උෂ්කූර්
කාශ්මීරයේ වර්තමාන ශ්‍රී නගර්හි සිට සැතපුම් 34ක් පමණ ඈතින් ඣේලම් ගං ඉවුරෙහි පිහිටි පැරණි නගරයකි. ක්‍රි.ව. 2 වන සියවසේ දී හුවිෂ්ක නම් කුෂාණ රජතුමා හුවිෂ්කපුර යන නමින් මෙම නගරය ගොඩ නැංවීය. නගරයේ වර්තමාන නාමය එකී පැරණි නාමයේ ම විකෘතියකි. කාශ්මීරය හා වයඹදිග ඉන්දියාව අතර වෙළඳ මාර්ගයේ වැදගත් තැනක පිහිටි නිසා උෂ්කූර් මධ්‍යතන යුගයේ දී සමෘද්ධිමත් නගරයක් ව පැවතුණි.
උෂ්කූර් ආගමික මධ්‍යස්ථානයක් ද විය. හුවිෂ්ක රජතුමා මෙහි ස්තූපයක් සහිත බෞද්ධ සිද්ධස්ථානයක් ගොඩ නැංවීය. මෙහි වූ ආරාමයක තමා විසූ බව ක්‍රි.ව. 631 දී කාශ්මීරයට පැමිණි හියුං සාං සඳහන් කරයි. 8 වන සියවසේ දී වරාහ (විෂ්ණු) දේවාලය ඇතුළු හින්දු දේවාල කිහිපයක් මෙහි ගොඩනඟන ලද්දේය. කාර්කෝට රාජවංශයට අයත් වූ ලලිතාදිත්‍ය මුක්තාපීඩ (725-756) රජතුමා මෙහි විෂ්ණු දේවාලයක් හැරෙන්නට ස්තූපයක් සහිත විශාල විහාරයක් කැරවූ බව රාජතරංගිණියේ සඳහන් වේ.
හියුං සාං හා රාජතරංගිණීකරු සඳහන් කරන විහාරාරාමයන්ගෙන් අද ශේෂ වී ඇත්තේ ස්තූපයක නටබුන් හා ඒ වටා වූ ප්‍රාකාරයේ නටබුන් පමණි. මෙම ස්තූපය ගොඩනගා ඇත්තේ පැරණි ස්තූපයක පදනමට අයත් කොටස් මතය. උඩින් ඇති ස්තූපය ලලිතාදිත්‍ය ගොඩනැගූ ස්තූපයත් අනෙක කුෂාණ යුගයට අයත් ස්තූපයත් විය හැකිය. 8 වන සියවසේ දී පළමු ස්තූපය සම්පූර්ණයෙන් ම වාගේ ප්‍රතිසංස්කරණය කරන ලද බව පෙනේ. මෙම ස්තූපයට අයත් වූ සැලැස්ම ගන්ධාර ස්තූප සැලැස්මට නෑකම් කියන්නකි. ගන්ධාර ආගමික ගෘහනිර්මාණ ක්‍රමයේ ප්‍රදේශීය විකාසනයක් මෙම ස්තූපය ඇතුළු සමකාලීන කාශ්මීර ගෘහනිර්මාණයන්ගෙන් පෙනේ. ස්තූපය වටා වූ ආරක්ෂක ප්‍රාකාරය කුඩා ගල්පතුරුවලින් හා මැටියෙන් නිමවා තිබේ. බෙහෙවින් පළල් වූ එහි පහත කොටස කුඩා කුටි පේළියක් දරන පදනම වශයෙන් ද භාවිත විය.
උෂ්කූර් විහාර භූමියෙන් මැටි රූප කීපයක් හා බදාම රූප කැබලි කීපයක් සොයාගෙන තිබේ. ඒවා පශ්චාත්-ගන්ධාර මූර්ති කලා සම්ප්‍රදායේ ආභාසය පෙන්නුම් කරයි. මෙකී මැටිරූප අතරින් තෘප්තිමත් පෙනුමකින් යුත් අලංකාර බෝධිසත්ව හිස, අතිශය ස්වාභාවිකත්වයෙන් නිමවා ඇති බ්‍රාහ්මණ තාපස රූපය, බැතිබරින් පිරි මුහුණක් ඇති සුරූපී උපාසිකාවකගේ හිස, ධ්‍යානසුවයෙන් වැඩ සිටින තරුණ භික්ෂුවගේ හිස යන මේවා අගනා නිර්මාණ වේ. උෂ්කූර් ස්තූපයේ අලංකරණය පිණිස පැවති බදාම රූප හා මැටි රූප කාශ්මීරයේ පුරාණතම මූර්තිකලා කෘතීන්ට නිදර්ශන වේ.
උෂ්කූර්හි වෙනත් අගනා පුරාවස්තු අතර උෂ්කූර් ග්‍රාමයේ දෙකෙළවර පිහිටුවා ඇති අතිවිශාල ශිව ලිංග දෙකක් ද වේ.
(සංස්කරණය: 1974)