් එහි ළඟා වූ විට අවට රැස් වී බෙර ගැසීම් ආදී විවිධ ඝෝෂා පැවැත්විය යුතුයි. ඉන් බියට පත් වූ ඇත්තු යා හැකි අන් මගක් නැති කල්හි යථෝක්ත වාරියට (කොටු පතට) වැදෙති. මුළු ඇත් රැළ ම එහි ඇතුළු වූ විට බන්ධවේදීහු එකෙණෙහි ම වාරිද්වාරය වසති. ඉක්බිති අභ්‍යන්තරයට වැදුණු ඇතුන්ගේ ග්‍රීවා, බඳ හා පස්සා ගාත් ශක්තිමත් කඹවලින් වෙලා වෘක්ෂවල බඳිති. මෙපරිද්දෙන් කරනු ලබන බන්ධය වාරි බන්ධ නමින් හැඳින්වේ.
වශා බන්ධය
විශාල වූ ශරීර ඇති මනා කොට හික්මවනු ලැබූ අතිශයින් කීකරු වූ ඇතිනියන් සත්දෙනකු හෝ අටදෙනකු පිට නැඟුණු ආරෝහකයන්ගේ ශරීර පත්‍රවලින් ආවරණය කර ඔවුන්ගේ අත්වල ද ඇතිනියන්ගේ ශුණ්ඩයන්හි ද පාශයන් ඇතිව ඇත් රැළ කරා ගොස් ඇතුන්ගේ ශරීරයන්හි ඇතිනියන් ස්පර්ශ කරවීමෙන් ලොබ දනවා පාශාදිය යොදා ඔවුන් බැඳ ගැනීම වශා බන්ධ නම් වේ. වශා යනු ඇතින්න යන අර්ථවත් ශබ්දයකි. ඇතුන්ගේ සිත් ඇදගැනීම සඳහා ඇතින්නගේ ශරීරයේ ඖෂධ තෛලාදිය ආලේප කිරිමක් ගැන ද මාතඞ්ගලීලා නමැති ග්රන්ථයෙහි සඳහන් වේ.
අනුගත බන්ධය
අනුගත බන්ධයෙහි දී ඇත් සමූහයා නිදන අවස්ථාව බලා බොහෝ වූ පාශයන් හා කූර්චයන් ද වස්දඬු හා මුගුරු ද අතින් ගත් හස්තිබන්ධකයන් ද විවිධ වාදකයන් ද ඇතුන්, අසුන් හෝ ගොනුන් පිට නැඟුණු පාබල සේනාව ද තූර්ය භාණ්ඩ අතින් ගත් සේවකයන් ද එක්ව ගජබන්ධනය සඳහා නොකඩවා පවත්වන තූර්ය්ය නාදයෙන් හා කාහලරාවයෙන් එකනින්නාද කරමින් සියලු ජලස්ථානයන් ද ඒවාට සමීප වූ ඡායාසම්පන්න වූ වෘක්ෂයන් ද ඇසුරු කරමින් යා යුතු වේ. එකල ඇත් රංචුව නින්දෙන් අවදිව චකිත වී වේගයෙන් නැගිට මානසික භ්රාන්තියෙන් යුක්තව බියෙන් පලා යන්නට පටන්ගනී. එසේ පලා යන ඇතුන් ලුහුබැඳ වාරිබන්ධ නිපුණයෝ පාශාදිය අතින් ගෙන යා යුත්තාහ. ඇත් සමූහයා පලා යන මාර්ගයෙන් ඉවතට පැන ඇත් රංචුවෙන් වෙන්ව භයින් සංත්‍රස්ත වූ සිත් ඇතිව හුදකලාව පලා යන යම් ඇතෙක් වේ ද ඒ ඇතු ලුහුබැඳ පාශ හා කූර්චක දරන්නන් යා යුතුයි. වේගයෙන් ධාවනය කිරීම හේතු කොටගෙන අධික විඩාවෙන් හා පිපාසයෙන් පීඩිත වූ ඒ ඇතා ජලාශයක් සොයා යන්නේය. තූර්ය්ය නාදය හා කන් බිහිරි කරවන වෙනත් ඝෝෂා ශ්‍රවණය කරමින් පලා යන ඒ ඇතාගේ මුඛයෙහි කෙළ සිඳී වියළී ජඩ බවට පැමිණීමෙන් සොඬ, වලග හා කන් නිශ්චලව තබාගෙන නැවතී සිටී. එකල අතිශයින් හික්මුණා වූ ජව සම්පන්න ඇතින්නකගේ හා ශාන්ත වූ ඇතකුගේ ද සහාය ඇතිව ඒ ඇතු මෙල්ල කර උගේ කක්ෂ භාගය හා කණ්ඨය චර්මයෙන් කරන ලද ශක්තිමත් රජ්ජුවකින් සමීපස්ථ වෘක්ෂයක බැන්ද යුතුයි. මෙපරිද්දෙන් කරන ගජ බන්ධනය අනුගත බන්ධ යයි හැඳින්වේ.
ආපාත බන්ධය
පොල් කෙඳිවලින් හැට රියන් දිග විශාල කඹයක් අඹරා එයින් අර්ධයක් මලපුඩුවක් සහිත කොට ගැඹුරු වළක බහාලිය යුතුය. කඹයෙහි ඉතිරි අර්ධය ද ඇතුන්ගේ ග්‍රීවා හා පාද අසු කරගැනීමට මලපුඩුවක් කොට යෙදිය යුතුය. ඒ මළපුඩුවෙහි යම් ඇතෙක් බැඳේ ද ඌ අතිශයින් පීඩිත වන්නේය. කිසිවෙක් උමතුවට ද පත් වෙයි. කිසිවෙක් ජීවත් වෙයි. මෙපරිද්දෙන් කරනු ලබන ගජ බන්ධනය ආපාත බන්ධ නම් වේ.
අවපාත බන්ධය
රියන් දෙකක් පළල ද රියන් පහක් දිග ද රියන් හතරක් ගැඹුර ද ඇති වළක් හාරා ඒ වළ ද එය හාත්පස භූමිය ද කිසි වෙනසක් දක්නට නොලැබෙන පරිදි තෘණපල්ලවාදියෙන් වසා ආරක්ෂා කළ යුත්තේය. එම වළෙහි වැටුණු ඇතාට බලවත් පීඩා ඇති වේ. කොරවීම හෝ වෙයි. පපුව බිඳී යෑම හෝ දන්තයන්ගේ විනාශය හෝ වෙයි. කිසිවකුගේ ජීවිත හානිය හෝ වෙයි. මෙපරිද්දෙන් බොරු වළකට වැටෙන්නට සලස්වා කරනු ලබන ගජබන්ධනය අවපාත බන්ධ නම් වේ. එය අතිශයින් ගර්හිතය.
මෙම ක්‍රමවලට අඩු වැඩි වශයෙන් සමාන ක්‍රම ඇතුන් අල්ලා හීලෑ කරන අන් රටවල ද පවතින්නට ඇත. යුරෝපීයයන්ගේ ආගමනයෙන් පෙර ලංකාවේ ද ඇතුන් ඇල්ලීමේ දී මෙම ක්‍රමවලට අනුරූප ක්‍රම උපයෝගී කොට ගන්නා ලද බව කිව හැකිය.
ලංකාවේ ඇත්ගාල්
අනුරාධපුර යුගයේ සිට ම මෙරට අලි ඇතුන් යුද කටයුතු සඳහා යොදාගත්හ. ක්‍රි.පූ. 4 වන සියවසේ ලංකාව ගැන තොරතුරු ලියා ඇති මෙගැස්තිනීස් නම් ග්‍රීකයා කියන පරිදි ලංකාව විදේශයන් සමඟ සරු ඇත් වෙළෙඳාමක් කරගෙන ගොස් ඇත. මේ නිසා මෙරට විශාල වශයෙන් වල් ඇතුන් අල්ලන ලද බව නිසැකය. මහා පරාක්‍රමබාහු රජු කල අටකූරුව නමින් ඇතුන් පිළිබඳ කාර්යාංශයක් සඳහන් කරනු ලැබීම ද ඉහත සිට ම කූරුවේ නමින් හැඳින්වෙන ගම් ප්‍රදේශ වීම ද එය තවදුරටත් සනාථ කරයි. එහෙත් යුරෝපීයයන්ගේ ආගමනයට ප්‍රථම මෙහි ක්‍රමානුකූලව සංවිධානය වුණු ඇත්ගාල් පැවැත්වීමේ ක්‍රමයක් තිබුණු බවට ඉතිහාසයෙන් සාක්ෂි ලබා ගත නොහේ. රෝම ජාතික ප්ලිනි ක්‍රි.පූ. පළමු වන ශතවර්ෂයේ දී මෙරටින් රෝමයට ගිය ලාංකික තානාපතීන්ගෙන් අසා මෙහි අලි ඇල්ලීම ගැන සඳහන් කර ඇතත්, ඒ කරන ලද ආකාරය ගැන විස්තර අප්‍රකටය. සිංහල රජකාලයේ දී අලි ඇල්ලීමට උපයෝගී කරගන්නා ලද ක්‍රම හතක් දැරණියගල මහතුන්ගේ ‘ඇතැම් නෂ්ටප්රාප්ත ඇත්තු’ (Some Extinct Elephants) ග්‍රන්ථයේ දක්වා ඇත. ඒවා නම්:
(1) ඇතින්නක යොදවා සාමාන්‍යයෙන් දළ ඇතකු කොටුවකට කොන්කර මදු යොදා අල්ලාගැනීම,
(2) අත්මන්ද: මදු ලන්නන් මුවා වී සිට ඇතකු තෝරා උගේ පාදයකට මන්දක් දමා ඌ ගසක බැඳීම,
(3) ගස්මන්ද: ගසක බැඳ එල්ලා තබන ලද පාශයකට හසුවුණු ඇතා එම ගසෙහි නැඟ ඉන්නා තැනැත්තකු විසින් පාශය ඇද හිර කර පසුව අල්ලාගැනීම,
(4) බිම්මන්ද: ඇතුන් යන එන මංකඩක මන්දක් එළා එහි අනික් කෙළවරේ ගෝන අං දෙබළක් බඳිනු ලැබේ. පාශයෙහි බැඳුණු ඇතා වැඩිදුර යන්නට පෙර ම අං දෙබළ ගස් මුල් ආදියෙහි දැවටී පාශය හිර වී උගේ ගමනට බාධා වේ. රැක්මේ ඉන්නා ඇතුන් බඳින්නන් පහසුවෙන් ම ඌ සොයා අල්ලා විශාල ගසක බැඳීම,
(5) අබිං වැනි ඔසු ගන්වන ලද ආහාර ඇතුන් යන එන මඟ දමා තබනු ලැබේ. එම ආහාර ගැනීමෙන් මත් වූ හස්තියා පහසුවෙන් අල්ලා බැඳ ගැනීම,
(6) බොරු වළවල් කපා තබා ඒවායේ වැටුණු ඇතුන් අල්ලාගැනීම හා
(7) ඇත්ගාල් කිරීම යන මේයි.
සිංහල රාජ සමය
ඇත්ගාල් කිරීමේ ක්‍රමය මෙහි ඇති කරන ලද්දේ ප්රතිකාල්වරුන් විසිනැයි ද ඉන්දියාවේ නොයෙක් පළාත්වල පැවති ඇත්ගාල් අනුකරණයෙන් පෘතුගීසීන් මෙහි ඇත්ගාල් පැවැත්වූහයි ද ටෙනන්ට් කියයි. පැරණි ඉතිහාස සාහිත්‍යාදි ග්රන්ථයන්හි ලංකාවේ ඇත්ගාල් ගැන කරන ලද සඳහනක් සොයාගත නොහේ. එහෙත් හෙණ්ඩත් හේරත් බණ්ඩාරවලිය නම් වූ පැරණි ලියවිල්ලක කෝට්ටේ භුවනෙකබාහු v රජු කල පවත්වන ලද ඇත්කොටුවක් (ඇත්ගාලක්) ගැන විස්තරයක් එයි: "එකල රජ සිව් දිසා අදිකාරම් වන්නි මුදලිවරුන්ට මනා හසුන් යවා ඔවුහු රජ මාළිගායේ අධිකරණ සාලාවට ගෙන්වා... එහෙයින් තෙපි ඒ අලි ඇතුන් අන්තරායක් නොකොට අල්වා අපට දක්වන්නාහු නම් තොපට කැමති කැමැති වස්තු පවරන්නෙමියි කීය. එකල එතැන්හි එළඹියාවූ මහජනයා කිසිත් නොබැන උන් කල්හි බිය නොව දෙටු මල්ල වන්නි බණ්ඩාර තෙම අභිමුඛව සැල කරන සේක්: දේවයන්වහන්ස, මම ද ඒ අලි ඇතුන් නුඹවහන්සේට කැමති පරිද්දෙන් දක්වන්නෙමියි කියා රජුට වැඳ සමුගෙන උන් තැනින් බැස තමාගේ පිරිවර සේනා සහිතව නික්මෙන්නේ හෙතෙම ඒ යන මාර්ගයෙහි රම්‍ය වූ භූමිභාගයක් බලා දනව්වාසීන් රැස්කරවා එහි තරයේ කොටුවක් කරවා ඒ සමීපයෙහි විසිතුරු වූ ප්රාසාදාදී... සල්පිල්, අධිකරණ ශාලා, පොකුණු, නහන කොටු ආදියෙන් විසිතුරු කොට නිමවා... ඉරියාවේ පනික්කයා හමුදාව සතළිසක් ද, ශාලේ වැවේ පනික්කයා විසිදෙනෙක් ද, දුනුපතගම පනික්කයා හමුදාව සියයක් ද... මෙසේ මෙකියන මෙහෙකරුවන්ගෙන් එක්දහස් සාරසිය සැත්තෑවකින් යුත් පාබල සේනා සහිතව... ක්‍රමයෙන් ගොස් දැදුරුහොය දෙමෝදරින් මෙම අලි ඇත් රැළ දැක වටලැවූහ. එයින් ගොස් වඳුරුපිටියේ පන්ති ළූහ. එයින් ගොස් මාගල්ලේ පන්ති ළුැහ... එයින් සදවසකින් උගුලාපියා පිටත්ව යාපව්වට සම්මුඛව වටලා ගත්හ. ඉක්බිත්තෙන් මල්ල වන්නි බණ්ඩාර තෙම වන්නිවරු තුන්දෙනාට ද මුදලි සතරදෙනාට ද මෙසේ කියන්නේ දැන් වනාහි අපි මේ ඇත්කොටුව තෙවළල්ලකින් යුත් වැටලූ සේනාවෝ කිසිත් විසිරයා නොදී තරයෙන් රකුව... "
මෙහි කියැවෙන වන්නිවරුන් හා මුදලිවරු භුවනෙකබාහු v කල ශිල්පීන්, කර්මාන්තකරුවන් දහස් ගණනක් පිරිවරාගෙන දකුණු ඉන්දියාවේ මල්ල දේශයෙන් මෙහි පැමිණ ගම්බිම් හා තනතුරු ලැබ මෙරට පදිංචිව සිටියහ යි හෙණ්ඩත් හේරත් බණ්ඩාරවලියෙහි සඳහන් වන මල්ලරට ශ්රීබෝධිමල්ලරජහුගේ කුමරුවෝය. මොවුන් සමඟ පැමිණි ඒ විශාල පිරිවර සේනාවෙහි “ඇතුන් අලින් අල්ලන පනික්කයෝ විසිදෙන්නෙක් ද, ඇතුන් අලින් ඇතින්නන්ට තණකොළ කපාදී රෝගී වූවන්ට තණ කොළ දී පෝෂණය කරන පොරෝකාරයෝ නොහොත් හෙණ්ඩුව දී ඇතුන් අලින් මඬලන ඇත්වලයෝ සියයක් ද... ඇතුන් අශ්වයන් පය බැඳ සිරකොට ලන මඳු කඹ රැහැන් කෙටේරි පොලු ගෙන යන හාමුන්ලා හෙවත් වගයන් දෙසිය සතලිසක් ද... වූහ."
ඇත්බන්දනේ
හෙණ්ඩත් හේරත් බණ්ඩාරවලියෙහි එන මේ විස්තර කෙසේ වෙතත් යුරෝපීයයන්ගේ ලංකාගමනයට ප්‍රථම සිංහල රජුන් යටතේ ඇත්ගාල් පැවැත්වීමේ ක්රමානුකූල සංවිධානයක් පැවති බවට අන් සාක්ෂි නොමැත. සෙංකඩගල රාජධානිය පිහිටුවා ගැනීමෙන් පසු ක්‍රමයෙන් ඇත්ගාල් පවත්වා ඇතුන් ඇල්ලීමේ විශේෂ අංශයක් ඇති කරන ලද බව පෙනේ. එය ඇත් බන්දනේ නම් විය. මෙම කාර්යාංශයේ නායක ගජනායක නිලමේ රජුගේ හස්ති අංශයේ (කූරුවේ) ප්‍රධාන නිලධාරියාය. ඇත් බන්දනේ රාජකාරියෙහි නියුක්ත වූවෝ පහත දැක්වෙති.
ඇත්බන්දනේ විදානේ තැන ඇතුන් ඇල්ලීමේ කාර්යයේ නායකයාය. ඇත්පන්තියේ ආරච්චිලා පරීක්ෂක නිලධාරීහු වූහ. ඇත්බන්දනේ රාළ බඳින්නන්ගේ හෙවත් මදුලන්නන්ගේ කටයුතු සමීක්ෂණය කෙළේය. මොවුන් හැර වැල්කාරයෝ ද ඇතුන් හීලෑ කරන කූරුවේලා ද ඔවුන්ගේ කටයුතු පාලනය කරන පනික්කයෝ ද හීලෑ ඇතුන් බැඳීමට උපකාරී වන දුරයෝ ද ඇතුන්ට ආහාර සපයන පන්නයෝ ද උන්ට දිය සපයන දියකුම්කාරයෝ ද ඇතුන්ට වෙදහෙදකම් කරන ගජ පට්ටියෝ ද බෙහෙත් සපයන ඔලීහු ද කඹරැහැන් අඹරන රොඩී වර්ගයා වූ තොණ්ඩු ගත්තරයෝ ද උන්ගේ නායක තොන්ඩු ගත්තර හුළවාලීහු ද රජුන්ගේ ඇත් දෙපාර්තමේන්තුවේ සේවය කළහ.
ඩොයිලිගේ විස්තරයට අනුව මහනුවර යුගයේ අවසාන සමයේ දී ඇතුන් ඇල්ලීම පිළිබඳ කටයුතු හා ඇතුන් පිළිබඳ වාර්තා තබාගැනීමට කූරුවේ ලේකම නම් නිලධාරියෙක් විය. කූරුවේ මිනිස්සු අලි ඇතුන් අල්ලා හීලෑ කළෝය. කූරුවේ දිශාව, ගජනායක නිලමේ, ඇත්බන්දනේ මුදලි හා කූරුවෙ ලේකම යනු එක ම තැනැත්තා යයි මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියෝ පවසති. පොළොන්නරු යුගයේ දී කූරුවෙ වසම කොටස් අටකට බෙදා තිබුණු බව “වියත්පත් අටගණය ද... අට කූරුව ද දෙනව දහසක් ගත්තර ඉවරද... ” යන නිකාය සංග්‍රහ පාඨයෙන් පෙනේ. එහෙත් මහනුවර සමයේ වූයේ සතර කූරුවකි. පිළිමතලව්වේ මහඅදිකාරම්තුමා දරූ පදවි දහහත අතුරෙන් පුස්වැල්ලෙ කූරුව පදවිය ද එකක් විය. ඇත්බන්දනේ නැතහොත් කූරුවේ අංශයේ සේවා ඉටු කිරීම සම්බන්ධයෙන් කූරුවේ ගම්වාසීන්ට වැටුප් කුලී නඩත්තු ගෙවීමක් නොවීය. එය ඔවුන් විසින් ඉටු කළ යුතු රාජකාරිය වූ බැවිනි. කූරුවේ ගමේ තමන් භුක්ති විඳි නිලපංගු වෙනුවෙන් එක එකකු විසින් මේ රාජකාරි ඉටු කළ යුතු විය. එහෙත් සිංහල රජුන් යටතේ ඇත්ගාල් පැවැත්වීමේ දී රැක්මේ සිට ඇතුන් පන්නන්නවුන් නිලපංගුකාරයන් වූ අතර ඔවුන් හැමට ම නියම වශයෙන් රාජකාරියේ යෙදී සිටින කාලයේ දී ආහාරපාන හා ඇඳුම් සැපයීම සාමාන්‍ය සිරිත වී යයි රිබේරු කියයි. ඇත්ගාල් කිරීමේ දී ඇතුන් පැන්නීම සාමාන්‍යයෙන් දෙමසක් පමණ තිස්සේ කළ යුතු කාර්යයක් විය.
