ඌ
සිංහල විශ්වකෝෂය වෙතින්
08:58, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල වර්ණමාලාවේ අටවන අක්ෂරයයි. පාලි සංස්කෘත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සිංහල වර්ණමාලාවේ අටවන අක්ෂරයයි. පාලි සංස්කෘතාදි භාෂාවන්හි ඊට සවන ස්ථානය දී ඇත. ඌකාරය ස්වරයකි හෙවත් පණකුරකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගාත්‍රාක්ෂරයෙහි හල් භාවය දක්වන ලකුණ වෙනුවට දීර්ඝ පාපිල්ලක් (නි. ක්+ඌ = කූ; බ්+ඌ = බූ) හෝ ඇක්මක් (නි. ළ්+ඌ = ළූ) හෝ දීර්ඝ ඇක්මක් (නි. ර්+ඌ = රූ) යොදනු ලැබේ. දීර්ඝ ස්වරයක් වූ ඌකාරය ඕෂ්ඨයෙන් (දෙතොලින්) උපදින බැවින් ඕෂ්ඨජාක්ෂරයක් වෙයි. එක ම ස්ථානයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් ද වෙයි. සකු බසෙහි ඌකාරයගේ උච්චාරණය දීර්ඝ, ප්ලුත වශයෙන් දෙවැදෑරුම් වෙයි. නැවත උදාත්ත, අනුදාත්ත, ස්වරිත වශයෙන් සයක් වී සානුනාසික නිරනුනාසික වශයෙන් ගැනීමෙන් දොළොස් වැදෑරුම් වෙයි.
(සංස්කරණය: 1974)