උෂස්
ඍග්වේදයෙහි සූක්ත විස්සකින් උත්කර්ෂවත් ලෙස වර්ණනා කරනු ලබන උෂස් තොමෝ අරුණෝදය පිළිබඳ දෙවඟනයි. ඇයගේ නම එහි තුන්සිය වරක් පමණ සඳහන් වී ඇත. ඇය පිළිබඳ වූ සූක්ත ඍග්වේදයෙහි ඇති ඉතා විචිත්‍ර සූක්ත අතුරෙහි ලා ගණිනු ලැබේ. එහි ඇය නිරූපණය කර ඇත්තේ තම මව විසින් අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසන ලද්දා වූ ද සිය ළැම පෙදෙස ලෝවැස්සන් හමුයෙහි විදහා පාන්නා වූ ද යුවතියක ලෙසිනි.
චිරන්තන වුව ද උෂස් තොමෝ නැවත නැවතත් උපදනා හෙයින් නවයොවුන්ය. ඕ මිනිසුන්ගේ ආයුෂ ක්ෂය කරයි. ඕ පෙර කල්හි මෙන් දැනුදු, මත්තෙහි දු බබළයි. ඕ පැමිණෙන කල මිනිසුන් හා සතුන් පණ ගන්වා පුබුදුවයි. එකල කුරුල්ලෝ තම කැදලිවලින් ඉගිළෙති; මිනිස්සු තම වැඩවල යෙදෙති. ඕ මාර්ග ආලෝක කරයි; නපුරට හා අඳුරට අරක්ගත් භූතයන් පලවා හරියි. හරකුන් තම ගාල විවෘත කරන්නාක් මෙන් ඕ අඳුරෙහි දොරටු විවෘත කරයි. ඈ ගමන් කරන්නේ අසුන් විසින් හෝ රතු පැහැ ගොනුන් විසින් හෝ අදිනු ලබන දිලිසෙන වේගවත් රියකිනි. දිනක දී ඕ තිස් යොදුනක් ගමන් කරයි.
පෙම්වතකු ලෙස තමා පසුපස එන සූර්යයා හා උෂස් දෙවඟනගේ කිට්ටු සබඳතාවක් දක්නට ලැබේ. ඕ සූර්යයාගේ පෙම්වතිය ද භාර්යාව ද වෙයි. ඈ සූර්යයා ඉදිරියෙන් හා සූර්යයා ඇය පසුපසින් යන හෙයින් වෙනත් මතයකට අනුව ඕ සූර්යයාගේ මවය. තවත් මතයකට අනුව ඕ සූර්යයා විසින් මවන ලද්දියකි. ඕ භග නම් ආදිත්‍යයාගේ සහෝදරියය; වරුණ දෙවියාගේ ඥාති ස්ත්‍රියය; රාත්‍රියගේ ලොකු අක්කායි. එහෙත් ඕ රාත්‍රියගෙන් බිහි වූවා යයි ද කියනු ලැබේ. බොහෝ විට එකට ආරාධනා කරනු ලබන ඔවුහු දෙදෙන සූර්යයාගේ නොහොත් අග්නිහුගේ මව්වරු නොහොත් භාර්යාවෝ වෙත්.
උෂස් තොමෝ ද්‍යෞස් නම් වූ ආකාශයෙහි දුවයි. එහෙත් එක් තැනක ඕ ආකාශයෙහි පෙම්වතිය ලෙස ද දක්නට ලැබේ. ඕ උදයෙහි යාගය සඳහා දල්වන ලද ගින්න ලෙස අග්නිහුගේ ඉදිරියෙන් හෝ ළඟින් හෝ පිටිපසින් හෝ පෙනී සිටී. ඕ අශ්වින් දෙදෙනාගේ යෙහෙළියයි. ඇය පහළ වන්නේ ඔවුන්ගේ රියෙහි වියගස බඳින විටය. අරුණාලෝක සංඛ්‍යාත උෂස් ඉන්ද්‍ර දෙවියා විසින් දල්වන ලද්දීය. එහෙත් වරක් ඔහු උරණ වී ඇගේ රථය ද පොඩිපට්ටම් කළ බව දැක්වෙයි.
උෂස් තොමෝ ඍත සංඛ්‍යාත නියාම ධර්‍මය නොඉක්මවයි. ස්වකීය මාර්ගයෙහි ඍජුව ගමන් කරන ඕ කිසි විටකත් මාර්ගයෙන් පිට නොපනී. ඕ භක්ත ජනයන් යාගය සඳහා පුබුදුවයි; අශ්‍රද්ධ අලසයන් තවත් නිදි ගන්වයි. එහෙත් භක්ත ජනයන් විසින් ඇය පුබුදුවනු ලබන බව ඇතැම් තන්හි දැක්වෙයි. ඕ භක්ත ජනයන්ට ආයු, සම්පත්, යස ඉසුරු, කිත්පැසසුම් ආදිය දෙයි.
සූර්යයාගේ ප්‍රාතඃප්‍රකාශය ද සාන්ධ්‍යප්‍රකාශය ද උෂා දේවතා යන්නෙන් කියැවෙන බව භාරත දේශීය පඬිවරුන්ගේ පිළිගැනීමයි.
රෝමයේ ඔරෝරා (බ.) නම් දෙවඟනත් ග්‍රීසියේ ඒයෝස් (බ.) නම් දෙවඟනත් උෂස් දෙවඟනට බොහෝ සෙයින් සමාන වෙති. එහෙත් මේ සමානකම ඇය හා සම්බන්ධ වූ ඉන්දු-යුරෝපීය පුදපිළිවෙතක් පැවැති බවට සාධකයක් නොවේ යයි බැරිඩේල් කීත් පඬිවරයා පවසයි.
(සංස්කරණය: 1974)