උල්කාව
(Meteor). සූර්ය ග්රහමණ්ඩලයෙන් ගිලිහී අවුත් ඉතා අධික වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන අසංඛ්‍ය පදාර්ථ අංශුවලට උල්කා යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ඉතා අධික වේගයෙන් උල්කාවක් වායුගෝලය මැදින් ගමන් කරන විට තාපය, ආලෝකය හා අයනීකරණය වශයෙන් එහි චාලක ශක්තිය (kinetic energy) උත්සර්ජනය කෙරේ. එබැවින් රාත්‍රි කාලයේ දී අහසේ දක්නට ලැබෙන උල්කාවක් ආලෝක රේඛාවක් සේ පෙනේ. උල්කාවලින් බොහොමයක් වායුගෝලයේ ඉහළ ප්‍රදේශයෙහි දී පිලිස්සී යයි. පිලිස්සීමට භාජන වන නමුදු කලාතුරකින් විශාල උල්කාවක් පිලිස්සීමෙන් මුළුමනින් විනාශ නොවී ඝන වස්තුවක් සේ පෘථිවියට වැටේ. මෙවැනි වස්තුවකට උල්කාශ්මය (බ.) (meteorite) යයි කියනු ලැබේ. උල්කා අතුරෙන් ඉතා දීප්තිමත් ඒවායින් කොපමණ ආලෝකය විමෝචනය කෙරේ දැයි කිවහොත් ඒවා ගිනිබෝල වශයෙන් දක්නට ලැබේ. ඇතැම්විට ගිනිබෝල ඇති වන්නේ ගිගිරුම් වැනි ශබ්දයක් සමඟය.
උල්කාශ්ම පෘථිවිය මත වැටෙන බව ක්‍රි.පූ. 687 පමණේ දී මුලින් ම චීනුන් විසින් වාර්තා කරන ලදි. ගිනිබෝල හා උල්කා වැසි (meteoric showers) ද ඒ කාලයේ දීත් දුටු බව ඔවුන් වාර්තා කොට තිබේ. එහෙත් සත්‍ය වශයෙන් පිළිගත හැකි පැරණි ම වාර්තාව නම් ක්‍රි.පූ. 467 දී පැරණි ත්‍රේස් ප්‍රදේශයේ පිහිටි ඊගොස්පොටමයි (Aegospotami) නගරයෙහි වැටුණු උල්කාශ්මය පිළිබඳ ප්රවෘත්තියයි. දැනුදු පවත්නා පැරණිතම උල්කාශ්මය නම් ඇල්සේස් පළාතේ එන්සිස්හයිම් නම් ස්ථානයේ 1492 නොවැම්බර් 16 වැනි දා වැටුණු උල්කාශ්මයයි.
16 වන ශතවර්ෂය තුළ දී යුරෝපීය රටවල උල්කාශ්ම කිහිපයක් අහසෙන් වැටිණි. 18 වැනි ශතවර්ෂයේ යුරෝපයේ සිටි පඬිවරු අහසෙන් ගල් වැටෙන්නට පිළිවනැයි විශ්වාස නොකළහ. පෘථිවියට ඉන් බැහැර ප්‍රදේශවලින් උල්කාශ්ම වැටෙන බව සාමාන්‍යයෙන් පිළිගනු ලැබුණේ 19 වැනි ශතවර්ෂයේ මුල දීය. 1803 අප්‍රේල් 26 වැනි දා ප්‍රංසයේ ඒග්ල් ප්‍රදේශයේ වැටුණු උල්කාශ්මය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් සාං බියෝ (Sean Biot) විසින් කරන ලදි. උල්කා පෙනෙන විටත් නොපෙනී යන විටත් ඒවා පවතින උස ආසන්න වශයෙන් නිර්ණය කිරීම සඳහා 1798 දී ජර්මන් විද්‍යාඥයන් දෙදෙනකු විසින් නොයෙක් පරීක්ෂණ කරන ලදි. නොපෙනී යන විට ඒවා පවතින උස කිලෝමීටර 98 කැයි දැනගන්නා ලදි. මේ උල්කා වලාකුළුවලට ඉහළින් තිබෙන බව මෙයින් ඔප්පු විය. 1833 නොවැම්බර් 13 වැනි දින ඇමෙරිකාවේ අහසේ විශාල ලියොනිඩ් උල්කා (Leonids) වැස්ස දර්ශනපථයට පැමිණි දා උල්කා පිළිබඳ නක්ෂත්ර විද්‍යාව උදා විය. නක්ෂත්ර විද්‍යාව අතින් උල්කාවල වැදගත්කම එදා වන තෙක් වටහාගෙන නොතිබිණ. පැය 9ක් පමණ කාලය තුළ ඇති වුණු මේ උල්කා වැස්ස ඇමෙරිකානුන් විසින් එදින රාත්‍රියේ දී බලා සිටින ලදි. මේ පැය නවය තුළ දී ඝනකමට වැටෙන හිම පෙති සේ වායුගෝලයේ පහළට ගමන් කළ උල්කා රාශියක් ඔවුන්ට දක්නට ලැබිණි. එදා එක් අවස්ථාවක දී පැයකට උල්කා 35,000ක් පමණ බැගින් දක්නට ලැබිණි. ලියොනිඩ් වැස්සෙන් එක් උල්කාවක් වත් පෘථිවිය මත නොවැටුණි.
චන්ද්රාලෝකය නොමැති අඳුරු රාත්‍රියක අහස දෙස පැයක් පමණ බලා සිටියහොත් ඒ කාලය තුළ දී දක්නට ලැබෙන උල්කාවල සංඛ්‍යාව 6 සිට 8 දක්වා විය හැකිය. එහෙත් පැයකට දක්නට ලැබෙන උල්කාවල සංඛ්‍යාව රාත්‍රියේ වේලාවත් අවුරුද්දේ කාලයත් අනුව වෙනස් වේ. මැදියම් රැයට පෙර දැක්ක හැකි උල්කා සංඛ්‍යාවකට වැඩි සංඛ්‍යාවක් මැදියම් රැයට පසුව දැක්ක හැකිය. උතුරු අක්ෂාංශවල ශරත් ඍතුවේ දී දැක්ක හැකි උල්කා සංඛ්‍යාව ශිශිර ඍතුවේ දී දැක්ක හැකි සංඛ්‍යාවට වඩා වැඩිය. ඇතැම් සෘතුවල දී පැයකට උල්කා දාහක් පමණ දැක්ක හැකිය. 1833, 1866, 1872, 1885, 1933 යන වර්ෂවල දී එවැනි විශාල උල්කා වැසි දක්නට ලැබිණි. ලියොනිඩ් වැස්සේ උල්කා සියල්ල ම ලියෝ (Leo) නමැති තාරකා මණ්ඩලයේ එක් ස්ථානයකින් නිකුත් වී විහිදෙන බව වැටහිණි. එක්තරා උල්කා සමූහයක් නිකුත් වන තාරකා මණ්ඩලයේ නම එම උල්කා සමූහයට භාවිතා කරනු ලැබේ. නොවැම්බර් මාසයේ දක්නට ලැබෙන ලියොනිඩ් උල්කාවන් ලියෝ තාරකා මණ්ඩලයෙන් ද අගෝස්තු මාසයේ දක්නට ලැබෙන ප’සෙයිඩ් උල්කාවන් (Perseids) ප’සියස් (Perseus) තාරකා මණ්ඩලයෙන් ද ඔරයනිඩ් උල්කාවන් (Orionids) ඔරයන් (Orion) තාරකා මණ්ඩලයෙන් ද නිකුත්වනු පෙනේ. ලියොනිඩ් උල්කා වැස්ස අවුරුදු 33කට වරක් බැගින් ඇති වන බැව් ඔප්පු කර තිබේ. මේ උල්කා වැසි අතීතයේ දීත් ඇති වී දැයි යන්න සොයා බැලීමේ දී ක්‍රි.ව. 902 තරම් ඈත කාලය දක්වා ඒවා විටින් විට ඇති වුණු බවට සාක්ෂ්‍ය ලැබිණි. නක්ෂත්ර විද්‍යාඥයන් කී පරිදි 1833 සිට අවුරුදු 33ක් ගත වූ පසු 1866 දී ලියොනිඩ් උල්කා වැස්ස යළිත් මනහර දර්ශනයක් සේ ඇති විය. එහෙත් 1899 දී හා 1932 දී මේ උල්කා වැසි බලාපොරොත්තු වූ පරිදි කලින් මෙන් මනහර දර්ශනයෝ නොවූහ. බෘහස්පතිගෙන් හා වෙනත් ග්‍රහයන්ගෙන් ඇතිවුණු කැළඹීම් නිසා මේ උල්කා වැස්සේ කක්ෂය වෙනස් වන්නට ඇත. එබැවින් ඒවා පෙර පරිදි මේ වර්ෂවල දී පෘථිවියට හමු නොවීය.
ලියොනිඩ් වැස්සේ උල්කා සූර්යයා වටේ යන විට අනුගමනය කරන ඉලිප්සාකාර කක්ෂයේ මූලධාතු ගණනය කළ විට දක්නට ලැබුණේ ඒ කක්ෂය 1866 ධූමකේතුවේ (ටෙම්පල්ගේ ධූමකේතුවේ) කක්ෂයට සමාන බවය. අවුරුද්දක් පාසා අගෝස්තු මාසයේ දක්නට ලැබෙන ප'සෙයිඩ් උල්කා යන මාර්ගය ඔස්සේ ම 1862 III ධූමකේතුවත් ගමන් කළ බව දැනගෙන තිබේ. 1861 ධූමකේතුවේ කක්ෂයට ලිරිඩ් උල්කාවල (Lyrids) කක්ෂය සමාන වේ. පොදු නිගමනයකට බැසිය නොහැකි වුවත් ඇතැම් උල්කා වැසි හා ධූමකේතු අතර නිශ්චිත සම්බන්ධයක් ඇති බව පැහැදිලි ලෙස පෙනේ. පෘථිවිය මත වැටුණු උල්කාශ්ම පිළිබඳ පරීක්ෂණවලින් අපට වැටහෙන්නේ ඒවා අපේ පෘථිවියට සමාන ග්රහවස්තුවල කැබෙලි විය හැකි බවය. එබැවින් අඟහරු හා බෘහස්පති ග්‍රහයන් අතර දක්නට ලැබෙන ක්ෂුද්‍ර ග්‍රහයන් (asteroids) සමඟ උල්කාවල යම්කිසි සම්බන්ධයක් තිබෙන්නට පුළුවන. උල්කාවල සම්භවය ධූමකේතුවක හා ක්ෂුද්‍ර ග්‍රහයකුගේ ඉතිහාසත් සමඟ ඉතා කිට්ටු ලෙස සම්බන්ධ වන බව පෙනේ. මීට වඩා ගැඹුරු වූ ද තවමත් විසඳිය යුතුව පවත්නා වූ ද ප්‍රශ්නයක් වන සූර්යග්රහ මණ්ඩලයේ සම්භවයේ හා පරිණාමයේ කොටසක් සේ උල්කාවල සම්භවය සැලකිය හැකිය.
උල්කා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පොළොවෙන් කිලෝමීටර 70ක සිට 130ක් දක්වා උස් වූ පෘථිවි වායුගෝල ස්තරයෙහිය. ඊට ස්වල්පයක් ඉහළින් පටන්ගෙන උසින් කිලෝමීටර් 70ට අඩු ප්‍රදේශ දක්වා ඒවා ගමන් කරන්නට පුළුවන. සාමාන්‍ය උල්කාවක් ඉතා කුඩා වස්තුවකි. එවැනි කුඩා වස්තුවක් මෙපමණ දුර දී අපට දක්නට ලැබෙන්නේ කෙසේද? සැබවින් ම අපට ඒ වස්තුව දැක්ක නොහැකිය. අපට දක්නට ලැබෙන්නේ උල්කාවෙන් විකසනය වන ශක්තියේ (energy) ප්රතිඵලයයි. මේ කුඩා ඝන වස්තුව ඉතා වේගයෙන් වායුගෝලය මැදින් ගමන් කරන විට වාත අණු සමග එකට එක වැදී ඒවා රත් කරයි. එවිට ඒවායේ පෘෂ්ඨ රත් වේ. ඝන වස්තුව ඉදිරියෙහි තිබෙන අණු බෙහෙවින් තද වේ. මෙලෙස උල්කාව තාපදීප්ත වායු වැස්මකින් වට කෙරේ. මේ තාපදීප්ත වායු වැස්ම ඝන වස්තුවට වඩා ලොකුය.
උල්කා නිරීක්ෂණය කිරීම පිණිස නොයෙක් ක්‍රම තිබේ. බොහෝ කාලයක් ම උල්කා පිළිබඳ තොරතුරු ලබාගැනීම පිණිස යෙදූ එක ම ක්‍රමය නම් ප්‍රකෘති ඇසෙන් පරීක්ෂණ කිරීමයි. පසුව දෙනෙති (binoculars) හා දුරේක්ෂ (telescopes) මේ සඳහා යොදන ලදි. පසුව උල්කාවල ඡායාරූප ගැනීමට උත්සාහ ගන්නා ලදි. 1891 පටන් ම උල්කාවල ඡායාරූප ගැනීමට ප්රයත්න දරන ලදි. එහෙත් 1936 දීත් වඩා දියුණු කැමරා යෙදීමෙන් පවා ලබාගත් ප්‍රතිඵල සාර්ථක නොවීය. ඉතා ම දීප්තිමත් උල්කාවල ඡායාරූප පමණක් පැහැදිලි ලෙස ලබා ගන්නට හැකි විය. 1946 දී වඩා කාර්යක්ෂම කැමරාවක් නිෂ්පාදනය කිරීමට ගන්නා ලද ප්රයත්නයේ ප්‍රතිඵල වශයෙන් ෂ්මිට් (Schmidt) කැමරාව නිෂ්පාදනය කරන ලදි. දැන් පාවිච්චි කරන්නේ මේ වර්ගයේ කැමරා ය. එහෙත් රේඩාර් (radar) ක්‍රමයෙන් ලබාගන්නා ප්‍රතිඵල පමණ මේ කැමරාවලින් ලබාගන්නා ප්‍රතිඵල ප්‍රයෝජනවත් නොවේ. වලාකුළු හෝ දීප්තිමත් චන්ද්රාලෝකය තිබේ නම් නිරීක්ෂණය කරනු ලබන උල්කාවන්ගේ ඇතැම් සිදුවීම්වල ඡායාරූප වඩා පැහැදිලි නොවේ. උල්කාවක ශක්තියෙන් කොටසක් වාතය අයනීකරණය කරන විට ඇති වන ඉලෙක්ට්‍රෝන ස්තම්භය රේඩියෝ තරංග පරාවර්තනය කරයි. පසුගිය අවුරුදු කිහිපයේ දී උල්කා පිළිබඳ අධ්‍යයනය සඳහා රේඩියෝ තරංග පරාවර්තන ශිල්ප ක්‍රමය බොහෝ දුරට නිවැරදි කරන ලදි. එක් දිනක දී සිය ගණන් උල්කාවල කක්ෂ තනි උපකරණයකින් නිවැරදි ලෙස මැන ගත හැකිය.
උල්කාවල වර්ණාවලීන් (spectra) පරීක්ෂා කිරීමෙන් ඒවායේ අඩංගු මූල ද්‍රව්‍ය ගැන අවබෝධයක් අපට ලබාගත හැකිය. කාචය ඉදිරියෙහි ප්‍රිස්මයක් සවිකර ගැනීමෙන් සාමාන්‍ය කැමරාවක් උල්කා වර්ණාවලී දර්ශකයක් බවට පරිවර්තනය කළ හැකිය. මෙවැනි කැමරාවක් යොදමින් දීප්තිමත් උල්කාවක වර්ණාවලියක ඡායාරූපය ගත හැකිය. මේ වර්ණාවලීන් පරීක්ෂා කිරීමෙන් හයිඩ්රජන්, ඔක්සිජන්, කැල්සියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ක්‍රෝමියම්, මැංගනීස්, යකඩ හා නිකල් යනාදි මූල ද්‍රව්‍යයන් උල්කාවල තිබෙන බව දැනගෙන තිබේ. මේ මූලද්‍රව්‍යයන් පොළොව මත වැටුණු උල්කාශ්මවල ද තිබේ.
දෘශ්‍යමාන උල්කාවල ගමන් රටාව පරීක්ෂා කිරීමෙන් අහසේ අධික වේගයෙන් යුත් සුළංවල පැවැත්ම දැනගත හැකිය. අහසේ නොයෙක් උස් ස්ථානවල වායුගෝලීය උෂ්ණත්වය මැනගැනීම සඳහා උල්කාවල තාප දීප්තියේ වරින් වර අඩු වැඩි වීම යොදා ගනු ලැබේ. මේ ක්‍රමයෙන් ලබාගත් ප්‍රතිඵල රොකෙට්ටුවලින් මේ සඳහා ලබාගත් ප්‍රතිඵලවලට සමාන වේ. චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි දක්නට ලැබෙන විශාල කුහර වූකලි උල්කාවන් ඉතා වේගයෙන් චන්ද්‍රයා මත වැටීමෙන් සෑදුණු කුහරයයි ඇතැම්හු විශ්වාස කරති. වෙනත් මතයක් අනුව මේ කුහර ගිනිකඳුවල විවර ලෙස සලකනු ලැබේ. අනාගතයේ දී අවකාශ තරණයේ යෙදෙන මිනිසුන්ට උල්කා හමු වී ඒවායින් බාධා ඇති වේ දැයි යනු විමසිය යුත්තකි.
උල්කා පිළිබඳ නක්ෂත්ර විද්‍යාවේ දියුණුව බොහෝ කලක් ඇණහිට තිබිණ. වායුගෝලයේ ඉහළ ප්‍රදේශය ද අන්තර්ග්රහ අවකාශය ද මැනවින් පරීක්ෂා කර බැලීම සඳහා උල්කා පිළිබඳ නක්ෂත්ර විද්‍යාවේ ඇති වැදගත්කම දැන් වටහා ගෙන ඇත.
(සංස්කරණය: 1974)