උරුවෙල් දනව්ව
ඉන්දියාවේ නේරඤ්ජරා නදිය ආශ්‍රිත ප්‍රදේශයකි; ගයා දුම්රියපළට සැතපුම් හයක් පමණ දකුණු දෙසින් පිහිටා තිබේ. බුද්ධ චරිතය හා කීප අයුරකින් සම්බන්ධ බැවින් මේ පෙදෙස විශේෂ වැදගත්කමකින් යුක්ත සේ සැලකේ.
බෞද්ධයන්ගේ සුවිශේෂ සම්මානයට පාත්‍ර වන ප්‍රධාන සිද්ධස්ථාන සතරෙන් එකක් වූ (බුද්ධගයාවේ) මහා බෝධි මණ්ඩය මේ අසල පවත්නා අත්‍යුත්තම පූජනීය ස්ථානයයි. ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන දෙදෙනා කෙරෙන් වෙන්ව ගිය ගෞතම බෝසතාණන් සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කෙළේ මෙම ජනපදයෙහිය. දුෂ්කර ක්‍රියාව සඳහා තෝරා ගන්නා ලද ස්ථානය සේනානි නිගමය (සෙනානිගම) යි දන්නා ලැබේ. ගෞතම බුදුන්ට බුද්ධත්වයෙන් පසු පස්වන සතිය ගත කිරීමට උපකාර වූ අජපාල නිග්‍රෝධය, සවන සතිය ගත කිරීමට උපකාර වූ මුචලින්ද වෘක්ෂය හා සත්වන සතිය ගත කිරීමට උපකාර වූ රාජායතන වෘක්ෂය ද අනිමිස චේතිය, රතන චංකමණ චේතිය, රතනඝර ආදි ස්මාරක ද පිහිටා ඇත්තේ උරුවෙල් දනව්වෙහිය. මේ හැරුණු විට උරුවෙල් දනව්වෙහි හා ඒ අවට තවත් සිද්ධස්ථාන රාශියක් වූ බව හියුං සාංගේ චාරිකා සටහන්වල සඳහන් වෙයි. බුදුරදහු උරුවෙල් දනව්වේ සිට ඉසිපතනයට වැඩි නමුදු දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිස දහම් දෙසනු වස් එක් සැට නමක් රහතන් වහන්සේ ඒ ඒ දිශාවන්හි පිටත් කොට යවනු ලැබීමෙන් ඉක්බිතිව නැවතත් උරුවෙල් දනව්වට වැඩම කළහ. පසුව මේ අසල වූ කප්පාසික වනසණ්ඩයේ දී බුදුන් විසින් භද්දවග්ගිය කුමාරවරුනට දහම් දෙසන ලදි. උරුවෙල කස්සප, ගයා කස්සප, නදී කස්සප යන තේභාතික ජටිලයන් විසුවේ ද මේ දනව්වෙහිය. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ තේභාතික ජටිලයනට ආදිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසූ කාලයේ දී යයි අට්ඨකථාවන්හි දැක්වෙයි. මහ බෝමැඩ දී වූ මහා මාරපරාජය හැරුණු විට තවද මාරපරාජය කීපයක් ම උරුවෙලාවෙහි දී සිදු වූ බව කියනු ලැබේ. ක්ලේශ භරිත ලෝකයාට තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගන්නා ලද ධර්මය දේශනා කිරීමෙන් පලක් නැතැයි බුදුරදුනට හැඟී ගියේ ද උරුවෙල් දනව්වෙහි වැඩ සිටි සෙමෙහි දීය. එකල්හි එහි පැමිණි සහම්පති බ්‍රහ්මතෙමේ එම අදහස අත්හරින ලෙස බුදුන්ගෙන් අයැද සිටියේය.
'උරුවෙලා' යන්නට 'මහ වැලිගොඩ' (මහා වෙලා, මහන්තෝ වාලිකාරාසි) යනුවෙන් අර්ථ දක්වා ඇත. උරුවෙලා ජනපදයෙහි සම්භවය පිළිබඳ කතාපුවතක් විනයට්ඨ කථාවෙහි එයි. පෙර කාලයෙක්හි එහි වුසූ දස දහසක් තවුසන් අතර ඇති කරගන්නා ලද සම්මතයකට අනුව ඔවුන්ගෙන් කවරකුගේ හෝ සන්තානයෙහි සරාගී හැඟීමක් පහළ විණි නම් ඔහු වහා වැලි කූඩයක් ගෙනවුත් කිසියම් නියමිත තැනක බහාලිය යුතු වූයෙන් එසේ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි එහි බහාලූ වැලිවලින් මේ පෙදෙස සැදුණු බව එහි සඳහන් වෙයි. මෙහි විශාල බෙලි පල තිබුණු බැවින් හෝ විල්වලින් ගැවසී ගත් බැවින් හෝ එනම් වී යයි ද කියති. දිව්‍යාවදානයෙහි මෙය 'උරුවිල්වා' යනුවෙන් සඳහන් වී ඇත. ප්‍රස්කන්දක, බලාකල්ප, උජ්ජංගල, ජංගල යනුවෙන් මෙහි ගම් සතරක් වී යයි මහාවස්තුව කියයි.
(සංස්කරණය: 1974)