ඌබාංගි

සිංහල විශ්වකෝෂය වෙතින්
14:55, 10 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Oubangui). මධ්‍යම අප්‍රිකාවේ විශාල ගංගාවක් වූ මෙය ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oubangui). මධ්‍යම අප්‍රිකාවේ විශාල ගංගාවක් වූ මෙය කොංගෝ ගඟේ අතු ගඟකි. එහි දිග හැ. 1,400කි. කොංගෝ රාජ්‍යයේ ඊසාන දිගින් පටන්ගන්නා වෙලෙ ගඟ හා මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ගිනිකොන පෙදෙසින් පටන් ගන්නා බෝමූ ගඟ එක්වීමෙන් ආරම්භ වී බටහිර දිගට ගලා ගොස් නැවත දකුණට හැරී ටුම්බා විලට උතුරෙහි දී කොංගෝ ගඟට වැටේ. යකෝමාහි දී බෝමූ-වෙලෙ දෙගංමෝයට පහළින් ඌබාංගි ගඟට එක්වන වෙනත් ගංගා අතුරෙන් කොටෝ, උවාකා, ලොබායේ, ඉබෙංගෝ හා මොටාබා ප්‍රධානය. බංගුගි සමීපයේ සොංගෝ හෙවත් ‍ග්‍රෙන්ෆෙල් දියඇලි නිසා එම කොටසේ යාත්‍රා කිරීම උගහටය. සොංගෝ දියඇලිවලින් ඉහළ බෝමූ වෙලෙ දෙගංමෝය දක්වා යාත්‍රා කළ හැකිය. ඌබාංගි ගංගා පද්ධතිය ගවේෂණය කළ යුරෝපීය ගවේෂකයන් අතුරෙහි ජී.ඒ. ෂ්වයින්ෆුර්ත්, ජෝජ් ග්‍රෙන්ෆෙල්, පී. පොටාගොස් ආදිහු ප්‍රධාන වෙත්. මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව හා සයිරෙ රජය අතර දේශසීමාව බෝමූ හා ඌබාංගි ගංගා ඔස්සේත් සයිරෙ රජය හා කොංගෝ සමූහාණ්ඩුව අතර දේශසීමාවෙන් කොටසක් ඌබාංගි-කොංගෝ දෙගංමෝයේ සිට ලිබාංෂ් දක්වා ඌබාංගි ගඟ ඔස්සේත් වැටී ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌබාංගි&oldid=10516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි