උරුලෑ සට්ටම්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:34, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උරුලෑවන්ගේ වලිගයට යටින් සට්ටම් ආශ්‍රිතව ගුදය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උරුලෑවන්ගේ වලිගයට යටින් සට්ටම් ආශ්‍රිතව ගුදය හා ජනනේන්ද්‍රිය අතර පිහිටි පුරෝගුද ග්‍රන්ථි (preanal glands) දෙකින් ස්‍රාවය වන උග්‍ර ගන්ධයක් සහිත උකු බටර් බඳු ද්‍රව්‍යයක් අඩංගු වූ කෝෂයට මේ නම යෙදෙයි. එම ද්‍රව්‍යය කැළෑවේදී උරුලෑවන්ට එකිනෙකා ඉවෙන් සොයා ගැනීම සඳහා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දායාදයකි. එය ඖෂධීය ගුණයෙන් යුක්ත හෙයින් මිනිස්සු උරුලෑවන් මරා යටකී කෝෂය කපා වියළා බෙහෙතට ගනිති. එහෙත් වෙළඳ ද්‍රව්‍යයක් වශයෙන් එකතු කිරීමේ දී උන් නොමරා අල්ලාගෙන කූඩුවල ලා විටින් විට එම ස්‍රාවය කෝෂයෙන් සූරාගනු ලැබේ. එවිට එය ජබාදු යන නමින් හැඳින්වෙයි. උරුලෑ සට්ටම් ආයුර්වේද ඖෂධයක් ලෙස ද ජබාදු සුවඳ ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි ලා සුවඳ වර්ග කළවම් කිරීම සඳහා ද පාවිච්චි වෙයි.

ආයුර්වේද මතය

උරුලෑ සට්ටම් නොහොත් ජබාදු උෂ්ණ වීර්ය ඇත්තේය; නේත්‍රයන්ට හිතකරය; වීර්ය වඩයි; කළු, වාත, කණ්ඩූ කුෂ්ඨ නසයි; ශුක්‍ර වඩයි; උත්තේජකයි; හෘදය හා ඥානේන්ද්‍රියයන් කෙරෙහි බලකාරකයි; අපතන්ත්‍රක, මූර්ච්ඡා, ප්‍රතිශ්‍යා, ශීර ශූල, ව්‍රණාදියට හිතයි; ශ්‍රවණ ශක්තිය වඩයි; බ්‍රහ්මසරස්වතී, නාරායණාදි තෙල්වලට ද නපුංසකතාව දුරු කිරීම සඳහා ද සුඛප්‍රසූතිය සඳහා ද වෙනත් ඖෂධයන් හා සමඟ යොදනු ලැබේ. (උරුලෑවා බ.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුලෑ_සට්ටම්&oldid=10461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි