උල්වාඩු

සිංහල විශ්වකෝෂය වෙතින්
13:37, 9 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උල්පාඩු). පැරණි සිංහල ශිලාලේඛන කිහිපයක ම දක්න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උල්පාඩු). පැරණි සිංහල ශිලාලේඛන කිහිපයක ම දක්නට ලැබෙන මේ වචනය ගැන ඉතිහාසඥයන් විවිධ මත පළ කර ඇත. බදුලු ටැම් ලිපියේ එන අන්දමට ඉන් ආගමික ස්ථානයක භාරකාර නිලධාරියකු අදහස් වන බව මහාචාර්‍ය්‍ය පරණවිතාන කියයි (ලං.ශි.සං. III, 94-95 පිටු). උල්වාඩු යනු ට්රැවන්කෝර් ප්‍රදේශයේ ශිලාලේඛන කිහිපයක සඳහන් උල්පාඩන් නම් නිලධාරියාට සමාන නිලධාරියකු සේ පිළිගත හැකි යයි පවසන ඔහු ඒ අදහස සනාථ කිරීමට එකී ශිලා ලේඛන සංස්කරණය කළ සුබ්‍රහ්මණ්‍ය අයියර් නම් පඬිවරයාගේ මතය ගෙන හැර දක්වයි. උල්පාඩන් හා පෙරුමුදියාන් යන වචන මුලින් ආගමික ස්ථානයක් සම්බන්ධ නිලධාරීන් පිරිසක් හැඳින්වීමට යොදා ඇති බවත් ඔවුනට අයත් වූ නියමිත කාර්‍ය්‍යයන් මොනවා දැයි හරිහැටි කිව නොහැකි වුව ද පන්සල්වල අරමුදල් හෝ වස්තුව පිළිබඳ භාරකාරත්වය ඔවුන්ට ලැබුණු බවට සැකයක් නැති බවත් ඔවුන් පන්සල් අරමුදලින් කහවණු ගෙවීම් කළ බව ඇතැම් ශිලාලේඛනවලින් පෙනෙන බවත් අයියර් සඳහන් කරයි.

බදුලු ටැම් ලිපියෙහි සංශෝධිත සංස්කරණයක් පළ කරමින් කොංඩවටවන (කොංඩවට්ටවන්) ටැම් ලිපියෙහි මෙනම් නිලයක් සඳහන් වන බවත් එම නිලය කැරවූ තැනැත්තා රට ඇතුළත විසූ රාජකීය නිලධාරියකු වූ බව හා අපරාධකරුවන් ඇල්ලීම ඔහුට අයත් වූ කාර්යයන් කෙරෙන් එකක් වූ බවත් පරණවිතාන මහතා තවදුරටත් පවසයි (ලං.ශි.සං. V, 191 පිට).

ගිරිතලේ ටැම් ලිපියේ (ලං.ශි.සං III, 144-145 පිටු) එන උල්වාඩු යන්න ගැන සඳහන් කරන මහාචාර්‍ය්‍ය පරණවිතාන මෙහි දී ඉන් ආගමික ස්ථානයක් හා සම්බන්ධ නිලධාරියකු නොව රාජකීය නිලධාරියකු අදහස් වන බව කියයි. මෙම ලිපියේ සඳහන් වන්නේ පරිහාරදානයන් ගැනය. ඔහු තම අදහස සනාථ කිරීමට ලංකාවේ හා ඉන්දියාවේ රජවාසල හා පන්සල්වල වත්පිළිවෙත් බොහෝ සෙයින් සමාන වූ බව ද ඒ නිසා පන්සල්වල ඇතැම් නිලධාරීන්ට ද රජවාසල නිලධාරී නාම යෙදෙන්නට ඇති බව ද රාජකාරිය අතින් ද ඔවුන් දෙගොල්ල සමාන වූ බව පිළිගත හැකි යයි ද කියයි. මහනුවර සමයේ පැවති දියවඩන නිලය වැනි තනතුරු ගැන සලකන විට මේ මතය නිවැරදි යයි සිතිය හැකිය.

මෙම වචනයේ නිරුක්තිය ව්‍යාකුල යයි පවසන මහාචාර්‍ය්‍ය පරණවිතාන දෙමළ 'උළ්' යන්නෙහි අභ්‍යන්තරය හෙවත් පන්සලක හෝ රජවාසල ඇතුළත කොටස යන අර්ථය ඇතැයි ද එහෙයින් මහා පරාක්‍රමබාහු රජු විසින් ඇති කරන ලද අන්තරංග ධුරයෙහි නිලධාරීන් සතු වූ කාර්යයන් හා සමාන කාර්‍ය්‍යන් උල්වාඩු නිලධාරියා සතු වූ බව සිතිය හැකි යයි ද කියයි. කතරගම ලිපියේ (ලං.ශි.සං. III, 223 පිට) යෙදෙන හුල්වාඩු යනු ද උල්වාඩු යන්න ම බව කියන පරණවිතාන කොංඩවට්ටවන් ටැම් ලිපියේ යෙදෙන උල්වාඩින් යන්න ගැන සඳහන් කරමින් දෙමළ 'උළ්' යන්නෙන් ඇතුළත ද 'පාඩු' (වාඩු) යන්නෙන් ගැයීම ද අදහස් කැරෙන හෙයින් බුත්සරණෙහි සඳහන් වන අන්තරංග නම් වූ අභ්‍යන්තර නෘත්‍ය ශාලාවට ඇතුළු වීමට බලය ලත් කාරිය කරන නිලධාරියකු ඉන් අදහස් වන බව කියයි (ලං.ශි.සං. V, 140 පිට). බුද්ධන්නෙහැල ටැම් ලිපියෙහි (ලං.ශි.සං. I, 197 පිට) එන උල්වාඩු හා ඇටවීරගොල්ලෑව ටැම් ලිපියෙහි (ලං.ශි.සං. II, 46 පිට) එන උල්වාඩු යන ශබ්දයන් ගැන මත පළ කරන ඩී.ඇම්. ද ඉසැඩ්. වික්‍රමසිංහ එයින් පහත් කුල ජනකොටසක් අදහස් වෙතැයි කියයි. උල්වාඩු යන්නෙන් අයබදු අයකරන්නා අදහස් කැරෙන බවත් එයින් ග්‍රාමාරක්ෂකයාත් ගත හැකි බවත් මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියෝ කියති.

බොහෝවිට මේ වචනය යෙදී ඇත්තේ බදු සහන හෙවත් පරිහාරදාන පිළිබඳව වූ ලිපිවල හෙයින් ඉන් රාජකීය නිලධාරියකු අදහස් වන බව සිතිය හැකිය. බදු සහන සැලසුණු ගම්වලට උල්වාඩුන්ගෙන් කරදර ඇතිවීම වැළැක්වීමක් මේ ලිපිවලින් බලාපොරොත්තු වන හෙයින් උල්වාඩු යන්නෙන් බදු අය කරන නිලධාරියකු අදහස් කැරුණු සේ සැලකීම උචිතය. පෙර කාලයේ දී බදු අය කරන නිලධාරියාට අධිකරණ බලතල ද තිබුණු හෙයින් කොංඩවට්ටවන් ලිපියේ "… මරා කෙටූ වරදට දඩ නොගෙනැ රට වූ උල්පාඩුවක්හට් දක්වා දෙනු" (ලං.ශි.සං. V, 136 පිට) යන යෙදීමෙන් ද ඒ බව ස්ඵුට වෙයි. (උල්පැන්ගේ ද බලන්න.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්වාඩු&oldid=10496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි