උම්බෙලිපෙරේ
සාමාන්‍යයෙන් ශාකවල විලාසයෙනුත් ඒවායේ එලවලිනුත් කුලය පහසුවෙන් හඳුනාගත හැකිය. මේ කුලයට අයත් ශාක පොළොව දිගේ ඇදෙන සිහින් කඳ සහිත කුඩා ශාක විය හැකිය: නි. ගොටු කොළ (කෙන්ටෙලා ආසියාටිකා - Centella asiatica). නැත්නම් ඒවා කුහර සහිත අඩි කිහිපයක් උස ඇති ඍජු කඳ සහිත ශාක විය හැකිය: නි. හෙරක්ලෙයුම් (Heracleum). අන්ගෙලිකා (Angelica) විශේෂ තරමක් උස් ශාක වේ. මේ කුලයට අයත් ශාකයන්ගේ පත්‍රවල හැඩය ද බොහෝ සෙයින් වෙනස් වේ. ඒවා සාමාන්‍යයෙන් පක්ෂවත් ලෙස සංයුක්තය. පාණිවත් පත්‍ර ද ඇත. කලාතුරකින් සරල පත්‍ර ද දක්නට ලැබේ. ඡත්‍රිය පුෂ්පමංජරිය මේ කුලයේ දක්නට ලැබෙන නියත ලක්ෂණයකි. ඉතා කලාතුරකින් ඡත්රය තනි පුෂ්පයක් සේ හීන වී ඇත: නි. කෙන්ටෙලා හා අසොරෙලා (Azorella) විශේෂ. මේ කුලයේ දක්නට ලැබෙන ව්‍යූහ විද්‍යාත්මක ලක්ෂණයක් නම් සෑම අවයවයක ම වාගේ රෙසින් නාල හෝ වාෂ්පශීලී තෙල් නාල තිබීමයි.
උම්බෙලිපෙරේ කුලය ප්‍රකට වී ඇත්තේ සාමාන්‍යයෙන් ආහාර රස කිරීම සඳහා වවනු ලබන ශාක මගින්ය. කොත්තමල්ලි (කොරියන්ඩ්රුම් සටිවුම් - Coriandrum sativum), මාදුරු (පීනිකුලුම් වුල්ගාරේ - Foeniculum vulgare) හා සූදුරු (කුමිනුම් කිමිනුම් - Cuminum cyminum) යනාදිය මෙවැනි ශාකවලට නිදසුන්ය. පෙරුලා පීටීඩා (Ferula foetida) ශාකයෙන් පෙරුම්කායම් ලැබේ. ගොටුකොළ හා කැරට් (ඩව්කුස් කැරෝටා - Daucus carota) ආහාර ශාක වේ. සැල්දිරි (අපියුම් ග්රවෙයෝලෙන්ස් - Apinm graveolens) ආහාර රස කිරීමට ගනු ලැබේ. අසමෝදගම් ඵල (ට්‍රකිස්පෙර්මුම් රොක්ස්බුර්ගියානුම් - Trachyspermum roxburghianum (Carum copticum)] ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.
(සංස්කරණය: 1970)