සිංහල රජ කාලයේ දී වල් ඇතුන් රාජසන්තක වස්තුවක් හැටියට සලකන ලදින් රාජාවසරයෙන් තොරව සාමාන්‍ය රටවැසියා උන් ඇල්ලීම හෝ මැරීම ඉතා බරපතළ වරදක් කොට සලකන ලදි.
පෘතුගීසීන් යටතේ
සිංහල රජුන් මෙන් පෘතුගීසීහු ද මෙරට තමන් අයත් ප්‍රදේශයේ ඇතුන් ආණ්ඩුව සතු වස්තුවක් හැටියට සැලකූහ. ඇත්බන්දනේ දෙපාර්තමේන්තුව ‘වේදෝර්’ යටතේ තබන ලදි. සිංහල රජුන් දී තිබුණු කූරුවේ ගම් ඇතුන් බඳින්නන්, හීලෑ කරන්නන් හා ගොව්වන් වෙත යළි පවරන ලදි. ඇතුන් ඇල්ලීමට උපයෝගී කොටගත් අලින් භාර විදානේවරු යුද්ධ සේනාධිපතියාට වගකිවයුතු නිලධාරීන් බවට පත් කරනු ලැබූහ. එහෙත් මදුගසන්නන් භාරව සිටි විදානේවරු කෙළින් ම වේදෝර් තැන යටතේ සේවය කළහ. පෘතුගීසීන් ඇතුන් ඇල්ලූයේ වැඩි කොට ම යුද හමුදාව පිණිසත් වෙළෙඳාම පිණිසත්ය.
පෘතුගීසීන් බහුල වශයෙන් ඇතුන් ඇල්ලූයේ කටුවාන, වලස්මුල්ල වැනි නිරිතදිග ප්රදේශවලය. සතර කෝරළේ ද මීගමුව අසල (අදත් ඇති) ඇත්ගාල නම් ගම ද එවක ඇතුන් ඇල්ලීම සම්බන්ධයෙන් ප්රකටව පැවැත්තේය.
වේදෝර්තැනගෙන් අණ ලබන ඇත්බන්දනේ විදානේ කූරුවේ ගම්මුන් ලවා ලී කොටන්වලින් වනය මැද විශාල ත්‍රිකෝණාකාර කොටුවක් බන්දවයි. එළවනු ලබන ඇත්රංචුව කොටුවේ පටු කෙළවරකට සේන්දු වූ පසු උන් මදු ගසා අල්ලා බඳිති. මේ සඳහා ගන්නා ලද්දේ මුව හමින් කළ මදු හා කඹය.
පෘතුගීසින් ඇතුන් ඇල්ලූ ආකාරය ගැන කියන රිබේරු ඔවුන් අලි ඇල්ලීමට ම උපයෝගී කොට ගත් දැවැන්ත හස්තිරාජයකු ගැන කදිම විස්තරයක් කරයි. මේ ඇතා ඕර්තෙලා නම් විය. ප්‍රතිකාල්වරුන්ගෙන් ඕලන්දක්කාරයන්ට හිමි වූ මෙම ඇතා ලබාගැනීමට සිංහල රජු ද බලවත් පරිශ්‍රමයක් දැරූ බව ඔහු කියයි. 'පෘතුගීසීන්ට අයත් ප්‍රදේශයේ කැළෑබද ගොවිපළවල් පාළු කරන අලිරංචු ගැන කපිතන් ජනරාල්වරයාට දැනුම් දෙනු ලැබේ. කපිතන් ජනරාල් වහා ම ඇත්ගොව්වන් දෙදෙනකුන් හා අලින් කීප දෙනකුන් සමඟ ඕර්තෙලා පිටත් කර යවයි. ඇත්රංචුව ඉන්නා පෙදෙසට සමීප වූ කල ඇත්ගොව්වන් දෙදෙනා ඕර්තෙලා පමණක් රැගෙන ඉදිරියට යති. ඕර්තෙලා දකින රැළේ නායක ඇතා සෙස්සන් හුන් තැන ම සිටිය දී අමුත්තාට පහර දීමට ප්‍රෞඪ ලෙසින් වහා පැමිණෙයි. ඇතුන් දෙදෙනා මුණ ගැසුණු විට ක්ෂණයකින් ඕර්තෙලා උගේ හොඬින් වල් අලියාගේ ගෙල ඉතා දැඩි ලෙස ග්‍රහණය කරයි. කෙතෙක් වැර ගත්ත ද වල් අලියාට ඕර්තෙලාගේ ග්රහණයෙන් මිදිය නොහේ. මෙවිට මෙතෙක් ඕර්තෙලා පිටිපස මුවහව සිටි ඇත්ගොව්වා ඉදිරි පාදයකට මන්ද ගසා රැහැනේ අනික් කෙළවර හීලෑ ඇතු වටා ඔතයි. ඉක්බිති අනික් ඇත්ගොව්වා පැමිණ පස්සා කකුලකට මදු ගසයි. දැන් වල් අලියා මෙල්ල වී ඇති බැවින් ඌ හීලෑ අලි දෙදෙනකුට මැදි කොට පහසුවෙන් දක්කාගෙන විත් බඳිනු ලැබේ. ඔවුන් වල් අලින් අල්ලා ගත්තේ මේ අයුරිනි. මෙසේ අල්ලාගත් විස්සක් හෝ තිහක් පමණ වූ හස්තීන් සියල්ලන් ම අවුරුදු පතා මෝගල් අධිරාජයාහට විකුණති.
වල් අලින් හීලෑ කිරීම භාරව සිටි නිලධාරියා කූරුනායක නම් විය. පෘතුගීසි සමයේ දී අලි හීලෑ කිරීම පිණිස මල්වානේ විශාල ඇත්හලක් විය.
ලන්දේසි යුගය
මෙරට ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ ආණ්ඩුව ඇතුන් පිටරට යැවීමෙන් අතිවිශාල ආදායමක් ලබා ගත්තේය. සිරිත් පරිදි වසරකට දෙවතාවක් ඇත්ගාල් පැවැත්වූ ලන්දේසීහු තම යුද හමුදාව සඳහාත් වෙනත් කාර්යය සඳහාත් තබාගන්නා ඇතුන් විශාල සංඛ්‍යාවට අමතරව ඇතුන් සියයටත් එකසිය පනහටත් අතර ගණනක් අවුරුදු පතා පිටරටවලට විකුණූහ.
ලන්දේසීන් ඇත්ගාල් පැවැත්වූ අයුරු පිළිබඳව බාල්දියස් ද ලන්දේසීන් යටතේ මෙරට යුද සේවයේ යෙදී සිටි ජර්මන් ජාතික සාර්, හර්පෝට්, ෂ්වයිට්සර් ආදි අය ද සියැසින් දුටු විස්තර ලියා ඇත. වන මැද විශාල කඳන් සිටුවා තනන ගාලකට හීලෑ ඇතුන්ගේ ආධාරයෙන් වල්අලි රංචු ඇතුළු කරවා ඉන්පසු උන් අල්ලා ගනිතියි බාල්දියස් කියයි. කට්ටුම්ම (කටුවාන) හා ගලාස්මෙවුල (වලස්මුල්ල) නමින් අලි අල්ලන දෙපෙදෙසක් වී යයි ද ලන්දේසි ආණ්ඩුවට අවුරුදු පතා අලිඇතුන් නියමිත ගණනක් අල්ලා සැපයීම භාර වූ ඇත්ගාල් මුහන්දිරම්වරයකු සිටි බව ද සාර් කියයි. මෙම නිලමක්කාරයාට ගම් දහඅටක් පවරා දී තිබිණැයි ද තමාට උදව්වට මේ ගම්වල වැසියන් පන්සියයක් පමණ කැඳවාගැනීමට බලය දී තිබුණු බව ද වැඩිදුරටත් කියන ඔහු ඔවුන් පැවැත්වූ ඇත්ගාල් ගැන විස්තරයක් ද කරයි. ඇතුන් ගාල කරා එළවන්නන් ඒ පිණිස ගිනි තැබූ විශාල දැව කොටන් උපයෝගී කොටගත් අයුරු ද ගාලට කොටු වූ ඇතුන් හීලෑ ඇතුන්ගේ ආධාරයෙන් බැඳගන්නා අයුරු ද ඔහු විස්තර කරයි. ලන්දේසීන් අලි ඇතුන් අල්ලා හීලෑ කොට පර්සියාවට හා වෙනත් රටවලට විකුණූහයි කියන හර්පෝට් ද ඇත්ගාල් ගැන විස්තර කරයි. යෝනක ජාතිකයන් ද මෙරට ඇතුන් මිලට ගත් බව ෂ්වයිට්සර් නම් වූ ගත්කරුගේ විස්තරයෙන් පෙනේ. ඇතුන් ඇල්ලීමේ ක්‍රම දෙකක් වී යයි ඔහු කියයි. ට්රින්කෝනමලේ (ත්‍රිකුණාමලේ) සිට බටකලෝ (මඩකලපුව) දක්වා වසන මලබාර්වරුන් අතර “සාතන්ගේ ආධාරය ඇතිව අතින් ම අලි අල්ලන මිනිසුන් කොටසක් සිටිති”යි සඳහන් කරන ෂ්වයිට්සර් කොටු කර ඇතුන් ඇල්ලීමේ ක්‍රමය අනුව තනන ලද ඇත්ගාලක් කෝට්ටේ රාජධානිය තුළ බත්තලමුද (බත්තරමුල්ල) ගම අසල තමා දුටු බව කියයි.
පෘතුගීසීන් හා ලන්දේසීන් ඇත්ගාල් පැවැත්වීමේ දී ගම්වාසීන්ගෙන් බලෙන් වැඩගත්හයි ද ඇතුන් එළවීමට මිනිසුන් 5,000-6,000ක් උපයෝගී කොටගත්හයි ද ලා කෝම් (1681) නම් ඉතිහාසකරු කියයි.
ඉංග්‍රීසීහු ද
ලන්දේසීන් අනුගමනය කළ ඇත්ගාල් ක්‍රමය මගින් ඇතුන් ඇල්ලූහ. ඉංග්‍රීසීන්ගේ මුල් කාලයේ ලංකාව ගැන ශ්‍රෙෂ්ඨ ඉතිහාස ග්රන්ථයක් කර ඇති ටෙනන්ට් තමා දුටු ඇත්ගාල් දෙකක් විස්තර කරයි. මෙරට මරක්කල මිනිසුන් අලි ඇල්ලීමෙහි ඉතා දක්ෂ කෘතහස්ත කොටසක් වූ බව ඔහු පවසයි. ලංකාවේ උතුරේ හා ඊසානදිග මරක්කල ගම්වල වසන මොවුන් අනාදිමත් කාලයක සිට අලි ඇතුන් ඇල්ලීමෙහි යෙදී සිටි බව ද මෙම ඇතුන් අරාබීන් විසින් දකුණු ඉන්දියාවේ මහාරාජාවරුන් උදෙසා හීලෑ කරන ලද බව ද කියයි.
ඇතුන් ඇල්ලීමේ දී සිංහල රජුන් පවත්වාගෙන ආ රාජකාරි ක්‍රමය පෘතුගීසි ලන්දේසි දෙවර්ගයා ද දිගට ම එසේ පවත්වාගෙන ආහ. 1832 දක්වා ඉංග්‍රීසි ආණ්ඩුව ද එය රාජකාරියක් හැටියට සැලකීය. රිපන්සාමි 1832 දී එය නැති කර දැමීය. රාජකාරි ක්‍රමය අනුව ඇත්ගාල තැනීම, රැක්මේ සිටීම, ඇතුන් පන්නාගෙන ඒම, රැහැන් තොංඩු ආදිය සැපයීම ආදි නැතක් කටයුතු සඳහා වැසියන් 1,500-2,000ක් පමණ නොමිලේ සේවය කළහ. ඔවුන්ගේ වැඩ කටයුතු බලාගැනීමෙහි යෙදුණු චිදානේවරු ආදීහු ද සිය ගණනක් වූහ. තමා දුටු ඇත්ගාලට වට වුණු පෙදෙසේ දිග අඩි 500ක් හා පළල ඉන් භාගයක් පමණ වී යයි ටෙනන්ට් කියයි. තෝරාගන්නා ලද්දේ නිතර ඇතුන් යන එන ප්‍රදේශය මධ්‍යයෙහි වූ පෙදෙසකි. ගාල තැනීමට ගන්නා ලද ගස් අඩියක් පමණ විෂ්කම්භය ඇති ඒවාය. අඩි 3ක් පමණ පොළොවේ සිටුවන මේ කණු පොළොවේ සිට අඩි 12-15ක් උසය. ගස් අතරින් මිනිසකුට රිංගා යෑමට තරම් ඉඩ තබන ලදි. කෙළින් සිටුවන කණු හරහට ශක්තිමත් මාවර තබා වැල්වලින් බඳින ලදි. ඉක්බිති ඒවාට සවි ඇති කරුවලින් බල දෙනු ලැබිණ. ගාලේ එක් පසකින් කඩුල්ල විය. විවෘතව තබන මේ කඩුල්ලෙහි, ඉක්මනින් වසා දැමීමට පිළිවන් පරිදි නිතර ම කඩුලු ලී යොදා තිබුණේය. ගාලේ කඩුල්ල ඇති පැත්තේ දෙකෙළවරින් වනය මඳ දුරක් වට වන පරිදි, යටකී ලෙස බඳින ලද වැටවල් දෙකක් විහිදුවා බැඳ තිබුණි. කඩුල්ල සමීපයට ගමන වැළැක්වීම උදෙසාය. පැමිණ ආපසු හැරී යන්නට තැත් කරන අලින්ගේ ගමන වැළැක්වීම උදෙසාය.
ගාල බැඳි පසු සැතැපුම් ගණනාවක් වන ප්‍රදේශය වටලන දහස් ගණන් මිනිසුන් කලබල විරහිතව සෙමින් සෙමින් දින කීපයක් තිස්සේ ගාල දෙසට ඇත් රංචුව පැන්නිය යුතුය. ගාලට කොටු වුණු ඇතුන් හීලෑ අලින්ගේ ද ආධාරය ඇතිව මදු ගසා කඹවලින් බැඳගනිති.
මෑත භාගයේ ඇත්ගාල්
ඉංග්‍රීසි යුගයේ මෑත භාගයේ දී විශේෂයෙන් සම්භාවනීය රාජ්‍ය අමුත්තන්ගේ විනෝදය පිණිස වරින් වර ඇත්ගාල් පවත්වන ලදි. 1920 දී පවත්වන ලද ඇත්ගාල පිළිබඳ සවිස්තර ග්රන්ථයක් ඡායාරූප සහිතව පළ කරවා තිබේ. සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ මූලිකත්වයෙන් 1950 දී පවත්වන ලද සුප්‍රකට පනාමුරේ ඇත්ගාල මෙරට අවසාන ඇත්ගාල විය. මෙම ගාලට මැදි වූ අලිරංචුවේ නායක ඇත්රාජයා තම සහචරයන් මුදාගැනීමට කළ අභීත ආත්මපරිත්යාගී සටන හා ඒ හස්ති රාජයාගේ ඛේදජනක අවසානයත් සිත් කම්පා කරවනසුලු විය.
මෑත භාගයේ පැවැත්වුණු ඇත්ගාලක් සාමාන්‍යයෙන් අඩි 300 සිට අඩි 600 දක්වා දිග හා එපමණ ම පළල ඇත. අඩි 10ක් පමණ පොළොවෙන් ඉහළට සිටින සේ අඩි 4ක් පමණ වළ දමා පස් තද නොකොට අඩි තුන බැගින් පරතරය ඇතිව සිටුවන ලද විශාල කඳන්වලින් ත්රිකෝණාකාරව හෝ චතුරස්රාකාරව ඇත්ගාල තනනු ලැබේ. කොටුව ඇතුළතින් ශක්තිමත් මාවර තුන් පෙළක් බඳිනු ලැබේ. ඉදිරිපස ඇතුන්ට ඇතුළු වීම පිණිස විශාල කඩුල්ලක් ඇත. ඇතුන් මුලින් ම ඇතුළු වන්නේ, ‘රැවුල් වැට’ නමින් හැඳින්වෙන වැටවලින් වට වූ කොටසටය. ඉක්බිති ‘කංගුල’ නම් වූ කපොල්ල පසු කරන අලි රංචුව ‘රහස් ගාලට’ පිවිසෙයි. මොවුන් ආපසු හැරී ඒම වැළැක්වීමට ‘එවෙලෙම බැඳි වැට’ නම් වැටක් ඒ හරහා තනනු ලැබේ. ඉන්පසු දිය කඩිත්තක් සහිත ‘කෙළින ගාල’ට ඇතුළු වන අලිරංචුවේ ආපසු ඒම අවුරමින් තවත් වැටක් ඉදිකරනු ලැබේ. අනතුරුව එකා පසු එකා බැගින් යා යුතු ‘හිරගාලට’ ඇත්තු දක්කවනු ලැබෙත්. ඉක්බිති එක් එක් හස්තියාට ඉදිරිපසින් හා පිටුපසින් හරස් අතට කඳන් දමා ඔවුන්ගේ ඉදිරිපසු ගමන බාධා කොට මදු දමා එක එකා අල්ලා ගනු ලැබේ. පසුව හීලෑ අලින්ට මැදි කරවා ගෙන හීලෑ කරන ස්ථානයට මේ ඇතුන් ගෙන යති.
1666 සිට 1871 දක්වා ඇත්ගාල් මගින් අල්ලන ලද අලි ඇතුන් සංඛ්‍යාව දැරණියගල මහතා යටකී ග්‍රන්ථයේ දක්වයි:
1666 ලන්දේසීහු: එක් ගාලකින් 96.
1681 ලන්දේසීහු: එක් ගාලකින් 13, තවෙකකින් 104, තවත් එකකින් 240.
1690 ලන්දේසීහු: අලුත්කූරු කෝරළේ; අලි ඇතුන් 160 (ඔවුන් අතර ඇත්තු 8 දෙනෙකි).
1697 ලන්දේසීහු: මාතර; 97 (මින් 7ක් ඇත්තුය).
1797 ඉංග්‍රීසීහු: එකකින් 176, තවෙකකින් 400.
1805 ඉංග්‍රීසීහු: තංගල්ල අසල කොටවාය පෙදෙසින් 300 (කෝඩිනර්).
1805 ඉංග්‍රීසීහු: තංගල්ල අසල කොටවාය පෙදෙසින් 70 (කෝඩිනර්)
1849 ඉංග්‍රීසීහු 6.
1871 ඉංග්‍රීසීහු 28.
ලංකාවේ වන හස්ති සම්පත ක්‍රමයෙන් හීන වී ගෙන යන බැවින් ඇත්ගාල් පැවැත්වීම මෙකල නැවතී ඇති සේයි.
(සංස්කරණය: 1967)