ඊෂා
නවීන යන්ත්‍රසූත්‍ර සියල්ලක ම පාහේ ඊෂා එකක් හෝ වැඩි ගණනක් ඇත. මේවා නොයෙක් විට විශේෂ වර්ගයේ ඊෂා වේ. මීට නිදසුන් වශයෙන් මෝටර් රථයක කැමිදණ්ඩ (camshaft) හා වකැටි (දඟර) කඳ (crankshaft) දැක්විය හැකිය.
නවීන යන්ත්‍ර බොහොමයක් ක්‍රියා කරවනු ලබන්නේ භ්‍රමණයෙන් සපයනු ලබන බලයෙනි. භ්‍රමණය ඉක්මනින් හෝ හෙමින් සිදු කිරීමට ද බලවත් ලෙස හෝ දුර්වල ලෙස සිදු කිරීමට ද බොහෝ උපක්‍රම යොදාගෙන තිබේ. මේ හැමෙකක ම පාහේ පරිභ්‍රමණය වන ඊෂා, කප්පි හා පටි සංයුක්ත කිරීම උපයෝගී කොටගෙන ඇත. රෝදයක චලිතය වැනි වෘත්ත චලිතය (circular motion) අනුවැටුම් චලිතයට (reciprocating motion) හෝ පස්සට හා ඉදිරියට කෙරෙන චලිතයට හෝ මාරු කිරීමට ද ඊෂා යෙදීමෙන් සලසා ගත් නොයෙක් ක්‍රම හා උපක්‍රම ඇත. කැමිය (cam) ඉන් ඉතා සරල එකකි. ඊෂාවක් සමග කැමිය පරිභ්‍රමණය වී, එය කරකැවෙන විට ටැපට් දණ්ඩ ඉහළට ඉස්සී පහළට වැටීම නිසා මෝටර් රථයක කපාට ඇරෙන වැසෙන පිළිවෙළ යට කී උපක්‍රමවලට හොඳ නිදසුනකි.
අනුවැටුම් චලිතයක් වෘත්ත චලිතයකට මාරු කිරීමට හෝ අනික් අතට වෘත්ත චලිතයක් අනු වැටුම් චලිතයකට මාරු කිරීමට හෝ සබැඳුම් දණ්ඩ (connecting rod) හා වකැටි කඳ යෙදීම සම්මත ඉංජිනේරු ක්‍රමය වේ. මෙහි අවශ්‍ය කොටස් චිත්‍රයෙහි පෙන්වා ඇත. මෙහි භ්‍රමණය වන ඊෂාවක් පොම්පයක පිස්ටනය ක්‍රියා කරවයි. අභ්‍යන්තර දහන එන්ජිමේත් (අභ්‍යන්තර දහන එන්ජිම බ.) මේ මූලධර්මය ම යෙදේ. කරකැවෙන ඊෂාවක වේගය හෝ බලය වෙනස් කිරීමට උපයෝගී කරගනු ලබන ප්‍රධාන ක්‍රමය නම් ගියර රෝද යෙදීමයි.
(සංස්කරණය: 1970)
