ඌ නු
දෙවන ලෝක සංග්‍රාමය පැවති කාලයේ දී ඌ නු ඉංග්‍රීසීන් විසින් සිරභාරයේ තබන ලදි. ඔහු මේ කාලය ගෙවූයේ නාට්‍ය සහ නවකථා ලියමිනි. බුරුමය ජපනුන්ට අයත් වූවාට පසුව පිහිටුවන ලද යුද්ධකාලීන ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය භාරව සිටියේ ඌ නුයි. මුලදී ජපනුන්ට පක්ෂ වූ බුරුම ජනනායකයෝ පසුව තම රට විදේශ ආධිපත්‍යයෙන් ගළවා ගැනීම පිණිස ෆැසිස්ට් විරෝධී නිදහස් ජනතා සංගමයක් පිහිටුවා ගත්හ. ඌ නු මෙහි වැදගත් සාමාජිකයෙක් විය. 1947 දී ඕං සාං ආදි ප්රමුඛ ජනනායකයන් මරාදමීමෙන් පසුව නිදහස ලබාගැනීම සඳහා කරන ලද සාකච්ඡාවල මුල් තැන ගත්තේ ඌ නුය. ඕං සාංගෙන් පසුව ජනතා සංගමයේ සභාපති වූයේත් ආණ්ඩුවේ ප්‍රමුඛයා වූයේත් ඌ නුය. නිදහස් බුරුමයේ ප්‍රථම අගමැති වූයේ ඌ නුය. නිදහස ලැබීමෙන් පසුව පැවති ජාතිවාදී ගැටුම් හා කැරලි මධ්‍යයේ බුරුමයේ පාලනය ගෙනයාමට ඌ නු සමත් විය. 1956 දී ඌ නු ටික කලක් අගමැති පදවියෙන් ඉවත්වී සිටියේය. එම වර්ෂයේ පැවති මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය නැවතත් බලයට පත් විය. 1958 දී හේ අගමැති පදවියෙන් අස් වී රටේ පාලනය යුද්ධ හමුදා නායක නේ වින්ට භාර දුන්නේය. 1960 හේ නැවතත් අගමැති පදවියට පත්ව, 1962 දී යුද්ධ හමුදාව බලය අල්ලාගන්නා තෙක් බලයේ සිටියේය. නේ වින් බලයට පත්වීමෙන් පසුව ඌ නු සහ ඔහුගේ අනුගාමික පිරිස කලක් නිවාස හිර අඩස්සියට ගන්නා ලදහ.
නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ වුව ද, සමාජවාදී සැලසුම් ක්රියාවේ යෙදවීමට ඌ නු සමත් විය. විදේශීය ප්‍රතිපත්තිය අතින් ඌ නු මධ්‍යස්ථවාදියෙක් විය. ඌ නු, නේරුගේ පංචශීල ප්‍රතිපත්තිය කෙරේ විශේෂ විශ්වාසයක් ඇත්තෙක් විය. භක්තිමත් බෞද්ධයකු වූ ඌ නු හත් වතාවක් ම ශ්‍රමණ භූමියට ඇතුළත් වී සිටියේය. 1961 දී හේ බුද්ධාගම රජයේ ආගම ලෙස ප්‍රකාශයට පත් කෙළේය.
(සංස්කරණය: 1974)
