ඌනතා රෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
09:17, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Deficiency Diseases). සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා ශරීර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Deficiency Diseases). සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා ශරීර පටකයනට ලැබිය යුතු අත්‍යවශ්‍ය පෝෂණ කොටස් අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබුණු විට හටගන්නා රෝග මෙනමින් හැඳින්වේ.

ගන්නා ආහාරයේ අඩුවක් නිසා පෝෂණ ඌනතාවක් ඇති වූ විට ඊට 'ප්‍රාථමික පෝෂණ ඌනතාවක්' යයි කියනු ලැබේ. තත්ත්වයන් කිහිපයක් යටතේ 'ද්විතීයික පෝෂණ ඌනතාවක්' හටගත හැකිය. අත්‍යවශ්‍ය ආහාර කොටස් ජීර්ණ වීමේ, අවශෝෂණය වීමේ හෝ ශරීරය විසින් උපයෝගී කරගනු ලැබීමේ අඩුපාඩු හේතු කොටගෙන ද එම පෝෂණ සාධක විනාශ වීම හෝ අනියම් ලෙස ශරීරයෙන් පහව යෑම හේතු කොටගෙන ද ද්විතීයික පෝෂණ ඌනතාවක් වැලඳිය හැකිය.

ප්‍රාථමික පෝෂණ ඌනතා රෝග

(අ) කැලරි ඌනතාව

මන්ද පෝෂණය හෝ නිරාහාර වීම පහත සඳහන් තත්ත්වයන් නිසා මතු විය හැකිය.

(1) ආහාර ප්‍රමාණයේ අඩුකම

(2) ගන්නා වූ කැලරි ප්‍රමාණයේ අඩුකම

(3) රෝගී වූ හෝ අසාමාන්‍ය ආහාරජීර්ණ පද්ධතියක් තිබීම (විශේෂයෙන්, ආහාර අවශෝෂණය වීමට යෙදවෙන කුඩා අන්ත්‍රයේ ඉහළ කොටස අසාමාන්‍ය වීම)

(4) අක්මාව, ඇලදිව වැනි ඉන්ද්‍රියයක විකෘත ක්‍රියාකාරිත්වය නිසා සැලසෙන පරිවෘත්තීය (metabolic) ආබාධ (මෙයින් අදහස් කැරෙන්නේ, අවශෝෂණය වූ ආහාර කොටස් ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීම පිණිස ශරීරයේ තිබිය යුතු එන්සයිමයන්හි ඌනතාවක් ඇතිවීම හෝ ඒවා කොහෙත් ම නොතිබීමය).

යම්කිසිවකු නිරාහාරව හෝ අර්ධ වශයෙන් නිරාහාරව තැබූ විට, ශරීරයට අවශ්‍ය ශක්තිය සපයනු සඳහා, වඩාත් ම විශාල වශයෙන් ශක්තිය රැඳී පවත්නා පටකය වන මේදය යොදා ගැනේ. එම මේදය කාබොහයිඩ්‍රේට් බවට පෙරළී, අනතුරුව ශක්තිය නිපදවනු සඳහා තවදුරටත් බිඳී යයි. මෙසේ මුළුමනින් ම මේදය බිඳී අවසන් වූ විට, ඊළඟට එම කාර්‍ය්‍යය සඳහා යෙදවෙන්නේ ප්‍රෝටීන් පටකයයි. මෙවිට ශරීරයේ මාංස පේශි සංකෝචනය වීමට හා වැහැරීමට පටන් ගනී. ඊළඟට ඉන්ද්‍රියය ද වැහැරෙන්නට වෙයි. විශේෂයෙන් ම අක්මාව හා ඇලදිව වැහැරී යන අතර අවසාන වශයෙන් හදවත, මොළය හා ඇටකටු ද වැහැරී යයි. හැදෙන දරුවන්ගේ මෙම මන්දපෝෂණ අවදිය වඩාත් ම අනතුරුදායක වන්නේ එම කාලය තුළ දී මාංසපේශිවලට, ඇටවලට හා රුධිරයට පමණක් නොව මොළයට ද සදහට ම හානියක් සිදු වී ඔවුන් බුද්ධිය අතින් ද හීන වූ පිරිසක් බවට පෙරළෙන බැවිනි.

මන්දපෝෂණය හේතුවෙන් විශාල වශයෙන් සිරුරේ බර අඩුවීම ද ශරීරයේ අධශ්චර්ම පටක හීන වී යාම ද සිදුවේ. මෙය වඩාත් ම කැපී පෙනෙන්නේ මුහුණේය. කම්මුල් වළගැහී, ඇස් ගිලී මහල්ලකුගේ මුහුණ බඳු වේ. තවද, ශරීරාවයව ඉරටු කෝටු මෙන් සිහින් වීමට ද ඉලඇට හා කොඳු ඇටය ඉලිප්පී ඇට ගණන් කළ හැකි තරමට පෑදී පෙනෙන්නට ද පටන් ගනී. මේ හැර පූර්ව රන්ධ්‍රය (anterior fontanella) වැසීයාම පමා වේ. දත් ඒම කල් යයි. මේදය හීන වී යාමෙන් සම වියළි ස්වරූපයක් ගන්නා අතර, හිසකෙස් වියළී, වේදනා විරහිතව රොත්ත පිටින් උගුල්ලා දැමිය හැකි භංගුර, තත්ත්වයකට පත් වේ. ඇස් පිහාටුවල සාමාන්‍ය වක්‍රතාව නැතිව ගොස් ඒවා කෙඳි මෙන් කෙළින් වන්නටත් තැනෙක අඩු වී තැනෙක පොදි ගැහෙන්නටත් වෙයි.

මෙවන් රෝගියා කිසිවක් ගැන උනන්දුවක් නොදක්වන අතර බලවත් උදාසීනතාවකින් පසු වේ. ඔහුගේ බඩගින්න ද ටික කලකින් නැතිව යා හැකි බැවින් ඔහුට කැවීමට බොහෝ විට මහත් පෙරැත්තයක් කළ යුතු වෙයි. අර්ධ වශයෙන් නිරාහාරව පසුවන්නටත් දුර්ගන්ධයකින් තොරව, ජලය මෙන් දියාරුවට අළුපාටට බඩයාමට ද පටන් ගත හැකියි. 'කුසගිනි මල' (hunger stools) නමින් හැඳින්වෙන මේ අශුචිවල ජීර්ණ නොවූ ආහාර කොටස් රැඳී තිබේ. එසේවන්නේ ආහාර ජීර්ණ වීමට අවශ්‍ය එන්සයිම වර්ග නොමැතිවීමේ හේතුවෙනි. ලෙහෙසියෙන් දිරවනසුලු, යොදේ ඉවත් කළ කිරි වැනි ආහාර ප්‍රමාණවත්ව ලැබෙන්නට සලස්වා, කලට වේලාවට ප්‍රතිකාර නොකළහොත් මෙම රෝගීන් මරුමුවට පත්වීම නොවැළැක්විය හැකිය.

මෙකල ලංකාවේ අවුරුදු පහට අඩු හැම ළමයින් තිදෙනකුගෙන් ම එකෙක් මන්දපෝෂණයෙන් පෙළේ. වෙනත් වචනවලින් කියතොත්, ඔවුහු ප්‍රමාණවත් කැලරි සංඛ්‍යාවක් ආහාර මගින් නොලබති. මොවුන් දැන් හඳුන්වන්නේ 'බර අඩු ළමයි' වශයෙනි. සංවර්ධනය වෙමින් පවත්නා රටවල ලොකු ම ළමා සෞඛ්‍ය ප්‍රශ්නය වී ඇත්තේ මොවුන්ගේ තත්ත්වයයි. මොවුන්ට සෑම පෝෂ්‍යජනක අහරක් ම වැඩියෙන් දිය යුතු වන අතර, වඩාත් අවශ්‍ය වන්නේ ප්‍රෝටීන්, මේද, විටමින් හා ඛනිජ ද්‍රව්‍ය අඩංගු ආහාර දීමය. මස්, මාළු, කරවල, මාජරින් හෝ ගිතෙල්, පොල්, පරිප්පු, මුංඇට, කොළ එළවළු හා පලතුරු (විශේෂයෙන් පැපොල්) මින් සමහරකි.

(ආ) ප්‍රෝටීන් ඌනතාව

කැලරි අවශ්‍යතාව මුළුමනින් ම හෝ ආසන්න වශයෙන් හෝ සම්පූර්ණව තිබිය දී ප්‍රෝටීන් ඌනතාව මතු වූ විට 'ක්වෂියෝකෝර්' (kwashiorkor) නම් රෝගය හටගනී. ක්වෂියෝකෝර් යනු 'දෙවැනි දරුවා ඉපදුණු විට පළමුවැනි දරුවාට වැලඳෙන රෝගය' යන අරුතින් ඝානා රටේ ව්‍යවහාර වන වචනයකි. මෙය මාන්දම ම නොවූවත් ඊට කිට්ටු හෝ සම තත්ත්වයකි. (මාන්දම යන්න අර්ථ රැසක් දිය හැකි, විවිධ රෝගී තත්ත්ව 20ක් පමණ හැඳින්වීමට යෙදෙන පදයකි.)

ක්වෂියෝකෝර්වෙන් පෙළෙන්නා වූ රෝගියා ඉදිමුණු අයෙකි. ඉදිමුම විශේෂයෙන් ම පාදයන්හි දක්නට ලැබේ. ඔහු වටාපිටාව ගැන උනන්දුවක් නොදක්වයි. ඔහු පාචනයෙන් හා රක්තහීනතායෙන් හෙවත් නිරක්තියෙන් (anaemia) පෙළේ. ඔහුගේ සම වියළිය. එසේ ම තට්ටම්, කළවා, බාහු හා පාද යන තන්හි තද අඳුරු වර්ණ පැල්ලම් මතු වී ඇත. හිසකෙස් කළු පිග්මන්තහරණයෙන් හෙවත් විරංගනයෙන් (depigmentation) යුක්ත වී විටෙක ලා දුඹුරු පැහැය හෝ අළු පැහැය ගත හැකිය (ප්‍රතිකාර යෙදීමෙන් පසු හිසකෙස් ස්වාභාවික කළු වර්ණය ගනී). වයස අවුරුදු 1ටත් 3ටත් අතර ලාංකික ළමයි අතර මේ අසනීපය විරල නොවේ. මෙය විශේෂයෙන් ම දක්නට ඇත්තේ ආර්ථික තත්ත්වය අතින් ඉතා දුර්වල වූ සමාජයේ නිර්ධන පන්තියෙහිය. වැඩිහිටියන් අතර ද මෙය විරලව දක්නට ඇත. ඒ, හිඟන්නන් හා යන එන තැන් නැත්තවුන් අතරය. මේ රෝගීන් රෝහලක දී ප්‍රතිකාර නොලදහොත් එයින් ම මිය යනු නියතය. හොඳ ම ප්‍රතිකාර සලස්වා දීමෙන් පසුව වුව, සියයට 10ටත් 15ටත් අතර සංඛ්‍යාවක් මිය යන බව පෙනේ.

(ඇ) මේද ඌනතාව

ළමයින්ගේ වැඩීමට හා පෝෂණයට ප්‍රෝටීන් තරම් ම අවශ්‍ය දෙයකි, මේද. එහෙත් මේ බව දැනගන්නා ලද්දේ ඉතා ම මෑතක දීය. සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා ශරීරයට උවමනා ශක්තිය සැපයීම පිණිස කාබොහයිඩ්‍රේට් සමඟ මේදය ද නිරතුරුව ම පරිවෘත්තීය ක්‍රියාවන්ට හවුල් වේ. ශරීරයේ ගබඩා වී ඇති මේදය අක්මාවේ මාංසයේ ගබඩා වී ඇති මේදය සමඟ රුධිර ජලාස්මගත මේද මාර්ගයෙන් නිරතුරුවත්, සක්‍රිය වශයෙනුත්, පරිවෘත්තීය හුවමාරුවලට සහභාගි වේ. ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණය නැති විට, ශරීරයේ ගබඩා වී පවත්නා මේදය පරිවෘත්ත වී කැලරි සපයා දේ. දුප්පත් ලාංකික හා ඉන්දියානු මව්වරුන්ගේ තනකිරි මේද ප්‍රමාණයෙන් හා විටමින් 'ඒ' අතින් ඌන බව පෙනී යයි. සමහර ප්‍රෝටීන් ඌනතා තත්ත්වයක් පවත්නා විට මේද සිරුරට අවශෝෂණය වීම ද අඩු බව පෙනේ. මේදය අඩුවීම - විශේෂයෙන් ලිනොලීක් මේද අම්ලය අඩුවීම - සමේ වෙනස්වීම් රැසකට හේතු වන බව සොයාගෙන ඇත. සමේ මේ වෙනස්වීම් අතර රළු වීම, ගොරෝසු වීම, වියළි බව හා පොතු යෑම ද හමේ රැලි අතර ඉස්ම ගැලීම ද වේ. හමේ වෙනස්වීම් සමඟම වාගේ දක්නට ලැබෙන තවත් දෙයක් නම් තද දුඹුරු පැහැති, ප්‍රමාණයෙන් අධික වූ මලය. ක්වෂියෝකෝර්වෙහි දී දක්නට ලැබෙන සමේ වෙනස්වීම් හා ඉහත කියන ලද සමේ වෙනස්වීම් සමහර විට එකිනෙක වෙන් කොට හඳුනාගත නොහැකි තරම්ය.

වැඩීම ඇනහිටීමට ද මේද ඌනතාව හේතු වේ. ලංකාවේ 'බර අඩු ළමයින්' මේතාක් සිටීම කෙරෙහි, ආහාරයෙහි ලා මේදය අඩුව ගැනීම කෙතෙක් දුරට බලපාන්නේ ද යන්න තව ම නිශ්චය වශයෙන් තීරණය කොට නැත. අපේ ළදරුවන්ගේ හා දරුවන්ගේ පෝෂණ දෝෂ හේතුවෙන් හටගන්නා නීරක්තය කෙරෙහි ද මේද ඌනතාව බලපානු විය හැකිය.

විටමින්

විටමින් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කොට ඇත. (1) මේදයෙහි ද්‍රවණය වන විටමින් හා (2) ජලයෙහි ද්‍රවණය වන විටමින් යනුවෙනි.

(1)මේදයෙහි ද්‍රවණය වන විටමින්

විටමින් 'ඒ' දෙයාකාරයකට ඇත.

(අ) සත්ව මේදයෙහි - විශේෂයෙන් ම මත්ස්‍ය අක්මා තෙල්වල, නි.මෝර, කොඩ්, හැලිබට් යන මත්ස්‍යයන්ගේ අක්මා තෙල්වල.

(ආ) ප්‍රෝවිටමින් 'ඒ' හෝ කැරටින් වශයෙන් කහ හා රතු පැහැති කොළ, ගෙඩි හා එළවළු ආදියෙහි. නි. කැරට්, තක්කාලි, පැපොල්, මුරුංගා හා කතුරු මුරුංගා කොළ, අල, බතල, වට්ටක්කා.

අපිච්ඡද පටකවල ශක්තිමත්බව හා අපිච්ඡද සෛලයන්ගේ සාමාන්‍ය වර්ධනය සඳහා විටමින් 'ඒ' අත්‍යවශ්‍යය. විටමින් 'ඒ' ඌනතා හේතුවෙන් සාමාන්‍ය අපිච්ඡද සෛල තට්ටු නිර්හරණය (atrophy) වීමටත්, අනතුරුව මූලස්ථ (basal) සෛල ස්තම්භික (columnar) ආකාරයෙන් ස්තරීභූ, කෙරටිනීභූත (keratinized) ශල්කමය ආකාරයකට පරිවර්තනය වීමටත් පටන් ගනී. ශ්ලේෂ්මල (mucous) පටලයන්හි ස්‍රාවයන් බිඳී යාමටත්, අන්තිමේ දී එම ස්‍රාවයන් සිඳීයාමටත් පටන් ගනී. මෙම වෙනස්වීම් සිදු වන්නේ ඇස්වල, මුවෙහි හා ලිංගික-මෞත්‍රික (genito-urinary) පද්ධතීන්හි ද වේ. ඇස් වර්ණීභවනය (pigmentation) වී සංසන්ධිතයේ සුදු ගොඩැලි මතුවීමටත් ස්වච්ඡ මණ්ඩලය (cornea) තුවාළවීමෙන් අන්ධභාවයට මුල පිරීමටත් පටන් ගනී.

විටමින් 'ඒ' ඌනතාව අපගේ ළමයින් 2,000කගේ පමණ ඇස් අන්ධ වී යාමට හේතුව වී තිබේ (1969). මේ සෑම අන්ධවීමක් ම වැළැක්විය හැකිව තුබුණු අතර, ඒවා ඇති වූයේ බොහෝ විට අවශ්‍ය ප්‍රමාණයට අඩුව, කිරි ම පමණක් මුල් මාස 6ට වඩා වැඩි කලක් තුළ තම ළදරුවන්ට දුන් මෑණිවරුන් නිසා බව කිව යුතුය.

මාස 4-6 ඉකුත් වන සමයේ සිට කිරිවලට අමතරව එළවළු, පලතුරු ආදිය දරුවාට ලබා දිය යුතුය. අපේ දුප්පත් ළදරුවන්ට මේ අමතර ආහාර අවුරුද්දක් ඉකුත් වන තුරු නොලැබේ. එසේ ම, අන්ධවීමට පටන් ගන්නා ඇස්, ප්‍රතිකාරයකින් සුව නොකළ හැකි වන පරිදි මුළුමනින්ම අන්ධ වී යන තුරු, අපේ නූගත් මව්වරුන් බොහෝදෙනා කිසිදු විශේෂ දැනුමක් නැති අයගෙන් බෙහෙත් ගැනීම ද ඉහත කී අන්ධ වී යෑම්වලට තවත් හේතුවකි. වයස මාස 2-3 සිට ඉදිරියට සෑම ළදරුවකුට ම පාසල් විය තෙක් දිනකට මෝරතෙල් බින්දු කීහිපයක් බැගින් දීමට මව්වරුන් උනන්දු වුවහොත් මේ අන්ධවීම් කිසි විටෙක සිදු නොවනු ඇත.

විටමින් 'ඒ' අඩුකමේ හේතුවෙන් ළමයින් විෂබීජ ආක්‍රමණයට වඩ වඩා ගොදුරු වීමට ඉඩ තිබේ. නිතර නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට හා කැස්ස ගතියට හේතුව විටමින් 'ඒ' අඩුකම විය හැකිය.

සමේ ස්වාභාවික පෝෂණය සඳහා ද විටමින් 'ඒ' අවශ්‍යය. එය ප්‍රමාණවත්ව නොලැබුණු විට හම ගොරෝසු වී ඝන වී පැපුල (papules) සහිතව ගෙඹි හමක් මෙන් වේ. මේ පැපුල මතු වන්නේ කේශ දෘතිකා (hair-follicles) හා ස්නේහමය (sebaceous) ග්‍රන්ථි වටාය. මේ පැපුල වඩාත් ම පෙනෙන්නට වන්නේ වැලමිට හා දණ වටාය. හමේ මේ වෙනස්වීම් විටමින් 'ඒ' ඌනතාව නිසා පමණක් ඇතිවන්නේ නොවේ. ඒවා අත්‍යවශ්‍ය මේද අම්ල හිඟකම හා විටමින් 'බී' සාධක හිඟකම නිසා ද මතුවිය හැකිය.

විටමින් 'ඩි' (ප්‍රති-රිකට විටමිනය)

ඇට, රුධිරය, ස්නායු, මාංස යන පටකයන්ට හා විවිධ එන්සයිම ප්‍රතික්‍රියා රැසකට අත්‍යවශ්‍ය කැල්සියම් හා පොස්පරස් අවශෝෂණය වීම සදහා ආහාර මාර්ගය පවත්වා ගැනීමට හා උත්තේජනය කිරීමට විටමින් 'ඩී' ආධාර වේ. මෙම විටමිනය අඩංගු ස්වාභාවික ආහාර නම් සත්වජ ආහාරය. මෝර තෙල්වල විටමින් 'ඒ' විශාල වශයෙන් අන්තර්ගත නමුත් විටමින් 'ඩී' ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. බිත්තර කහමදයේ මේ විටමිනය ප්‍රමාණවත්ව අඩංගු වන අතර, එම ප්‍රමාණය මෙන් භාගයක් පමණ එළකිරෙහි අඩංගු වේ. බොහෝ පිටිකිරි වර්ගවල ද රස කරන ලද උකු කළ කිරි වර්ග කිහිපයක ද මේ විටමිනය අඩංගු වේ. ඉරඑළියේ පාරජම්බූල (ultra-violet) රශ්මිය හා ගැටීමෙන් සමෙහි ද විටමින් 'ඩී' නිෂ්පාදනය වන්නේය. එහෙත් අඳුරුවන් සමක් ඇති අයගේ මේ නිෂ්පාදනය අඩුය.

රිකට්ස්

විටමින් 'ඩී' ඌනතාව නිසා වැලඳෙන රිකට්ස් නම් අසනීපය මෙම ශතවර්ෂයේ මුල් භාගය වන තුරු යුරෝපයේ, උතුරු ඇමෙරිකාවේ හා එක්සත් රාජධානියේ සුලභව දක්නට ලැබුණු නමුත් අද එය වඩාත් ම දක්නට ලැබෙන්නේ උපනිවර්තන කලාපීය රටවල වන අතර, එම රෝගීන් සෑහෙන සංඛ්‍යාවක් නිවර්තන රටවල ද වේ. කලින් කී රටවල රිකට්ස් අඩු වූයේ සෑම ළදරුවකුට ම විටමින් 'ඩී' දීම පුරුද්දක් වශයෙන් ඒවායේ පැතිර ගිය බැවිනි. ඉක්මනින් කාර්මික වූ ඒ රටවල වාතාවරණය කම්හල් දුමෙන් නිති වැසී ගිය අතර, ඒ රටවල මිනිසුන් ද තම සිරුරේ හැම අඟලක් ම පාහේ ඇඳුම්වලින් වසා ගෙන ජීවත්වීමට පුරුදුව සිටි බැවින්, සූර්ය රශ්මිය ඔවුන්ගේ සම මත වැටීම මගින් ප්‍රමාණවත් විටමින් 'ඩී' නිෂ්පාදනයක් නොවීය.

රිකට්ස් අසනීපයේ මුල් ම ලක්ෂණ වශයෙන් ඉක්මනින් කිපෙනසුලුබව හා නොසන්සුන්බව, නිදි නැතිබව හා (විශේෂයෙන් ම රෑට නිය හා බෙල්ල වටා) අධිකව දහඩිය දැමීම ද සඳහන් කළ හැකිය.

මේ රෝගීන්ගේ කැල්සියම් අවශෝෂණය ද හීනය. තව ද මූත්‍ර හා මල ඔස්සේ වැඩි වශයෙන් කැල්සියම් හා පොස්පරස් පිටව යන්නේ ද වේ. මේ හේතුවෙන් වැඩිහිටියන්ට ඔස්ටියොමැලේසියාව වැලඳෙන අතර ළමයින්ට රිකට්ස් වැලඳේ.

රිකට්ස් වැලඳුණ විට පූර්ව රන්ධ්‍රය වැසීයෑම හා දත් ඒම ප්‍රමාද වේ. එහෙත් මේ සලකුණු වඩාත් සුලභව දක්නට ලැබෙන්නේ මන්දපෝෂණයෙන් හා ක්වෂියෝකෝර්වෙන් පෙළෙන ළමුන් අතරය. බකල කකුල්, ඇවිදින විට එකිනෙකට ගැටෙන දණිස්, කොඳු ඇට වක්‍රතා, විශාල වූ මැණික්කටු, වළලුකර, ඉලවල පර්ශු-සිකත (costo-chondral) සන්ධි, හිස්කබලේ ලලාට හා පාර්ශ්වික ඇට නෙරා ඒම යන මේ ලක්ෂණ කලක් ගිය රිකට්ස් රෝගීන් කෙරෙහි දක්නට ලැබේ.

ආගමික හෝ සංස්කෘතික හේතූන් නිසා, මුළු සිරුර ම පාහේ ඇඳුමින් වසා ජීවත්වන ස්ත්‍රීන් අතර ඔස්ටියොමැලේසියාව දක්නට ලැබේ. මෙය බොහෝ විට මුල්වරට ප්‍රකාශ වන්නේ දරු ප්‍රසූතියක දී විය හැකිය. ඒ කැල්සියම් අඩුකම නිසා සංකෝචනය වී විකෘතව පවත්නා ශ්‍රෝණිය තුළින් දරුවාගේ හිස බිහිවීම අපහසු බැවිනි.

රිකට්ස් වැලඳෙන ළමයින් බෙහෙවින් ජීවත් වනුයේ දුගී පන්තිවලය. ඔව්හු බොහෝවිට ජනේල නැති පොල් අතු පැලවල වෙසෙති. එසේ ම මේ ළමයින්ගේ දෙමාපියන් වැඩට යන විට ඔව්හු එම ළමයින් ගෙතුළ දමා දොරගුළු ලා යති.

විටමින් 'ඊ' (ටොකොෆෙරෝල්)

ඉරිඟු, සෝයා බෝංචි, රටකජු, කපුඇට, පොල්, ධාන්‍ය හා බිත්තර යන මේවා අනුක්‍රමයෙන් විටමින් 'ඊ' අතින් පොහොසත්ය. විටමින් 'ඊ' ප්‍රති-ඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියා කරයි. ක්වෂියෝකෝර්වෙන් පෙළෙන අයගේ රුධිරයේ ටොකොෆෙරෝල් මට්ටම පහළය. මේ විටමින් හිඟකම නිසා මෙගලොබ්ලාස්ටීය නීරක්තිය (megaloblastic anaemia) වැලඳුණු ජෝර්දානු ළමයින් ගැන වාර්තා වී ඇත.

විටමින් 'කේ' (ප්‍රති-රක්තපාතීය විටමිනය)

ස්වාභාවික ආහාර වර්ග අතර, විශේෂයෙන් කොළ පැහැති ශාකයන්හි, බහුල වශයෙන් දක්නට ලැබෙන විටමිනයකි. විවිධ බැක්ටීරියාවන්හි ද මේ විටමිනය බහුලව ඇත. අපේ බඩවැලෙහි වෙසෙන බැක්ටීරියාවන් විසින් මේ විටමිනය සංශ්ලේෂණය කරනු ලැබේ. තක්කාලි, ධාන්‍ය, මාළු, අල හා පලතුරු ආදියෙහි ද සාමාන්‍ය වශයෙන් ඇත. මේ විටමිනය අඩු වීම කරණකොටගෙන අලුත උපන් ළදරුවන්ට රක්තපාතය ඇති වේ.

(2) ජලයෙහි ද්‍රවණය වන විටමින් (තයමින් හෙවත් විටමින් 'බී')

විටමින් 'බී' අඩුවීමේ හේතුවෙන් (සිංහල 'බැරි බැරි' යන්නෙන් බිඳී ආ සේ සැලකෙන) 'බෙරි බෙරි' (බ.) යන නමින් ඉංගිරිසියෙන් හැඳින්වෙන රෝගය වැලඳේ. කාබොහයිඩ්‍රෙට් පරිවෘත්තියෙහි දී තයමින් වැදගත් කර්තව්‍යයක් ඉටු කරයි. පයිරූවික් අම්ලය බිඳ දැමීම සඳහා තයමින් අත්‍යවශ්‍යය. මෙය කාබොහයිඩ්‍රේට් පරිවෘත්තියෙහි ලා අත්‍යවශ්‍ය පියවරකි. බෙරි බෙරි අසනීපයෙහි (බැරි බැරි ගායෙහි) දී මෙය සිදු නොවන බැවින්, පයිරූවික් හා ලැක්ටික් අම්ල පටකයන්හි රැඳේ.

තයමින් අඩංගු ආහාර

ඌරුමස්, පීකුදු හා අනික් සත්ව ඉන්ද්‍රිය, යීස්ට්, බිත්තර, ඇතැම් කුඩා ගෙඩි වර්ග (berries), රනිල, මුළු වශයෙන් ගත් ධාන්‍ය හා අලුත් කොළ පැහැති එළවළු යන මේයි.

වී බාගෙට තැම්බූ විට තයමින් විටමිනය සහල් ඇටය තුළට කාන්දු වේ. එබැවින් ඊට පසු මැෂිමක් මගින් පොතු හැරගත්ත ද එම විටමිනය ආරක්ෂා වේ. බාගෙට නොතම්බා එසේ කළහොත්, තයමින් මුළුමනින් ම වාගේ විනාශ වී යයි. එබැවින් බෙරි බෙරි රෝගය වඩාත් ම දක්නට ඇත්තේ තම්බාගත් හාල්වලට වඩා මැෂිමෙන් කොටා ගත් අමු සහල් (කැකුළු හාල්) ප්‍රයෝජනයට ගන්නා අය අතරය. තම්බාපු හෝ කැකුළු හාල් උයන්ට පළමු දිගින් දිගට ම වතුරෙන් සේදීමෙන් එහි අඩංගු තයමින් තවදුරටත් නැති වී යෑමට පුළුවන. තයමින්, එළකිරෙහි ඇති ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකි, තනකිරෙහි ඇත්තේ. ළදරුවන්ට තයමින් අඩුකම නිසා වැලඳෙන බෙරි බෙරි රෝගය වැඩිහිටියන්ට වැලඳෙන එම රෝගයට වඩා වෙනස් මුහුණුවරක් ගනී. ළදරු බෙරි බෙරි රෝගය වැලඳෙන්නේ තයමින් අඩුකමින් පෙළෙන, මව්වරුන් තම දරුවන්ට දිගු කලක් තිස්සේ අන් අමතර අහර නොදී, තන කිරි ම පමණක් දුන් විටය. ළදරු බෙරි බෙරි රෝගයෙන් ළදරුවෝ හිටි හැටියේ මිය යති. රෝගී ළදරුවෝ ඉදිමී, හතියෙන් යුතුව පසුවෙති. ඔවුන්ගේ හැඬීම ගොරෝසුය.

හැදෙන ළමයින්ට හා වැඩිහිටියන්ට වැලඳෙන බෙරි බෙරි රෝගය නිදන්ගත රෝගයකි. එය දෙයාකාරය -

(1) වියළි බෙරි බෙරි

මේ රෝගයේ දී, වැහැරී ගොස් නිර්හරණය වූ මාංස පේශී සහ විශේෂයෙන් දෙපාවල පක්ෂාඝාතය ඇති වනු පෙනේ.

(2) තෙත බෙරි බෙරි

මෙය වඩාත් ම දක්නට ඇත්තේ ළමයින් අතරය. මෙහි දී දෙපාවල සංවේදක හා චාලක හැකියාවන් ටිකින් ටික නැතිව යයි. එසේ ම මාංසවල රිදීමක් ද හටගනී. වඩාත් දරුණු ලෙස රෝගී වූ අයගේ අත් ද පසුව මෙලෙස රෝගී වේ. ඔවුන්ගේ නාඩි වේගය අඩුවීමත් සමඟ හෘදයේ දකුණු පැත්ත අතිහරණය (hypertrophy) වේ.

තයමින් අඩංගු සමබල ආහාරයක් දීමෙන් බෙරි බෙරි ඉක්මනින් සුවකර ගත හැකි වේ.

විටමින් 'බී2' (රයිබො‍‍‍‍ෆේලේවින්)

සෑම සත්ව ප්‍රෝටීන් වර්ගයකමත්, පැළ වන ඇටවලත්, නිවුඩු සහල්වල හා තිරිඟුවලත්, යීස්ට්, මෑ, බෝංචි යනාදියේත් රයිබොෆේලේවින් ඇත. බඩවැලෙහි දී බැක්ටීරියාවන් විසින් රයිබො‍‍ෆේලේවින් සංශ්ලේෂණය කරනු ලැබේ. එය අක්මාව, වකුගඩු, මාංසපේශි යන මේවායේ ගබඩා වේ.

ළදරුවන් අතර, විශේෂයෙන් ප්‍රෝටීන්-කැලරි මන්දපෝෂණයෙන් පෙළෙන බාල දරුවන් අතර, රයිබොෆේලේවින් ඌනතාව සුලභව පෙනේ. අපේ දරුවන් කෙරෙහි දෙවැනි වශයෙන් වඩාත් දක්නට ලැබෙන ලැබෙන විටමින් ඌනතාව වනාහි රයිබොෆේලේවින් ඌනතාවයි (පළමුවැන්නට ගැනෙන්නේ විටමින් 'ඒ' ඌනතාවයි). රයිබොෆේලේවින් ඌනතාව හේතුවෙන් ඇතැම් ඉන්ද්‍රියයන්ට ඇතිවන උපද්‍රව පහත දැක්වේ - ඇස් - කඳුළු ගැලීම, අස්වාභාවික ලෙස ස්වච්ඡයෙහි අලුතින් ලේ නහර මතු වීම, ස්වච්ඡ ප්‍රදාහය (corneal inflammation) හා ඇසේ සුද ඒම.

ආහාර ජීරණ පද්ධතියේ ශ්ලේෂ්මල පටල - ජිහ්වා ප්‍රදාහය (glossitis) හා දිව දිලිහෙන රතු පැහැ ගැන්ම, මුඛ - ග්‍රසනික (oro-pharyngeal) ශ්ලේෂ්මල පටල ප්‍රදාහය වීම, තොල් (විශේෂයෙන් තොල් කොන්) පැළීම.

සම - කැසීම, පොතුයෑම, ඉරි තැළීම, සන්ධි යාබද හා නාස් පුඩු යාබද නැමි අතර ප්‍රදාහය.

ශ්‍රෝණිය - ප්‍රදාහය, පොතු යෑම, අපානය, භගය හා කෝෂය කැසීම.

විටමින් 'බී6' (පිරිඩොක්සීන්)

මෙය වඩාත් ම හොඳින් අඩංගු වී ඇති ආහාර නම්, සහලේ උඩු සිවිය (නිවුඩ්ඩ), යීස්ට්, තිරිඟු ඇට, සෝයා බෝංචි පිටි, ඉරිඟු හා සියලු ම වර්ගවල මාංස, මාළු හා සත්ව ඉන්ද්‍රිය යන මේවායේය.

මේ විටමිනය ඇමයිනෝ අම්ලයන්හි පරිවෘත්තියට අත්‍යවශ්‍යය. තවද එය කාබෝහයිඩ්රේට් පරිවෘත්තියෙහි ද ඉතා ළඟින් සම්බන්ධ වී ඇත. බඩවැලෙහි ජීවත් වන බැක්ටීරියාවන් විසින් මේ විටමිනය ද සංශේලේෂණය කරනු ලැබේ. මේ විටමිනය අඩුවීමේ හේතුවෙන් මිනිසාගේ වැඩීම ඇනහිටී. දුබලතාව, නින්ද නොයෑම, පා වාරු නැති බව සහ ඉක්මනින් කිපෙනසුලුබව ඇති වේ.

නිකොටිනික් අම්ලය (නියැසින්)

මේ විටමිනය ප්‍රති-පෙලාග්‍රා (anti-pellagra) සාධකය යනුවෙන් ද හැඳින්වේ. පෙලාග්‍රා රෝගය වඩාත් ම වැලදෙන්නේ ඉරිඟු ප්‍රධාන ආහාරය කොට ජීවත්වන්නවුන් අතරය. බත් ප්‍රධාන ආහාරය කොට ජීවත්වන්නවුන් අතර එය දක්නට ඇත්තේ කලාතුරකිනි. වියළි යීස්ට්, සහලේ පිට සිවිය, පීකුදු හා රටකජු මේ විටමිනයෙන් පොහෙ‍ාසත්ය. මස්, තිරිඟු, තම්බපු සහල් හා මෙනේරි යන මේවායේ ද මෙය යම් යම් තරමින් ඇත.

ෆෝලික් (ටෙරොයිල්ග්ලූටමික්) අම්ලය

මෙය මිනිසාගේ ප්‍රති-නීරක්ත (anti-anaemic) සාධකයකි. අලුත්, තද කොළ පැහැති එළවළු, රටඉඳි, ගෝවාමල්, හාතාවාරිය ද, පීකුදුව, වකුගඩුව වැනි අභ්‍යන්තර ඉන්ද්‍රිය ද, බ්රූවර්ස් යීස්ට් ද යන මේවායේ මෙය අඩංගුය. ආහාර පිසීමේ දී මේවායේ අඩංගු ‍‍ෆෝලික් අම්ලයෙන් සියයට 50 සිට 95 දක්වා ප්‍රමාණයක් විනාශ වී යා හැකිය.

නිවර්තන මහා සෛලීය නීරක්තිය, ශීතාද රෝගය (scurvy), පෛංගය (cirrhosis) යන රෝග හා සම්බන්ධ නීරක්තිය ආදි මෙගලොබ්ලාස්ටික නීරක්ත ගණනාවක දී රක්ත ඍෂ්ටික (haemopoietic) ගුණයක් දක්වන්නකි. ෆෝලික් අම්ලය, ජිහ්වා ප්‍රදාහය හා මුඛ ප්‍රදාහය මේ රෝගයන්හි දී ඇති වේ.

විටමින් 'බී12' (කොබලැමින්)

සමහර ක්ෂුද්‍ර ජීවීන්ට හා ඇක්ටිනොමයිසිටේස්වලට පමණකි, මෙම විටමිනය සංශ්ලේෂණය කළ හැකි වනුයේ. ශාකවලත්, යීස්ට්වලත් එය නැත. එය සෑම සත්ව පටකයකමත්, කිරිවල හා බිත්තරවලත් අඩංගුය.

සාමාන්‍ය වර්ධනයෙහි හා රුධිර නිෂ්පාදනයෙහි මෙන් ම, ස්නායු හා පියුරින් සංශ්ලේෂණය වැනි ක්‍රියාවල දීත් මේ විටමිනය හවුල් වේ. ෆෝලික් අම්ලයේ පරිවෘත්තිය කෙරෙහි ඍජුව හා අනෘජුව බලපාන විටමින් 'බී12' ‍ෆෝලිනික් අම්ලය නම් සහ-එන්සයිමය සෑදීමෙහි ලා අත්‍යවශ්‍ය විය හැකිය. විටමින් 'බී12' ඌනතාවේ හේතුවෙන් ප්‍රනාශී (pernicious) නීරක්තිය වැලඳිය හැකි නමුත් මේ අසනීපය ලංකාවේ හා ඉන්දියාවේ විරලය. ඉන්දියානු හා ලාංකික ළදරුවන් කෙරෙහි දක්නට ලැබෙන විශේෂ මහා සෛලීය නීරක්තියක් වේ. සෑම රෝගියකුගේ ම නොවූවත්, බොහෝ රෝගීන්ගේ මෙම නීරක්තය විටමින් 'බී12' පාවිච්චියට දීමෙන් සුව වී ඇත. ෆෝලික් අම්ලය පාවිච්චියට දීමෙන් ද මෙම නීරක්තියෙන් සහනය ලැබී ඇති නමුත් එය 'බී12' ප්‍රතිඵල තරම් ප්‍රකට ව නොපෙනේ. මුළු සිරුරමත්, අත්, පා, දිව සහ හිස වැනි ඉන්ද්‍රියනුත් වේපනයකට (වෙව්ලීමකට) ලක් වන මෙම නීරක්තියේ දී අධි-ප්‍රතීක (brisk reflexes) ඇති වේ; පේශී මන්දතානක (hypotonic) වේ.

මෙකී ළදරුවන් බොහෝ විට මව්කිරි පමණක් ලත් අය වන අතර, එකී රෝග ලක්ෂණ වැලඳෙන්නේ දෙවැනි අවුරුද්දේ පළමුවන භාගයේ දීය. එම රෝගීන්ගේ සම රටදෙහිවල බඳු ලාක්ෂණික කහපාටක් ගනී. එසේ ම, එකිනෙකින් වෙන්ව පිහිටියා වූ වෘත්තාකාර අධිවර්ණ පෙදෙස් ද ඔවුන්ගේ සමෙහි දක්නට ලැබේ. මේ අධිවර්ණ පෙදෙස් වඩාත් ම දක්නට ලැබෙන්නේ යටිපත්ලේ හා අත්ලේත් මැණික්කටුව හා වළලුකර හරියේත් අත් පා ඇඟිලි කෙළවරත් කළවාවලත් බාහුවේ, ඉකිළියේ, දණහිසේ හා කිහිලිවලත්ය. මෙම රෝගීන්ගේ නිය ලාක්ෂණික සුදකින් යුක්තය.

විටමින් 'සී' (ඇස්කෝබික් අම්ලය)

මෙය වඩාත් ම ලබාගත හැක්කේ පලතුරුවලිනි. ලංකාවේ පලතුරු අතුරෙන් නෙල්ලි, කජු පුහුලන් හා පේර මේ විටමිනය වඩාත් ම අඩංගු පලතුරුය. මුරුංගා කොළ හා කරල්, රතු මිරිස්, නිවිති යන එළවළුවල ද මෙය අඩංගුය.

මිනිසාට ස්වකීය ශරීරාභ්‍යන්තරයෙහි විටමින් 'සී' සංශ්ලේෂණය කළ නොහැකිය. එය ඔහුගේ ශරීරය තුළ ගබඩා කළ හැක්කේ ද ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණි. එද අධිවෘක්ක ග්‍රන්ථියේ වල්කයෙහිය. ට්‍රිප්ටොපේන් නම් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය සම්බන්ධ පරිවෘත්තීය ක්‍රියාවන්හි දී, එන්සයිම ක්‍රියාකාරිත්වය පිණිස විටමින් 'සී' අවශ්‍ය වේ. එය හිමොග්ලොබින් නිෂ්පාදනයෙහි දී මෙන් ම රතු රුධිර සෛල මුහුකුරා ඒමේ දී ද වැදගත් වේ. ෆෝලික් අම්ලය පරිවෘත්තියෙහි ද ‍ෆෝලික් අම්ලය ‍‍ෆෝලිනික් අම්ලය බවට හැරවීමෙහි ලා විටමින් 'සී' අවශ්‍ය වේ.

විටමින් 'සී' ඌනතාවේ හේතුවෙන් ශීතාද රෝගය වැලඳේ. මෑතක් වන තුරු වැඩි වශයෙන් ම විශ්වාස කැරුණේ නිවර්තන රටවල මේ රෝගය නොපවත්නා බවකි. එහෙත් ළමා සෞඛ්‍ය චිකිත්සකයන් සෑම කෙනකු කෙසේ වෙතත් බොහෝ දෙනකුන් ශීතාද රෝගය දැක ඇත.

ශීතාද රෝගයට වඩාත් ම භාජන වන්නේ ඇට, දත්, කාටිලේජ, සම්බන්ධක පටක හා රුධිරයයි. කාටිලේජයේ 'විස්ථාපනය' ද ඇට කෙළවර බිහිවැඩුම් ද එම පෙදෙස්වලට අවිදුරව රක්තපාතය හෝ මෘදුවීම් සහිත අක්‍රමවත් මෙටෆිසිස ද මෙහි දී දක්නට ලැබේ.

ශීතාද රෝගය වැලඳි ළදරුවා සාමාන්‍යයෙන් මාස 6-18 අතර කාලයේ දී, අවයවයන් එකක හෝ ඊට වැඩි ගණනක ව්‍යාජ-පක්ෂාඝාතය හා ඉදිමුම ඇතිව වෛද්‍ය උපදෙස් සොයා ගෙනෙනු ලැබේ. දණිස, වැලමිට හා උරහිස් සන්ධි මෙම අසනීපයට බෙහෙවින් ලක් වේ. මෙම ස්ථාන ඇල්ලූ විට රෝගියාට දැඩි වේදනාවක් දැනේ. කිහිප දෙනකුන් කෙරෙහි පෙටිකීය (petechial) හා පර්පියුරීය රක්තපාත (purpuric haemorrhage) සලකුණු ද දක්නට ලැබේ. ඊටත් අඩු සංඛ්‍යාවකගේ විදුරුමස්වලින් ලේ ගලනු පෙනේ. පර්ශු සිකත සන්ධි ඉලිප්පී උල් වී හා කෝණිකව (angular) පවතී.

ශීතාද රෝගය මුල් වරට ප්‍රකාශ වන්නේ නියුමෝනියාව වැනි තීව්‍ර ආසාදනයකින් පසුව විය හැකියි. ශීතාද නීරක්තිය ඕනෑ ම වර්ගයක එකක් විය හැකියි.

ලවණ ඌනතාව

යකඩ

මනුෂ්‍ය පෝෂණයෙහි ලා වඩාත් ම වැදගත් වනුයේ යකඩ ලවණයි. රක්තාණු, රුධිර ප්ලාස්මය, මාංස පේශි හා අනික් පටක යන මේවායේ යකඩ අන්තර්ගතය. දහඩිය, මූත්‍ර හා පිත යන මේවායේ ද ඉතා සුළු වශයෙන් ඇත. දහඩිය මගින් වන යකඩ පිටවීම නිවර්තන රටවල ශීත රටවලට වඩා අධිකය.

කඩල, විශේෂයෙන් මුංඇට, පරිප්පු, තල ඇට, රට ඉඳි, පලා (විශේෂයෙන් කතුරු මුරුංගා) හා තුනපහේ යන මේවායේ යකඩ අඩංගුය. හරක් පීකුදු, හාල්මැස්සන් වැනි පුංචි මාළුන්ගෙන් පිළියෙළ කරගත් කරවල, බිත්තර යන මේවා යකඩ ලබා දෙන හොඳම සත්වජ ආහාර වේ.

යකඩ ඌනතාව හේතුකොට වැලඳෙන කුඩා සෛලික මන්ද වර්ණ නීරක්තිය වනාහි සංවර්ධනය වෙමින් පවත්නා හා මෙතෙක් සංවර්ධනය නොවූ රටවල සුලභ ම මන්දපෝෂණ ප්‍රශ්නයයි. අපේ කාන්තා පක්ෂය අතර ද මෙය සුලභයි. එහෙත් ලංකාවේ නම් ළමයින් අතර මෙන් කාන්තාවන් අතර ද මේ නීරක්තිය පවත්නේ ප්‍රෝටීන්, ෆෝලික් අම්ලය ආදිය අඩුකමත් සමඟ ඈඳීගෙනය. වයස අවුරුදු 5න් පසු එය කොකු පණු රෝගයත් සමඟ ඈඳී පවතී.

ළදරුවන් ද සිව්මස් වියෙහි දී පමණ යකඩ ඌනතාව නිසා වැලඳෙන නීරක්තියට භාජන විය හැකිය. මෙය වැළැක්වීම පිණිස ළදරුවාගේ පළමු හෝ දෙවැනි මාසයේ සිට ඖෂධීය වශයෙන් යකඩ දිය යුතුය.

හමසකට වැඩි දිගු කලක් තුළ කිරි පමණක් - විශේෂයෙන් මව්කිරි පමණක් - දෙනු ලැබූ ළදරුවන්ට නියත වශයෙන් ම වාගේ අවුරුදු 1ත් 2ත් අතර දී යකඩ ඌනතාව හේතුකොට සෑදෙන නීරක්තිය වැලඳෙනු ඇත.

තඹ

මෙය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එහෙත් ඌනතාවක් මතු වූ කල්හි, යකෘත්මසුරායිත (hepatocellular) පරිහාණිය හෙවත් විල්සන්ගේ රෝගය (Wilson's disease) වැලඳේ. තඹ ඌනතාව නිසා වැලඳෙන කුඩා සෛලික මන්ද වර්ණ නීරක්තියක් ගැන ද වාර්තා වී ඇත.

සෝඩියම්

වඩාත්ම සුලභව ඇත්තේ සෝඩියම් ලවණයි. සෑම ආහාරයක ම සෝඩියම් අන්තර්ගතය. ශරීරයේ බහිඃසෛලීය තරලයේ ප්‍රධාන කැටායනය එයයි. මූත්‍ර මගින් සෝඩියම් බහිස්ස්‍රාවණය වීම පාලනය කොට සෝඩියම් රැකගත හැකි වේ. එය අධිවෘක්කීය හෝමෝනයක් වූ ඇල්ඩස්ටරෝන් මගින් පාලනය කරනු ලැබේ. කන ලුණුවල ඇතුළත්ව අප විසින් අපගේ සිරුරු තුළට අහර මේසයේ දී ද සෝඩියම් එකතු කරනු ලැබේ. එහෙත් මනුෂ්‍යයාට නම් සෝඩියම් ඌනතාවක් හටගත හැක්කේ අඩුවෙන් ගැනීම හේතුකොට නොව, වැඩියෙන් සිරුරෙන් පිට වී යාම නිසාය. ශරීරයේ වැඩීම හා පැවැත්ම සඳහා සෝඩියම් මෙන් ම පොටෑසියම් ද අවම ප්‍රමාණයක් ගත යුතුව තිබේ.

රුධිරයේත්, බහිඃසෛලීය තරලයේත් සෝඩියම් ඌනතාව හේතුකොට විජලනය සිදු වේ. මෙය සාමාන්‍යයෙන් අධික ලෙස පාචනය හෝ වමනය හෝ ඒ දෙක ම ඇති වීම හේතුකොට - විශේෂයෙන් ම මන්ද පෝෂිත ළමයින් කෙරෙහි - මතු වන්නකි. විජලනය වූ ළදරුවා නිසලව සිටින නමුත් පරීක්ෂා කිරීම නුරුස්සයි. ඔහුගේ නාඩි අඩු පරිමාවකින් හා ආතතියකින් යුතුව වේගවත්ව වැටේ; සමෙහි ඇති ඇදෙනසුලුබව අඩු වී යයි; ඇස් ගිලී පවතී; ඇඬීම දුබලයි; දිව වියළිය. මූත්‍ර ද ප්‍රමාණයෙන් අඩු විය හැකිය; එසේම අතිශයින් ආම්ලිකය. හුස්ම ගැනීම වේගවත්ව, ගැඹුරු හෝ නොගැඹුරු විලාසයකින් කැරේ. ඉතා ම උග්‍ර ලෙස විජලනය වූ ළමයා මරණාසන්න තත්ත්වයට පත්වූවෙකි. ඔහුගේ අත් පා සීතලය; සිහිය ඉතා මඳය; කිසි හැලහොල්මනක් නැත. ඉඳහිට සිරුර නිල් වීමක් පෙනේ. ඇතැම් විට මූර්ඡාවීම ද වේ. නාඩි ඉතා දුබලව, අක්‍රමවත්ව වැටේ. රුධිර පීඩනය පවත්නේ වාර්තා කළ නොහැකි තරම් ඉතා අඩුවෙනි. උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පහළය. කනීනිකාවන් පළල් වී තිබිය හැකිය. හුස්ම ගැනීමේ දී නාස් පුඩු ක්‍රියාත්මක වනු ද දක්නට පුඵවන.

පොටෑසියම්

පොල්, පොටෑසියම් අතින් ඉතා පොහොසත්ය; එහෙත් සෝඩියම් අතින් හීනය. තනකිරිවල මෙන් තුන් ගුණයක් පමණ පොටෑසියම් එළකිරිවල අන්තර්ගතය. සෛලය තුළ වන ප්‍රධාන කැටායනය පොටෑසියම් වේ. ප්‍රෝටීන් සංශ්ලේෂණයෙහි දීත් බොහෝ එන්සයිමීය ප්‍රතික්‍රියාවන්හි දීත් පොටෑසියම් අවශ්‍ය වේ. බහිඃසෛලීය තරලයේ ද පොටෑසියම් අඩංගුය. සෝඩියම් විශාල ලෙස ශරීරය තුළට ගැනීමෙන් හෝ විජලනය වීම හේතු කොටගෙන, අභ්‍යන්තරයේ ඇති පොටෑසියම් පිට වීම සිදුවිය හැකිය.

පොටෑසියම් ඌනනාව හේතුකොට මාංස පේශී දුබලතාව හෝ මන්දතානය, උදරය පිම්බීම, හෘදය ස්ඵන්දනය අධික වීම හෝ අක්‍රමවත් වීම හා අවසාන වශයෙන් නීලායනය (cyanosis) හා පක්ෂාඝාතය ද සිදු වේ.

බොහෝවිට පොටෑසියම් ඌනතාව ප්‍රෝටීන්-කැලරි කුපෝෂණයේ ප්‍රතිඵලයකි.

කැල්සියම් හා පොස්පරස්

ශරීරයේ පවත්නා කැල්සියම් වලින් 99%ක් ද පොස්පරස්වලින් 80%ක් ද ඇටවල හා දත්වල අන්තර්ගතය.

‍කිරි හා මුදවපු කිරි, කේජු වැනි කිරි ආහාර යන මේවා කැල්සියම් වඩාත් ම අඩංගු ආහාරයි. ඇටවර්ග, මෑ ආදි බෝග, කොළ පැහැති එළවළු, මුල් හා අල යන මේවායේ ද කැල්සියම් ඇත. අයිරිෂ් අල හෙවත් අර්තාපල්වල ඇති ප්‍රමාණයට වඩා 11/2 ගුණයක කැල්සියම් මෙරට බතලවල අඩංගුය. එසේ ම එළකිරෙහි මව්කිරිවල මෙන් 4 ගුණයක් අඩංගුය. එහෙත් එළකිරෙහි ඇති කැල්සියම් මව්කිරෙහි ඇති කැල්සියම් මෙන් හොඳට සිරුරට උපයෝගී නොවේ.

විටමින් 'ඩී' ඌනතාවකින් තොරව පවතින කැල්සියම් ඌනතාවෙන් පමණක් ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තව ම ලැබී නැත.

අඩු කැල්සියම් ප්‍රමාණයක් ගන්නා ළමයින් අඩු උසෙන් හා කුඩා ශරීර ප්‍රමාණයෙන් යුතු වනු පෙනේ. මොවුන්ගේ විටමින් 'ඩී' ඌනතාවක් ද නොවුවහොත් ඇට විකෘත වී යාමක් හෝ රිකට්ස් රෝගයෙන් පෙළීමක් සිදු නොවේ.

කැල්සියම් ප්‍රමාණවත්ව නොගැනීම ළමයින්ගේ දත් දිරා යාමට ද බෙහෙවින් කරුණු විය හැකි නමුත් ඔවුන්ගේ දත් දිරා යාමට වෙනත් හේතූන් බොහොමයක් ද ඇති බව කිව යුතුය. මුව අපිරිසිදුව තබා ගැනීම, මෘදු හෝ සියුම්ව පොඩි කරන ලද අහර පමණක් ගැනීම, පැණිරස අහර ඉතා අධිකව ගැනීම හා බොන ජලයෙහි ෆ්ලුවොරයිඩ් ප්‍රමාණවත්ව නොතිබීම ඉන් කිහිපයකි.

රුධිරයෙහි කැල්සියම් අඩුකම නිසා ද විටෙක මැග්නීසියම් අඩුකම නිසා ද ටෙටනිය (tetany) සෑදේ. එහෙත් මෙය ලංකාවේ කිසිසේත් සුලබ නැත. කැල්සියම් අවශෝෂණය වීමට හා උපයෝගී වීමට බාධා පමුණුවන ෆයිටේට හා ඔක්සලේට විශාල ප්‍රමාණයක් ආහාර මගින් ගන්නා අප්‍රිකානු හා ආසියානු ජාතීන් බොහොමයකගේ රුධිරයෙහි ඇත්තේ කැල්සියම් ඉතා අඩු ප්‍රමාණයකි. එහෙත් ඔව්හු එම අඩු කැල්සියම් ප්‍රමාණය සහිතව ජීවත්වීමට හැඩ ගැසී සිටිති. සමහරවිට ලාංකිකයන්ගේ ද උස මහත අඩු වීමට හේතුව, මව ගැබ් ගන්නට පෙර ද ගර්භිණියක්ව සිටිය දී ද මව ළදරුවාට කිරි දෙන අවධියේ දී ද දරුවාගේ ළදරු හා බාල අවධීන්හි දී ද මවගේ හා දරුවාගේ ආහාරයෙහි කැල්සියම් ප්‍රමාණය අඩුවීම විය හැකිය.

කැල්සියම් අඩුකම නිසා හටගන්නා අස්ථි මාර්දවය (osteomalacia) හේතුකොට X-කිරණ පින්තූරවල විරලීකරණය (rarefaction)පෙනෙන්ට වේ. ඇටවල ඉස්පන්ජි ව්‍යූහය විතංසිකාකාර වේ. ශ්‍රෝණිය බෙහෙවින් විකෘත වන අතර කූඤ්ඤාකාර හැඩයක් ගත හැකිය. දිග ඇටවල වල්කය සිහින්ව ශරායික වනු පෙනේ. පසුව මේ ඇට ඉබේම භග්න වීමට ද පුළුවන.

පොස්පරස්

මාංස හෝ වේවා, ශාක හෝ වේවා, හැම ස්වාභාවික ආහාරයක ම පොස්පරස් යම්කිසි ප්‍රමාණයක් අඩංගු වේ. මේ ඛනිජය ජෛව ප්‍රතික්‍රියාවන්ට අත්‍යවශ්‍යය. පොස්පරස් ඌනතාව නිසා මිනිසාට වැලඳෙන රෝගයක් ගැන දැනගන්නට නැත. රිකට්ස් රෝගයේ දී මූත්‍ර මගින් විශාල වශයෙන් පොස්පරස් පිට වී යන බැවින් රුධිරයේ පොස්පරස් මට්ටම පහළ යයි. එසේවනුයේ අඩු කැල්සියම් මට්ටමට හැඩගැසීමක් වශයෙන් පැරාතයිරොයිඩ් ග්‍රන්ථි විසින් වාස්සවනු ලබන හෝමෝනය නිසාය. සෛලය තුළ වූ ප්‍රධාන ඇනයනය පොස්පේටයයි. එය නියුක්ලෙයික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයකි (component).

මැග්නීසියම්

පොටෑසියම් ළඟට සජීව සෛල තුළ වූ ප්‍රධාන ලෝහමය කැටායනය මැග්නීසියම්ය. එන්සයිම පද්ධති රාශියක ක්‍රියාකාරිත්වය පිණිස මැග්නීසියම් අත්‍යවශ්‍යය. හෘත් හා සැකිලි මාංස පටකයන්හි සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා කැල්සියම් හා මැග්නීසියම් අයන අතර සුදුසු අනුපාතයක් පැවතිය යුතු වේ. ලංකාවේ පස මැග්නීසියම් අතින් දුප්පත් බව සොයාගෙන ඇත. කෙනකුගේ ආහාරයෙන් දිනකට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණයෙන් 2/3ක් ආහාරයේ අඩංගු ධාන්‍ය හා එළවළු කෙරෙන් ලැබේ.

කජු ඇට හා කොකෝ මැග්නීසියම් අතින් පොහොසත්ය. මනුෂ්‍යයන්ගේ මැග්නීසියම් ඌනතාව ආහාරයෙහි ඇති අඩුවක් නිසා සිදුවන්නක් නොවේ. එය ප්‍රෝටීන්-කැලරි කුපෝෂණය හා නිදන්ගත පාචනය හේතුකොටගෙන සැලසෙන අධික මැග්නීසියම් පිටවීම නිසා මතුවන්නකි.

මැග්නීසියම් ඌනතාව නිසා වැළඳෙන ශායනික ලක්ෂණ (clinical signs) වනාහි මානසික අවපීඩනය, මාංස පේශී දුර්වලතාව, කරකැවිල්ල හා වළිප්පුවය. කලාතුරකින් ටෙටනිය ද වැලඳිය හැකිය. මැග්නීසියම් ඌනතාව නිසා ඇතිවන මෙම සංධාවය (syndrome) කැල්සියම් ඌනතාව නිසා ඇතිවන එවැන්නට හැම අතින් ම වාගේ සමානය.

සින්ක්

සෛලීය අවස්ථාවේ දී ප්‍රෝටීන් ජෛවසංශ්ලේෂණයෙහි (biosynthesis) ලා ඉතා කිට්ටු සම්බන්ධකමක් ඇති ලෝහයකි. ගල් මාළුවල - විශේෂයෙන් කාවාටිවල - සින්ක් විශාල ප්‍රමාණයක් ගැබ්ව ඇත. කිරි, මස්, පීකුදු, බිත්තර, තිරිඟු, බඩ ඉරිඟු, රටකජු හා යීස්ට් යන මේවායේ මධ්‍යම ප්‍රමාණයක් රැඳී ඇත.

ඉරානය හා ඊජිප්තුව යන රටවල සින්ක් ඌනතාව නිසා වැලඳෙන පිලා විකටතාව (spleno-megaly), අඟුටුමිටිබව (dwarfism) හා ඉරඑළිය වැටෙන ශරීරාංගයන්හි හටගන්නා විසුරුණු අධිවර්ණතාව ද ඇතුළු මන්දවර්ණ නීරක්තියක් ගැන වාර්තා පළ වී තිබේ. සින්ක් ඌනතාවේ හේතුවෙන් තුවාළ සුව වීම ද කල් යනු ඇත.

අයඩින්

කරදියෙහි වැඩෙන ද්‍රව්‍ය මිරිදියෙහි හෝ ගොඩබිම වැඩෙන ද්‍රව්‍යයන්ට වඩා අයඩින් අතින් බෙහෙවින් පොහොසත්ය. බොහෝ මුහුදු පැළෑටි අයඩින් අතින් විශිෂ්ටය. ගල්මාළුවලත්, පොදුවේ සෑම වර්ගයක ම මුහුදුමාළුවලත් අයඩින් විශාල ප්‍රමාණයක් ඇත: ධාන්‍ය වර්ගවල හා එළවළුවල අයඩින් ප්‍රමාණය අල්පය. එහෙත් යම් ආහාරයක ඇති අයඩින් ප්‍රමාණය එය වගා වී ඇති ප්‍රදේශය අනුව - එනම්, ඒ පොළවේ ඇති අයඩින් ප්‍රමාණය අනුව - වෙනස් වේ. අයඩින් හිඟකම නිසා මතු වන ශායනික තත්ත්ව වනාහි ක්‍රෙටිනතාව හා ගලගණ්ඩයය.

ෆ්ලුවොරීන්

වතුරෙහි ෆ්ලුවොරීන් ඌනතාව හේතුවෙන් දත් දිරායාම හට ගනී. මුහුදු අහරවලත් තේවලත් ෆ්ලුවොරීන් බෙහෙවින් අඩංගුව ඇත.

(කර්තෘ: සී.සී. ද සිල්වා, බුද්ධදාස බෝධිනායක)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌනතා_රෝග&oldid=10456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි