උරුවේල කස්සප

සිංහල විශ්වකෝෂය වෙතින්
13:35, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ගෞතම බුද්ධශාසනයෙහි අසූ මහ සව්වන් අතුරෙහි ලා ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගෞතම බුද්ධශාසනයෙහි අසූ මහ සව්වන් අතුරෙහි ලා සැලකෙන මුන්වහන්සේ මහ පිරිවර ඇතියවුන් අතර අගතැන් පත් වූහ.

තේභාතික ජටිල තාපසයන් අතර ජ්‍යෙෂ්ඨයා වූ උරුවේල කස්සප බමුණු මහසල් කුලයක ඉපිද වේදත්‍රය උගෙන තමන් උගත් වේදයෙහි සාරයක් නැතැයි සලකා පන්සියයක් දෙනා පිරිවර කොට ගෙන උරුවෙල් දනව්වට ගොස් නේරඤ්ජරා නදී තීරයෙහි තවුස් දම් රක්නට වන. උරුවේලාහි දී පැවිදි වූ බැවින් එතැන් පටන් උරුවේල කස්සප නමින් ප්‍රකට වූයේය. ඔහුගේ දෙවෙනි සොහොවුරු වූ නදී කස්සප (බ.) ද තුන්සියයක් පිරිවර සමග මහා ගංගා නදී තීරයෙහි තවුස්දම් රැක්කේය. අනෙක් සොහොයුරු ගයා කස්සප (බ.) ද දෙසියයක් පිරිවර සමඟ ගයා ශීර්ෂයෙහි තවුස් දම් රැක්කේය.

තේභාතික ජටිල තවුසන්ගේ හේතු සම්පත් දුටු බුදුරජාණන් වහන්සේ උරුවෙල කස්සප විසූ උරුවෙල් දනව්වට වැඩම කොට ගිනිහල් ගෙයි නවාතැන් ගත් සේක. බිහිසුණු නාගයකු ඇති බැවින් එහි වාසය නොකරන ලෙස උරුවෙල් කසුප් බුදුනට දැන් වූ නමුදු උන්වහන්සේ එහි ම වසමින් තමන් වහන්සේගේ සෘද්ධි බලයෙන් එම නාගයා දමනය කළහ. එම ඍද්ධිප්‍රාතිහාර්යය දැක බුදුන් කෙරෙහි පැහැදුණු උරුවේල කස්සප දිනපතා උන්වහන්සේට අහරින් පුදන්නට වන. බුදුන්වහන්සේ ද උරුවේල කස්සපයන් ශ්‍රාවකභාවයට පමුණුවා ගැනීමට කල් බලමින් අසල වූ අඹ වෙනෙහි වස්සාන කාලය ගත කළ සේක. බුදුහු මහ තවුසකු වුව ද තමන් මෙන් රහතකු නොවෙතියි උරුවෙල් කසුප් සිතීය. ඒ බව දැනගත් බුදුහු ඔහු රහතකු නොවන බවත් ගිනිදෙවියන් පුදමින් ඔහු අනුගමනය කළ තවුස්වත රහත් බව ලැබීමේ මඟ නොවන බවත් ඔහුට වටහා දුන්හ. ඉක්බිති උරුවෙල් කසුප් සිය පිරිවර සමගින් බුදුන් වෙත පැවිදි වුයේය. තම දෙටු සොහොවුරු බුදුන් වෙත පැවිදි වූ බව ඇසූ නදි කස්සප ද ගයා කස්සප ද බුදුන් කරා එළඹ සපිරිවරින් බුද්ධශ්‍රාවකභාවයට එළඹියහ. පසුව ආදිත්ත පරියාය සූත්‍රය ඇසීමෙන් ඔව්හු හැම දෙන රහත් වූහ. මෙසේ පැවිදිව රහත් වූ මහ පිරිවර සමඟින් බුදුන් රජගහ නුවරට වැඩම කළ කල්හි උරුවෙල් කසුප් තෙරණුවෝ පැමිණ සිටි දනන්ගේ සැක දුරු කරමින් බුදුන් තම ශාස්තෲන් බවත් තමන් බුදුන්ගේ සව්වන් බවත් පළ කළහ.

උරුවෙල් කසුප් තෙරණුවන්ගේ පිරිවර කල් යත් යත් ඉතා බොහෝ වූහ. එහෙයින් උන්වහන්සේ මහ පිරිවර ඇතියවුන් අතුරෙහි අගතැන් පත් වූහ.

බුදුන් විසින් තමන් දමනය කරනු ලැබීම හා තම ජයග්‍රහණය පිළිබඳව උදන් අනමින් උරුවේල කස්සප තෙරණුවන් ප්‍රකාශ කළ ගාථා සයක් ථෙර ගාථාවෙහි දක්නට ලැබේ. උන්වහන්සේ බුදුන් වෙත පැවිදිවීමේ දර්ශනය සාංචිහි මූර්තිමත් කොට ඇත. උන්වහන්සේ පැවිදි බව ලැබූ ස්ථානයෙහි ඉදිකරන ලදැයි සැලකෙන ස්තූපයක් හියුං සාංට හමු වී ඇති බව සඳහන් වෙයි. මහාවග්ගපාලි, ධර්මප්‍රදීපිකා ආදියෙහි කථා ශරීරය ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුවේල_කස්සප&oldid=10467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි