මෝරිස් ඌත්‍රිලෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
09:02, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1883-1955). ප්‍රංස චිත්‍ර ශිල්පියෙකි. දැඩි ලෙස මත්පැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1883-1955). ප්‍රංස චිත්‍ර ශිල්පියෙකි. දැඩි ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටි ඌත්‍රිලෝ චිත්‍ර ඇදීමට පටන් ගත්තේ සුරාවෙන් වැළකී සිටීම උදෙසාය. ඔහුට චිත්‍ර ශිල්පය පිළිබඳ ගුරුපදේශ ලැබුණේ චිත්‍රකාරියක වූ සිය මවගෙනි.

තමා දුටු දෙය ඇති සැටියේ නිරූපණය කිරීම ඌත්‍රිලෝගේ කලා සම්ප්‍රදායයි. මේ කරුණ නිසා ඔහු පැරණි සම්මත ක්‍රමය නොඉක්ම වූ නූතන චිත්‍රශිල්පියකු වශයෙන් සැලකිය හැකිය. ඔහුගේ මුල් කෘතිවලින් ස්වකීය පරිසරය දැඩි වත්සලතායෙකින් හා සිත් ගන්නා නවතායෙකින් නිරූපණය කැරෙයි. ඔහුගේ 'ධවල අවධිය' නමින් හඳුන්වනු ලබන 1908-1914 පමණ කාලය තුළ දී නිම කරන ලද චිත්‍ර විශිෂ්ට කලා කෘතීන් වශයෙන් සලකනු ලැබේ. 1929 දී ඔහුට ගෞරව නාමයක් ප්‍රදානය කරන ලදි. ජීවිතයේ අවසාන කාලයේ දී සෞඛ්‍යයත් නිර්මාණශක්තියත් පිරිහී යෑම නිසා ඔහුගේ පසු කාලයේ කෘති කලාත්මක අගයෙන් හීන විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මෝරිස්_ඌත්‍රිලෝ&oldid=10455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි