උරෙයියූර්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:57, 13 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු ඉන්දියාවේ කාවේරී ගඟේ දකුණු ඉවුරෙහි පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු ඉන්දියාවේ කාවේරී ගඟේ දකුණු ඉවුරෙහි පිහිටි නගරයකි. ත්‍රිචිනොපොලි දිස්ත්‍රික්කයෙහි උපනගරයක් වන එය උරන්දයි නමින් ද හැඳින්වෙයි. සංගම් සාහිත්‍ය යුගයෙහි දී එය චෝළ රාජ්‍යයෙහි අගනුවර ලෙස පැවතිණ. දකුණු ඉන්දියානු චෝළ ආධිපත්‍යය පැනනැඟුණේ ද උරෙයියූර් නගරය අවට පෙදෙස්වලිනි.

උරගපුර, ඔරයුර ආදි නම්වලින් ද හැඳින්වුණු උරෙයියූර් නගරය පෙරිප්ලස් මරිස් එරිත්‍රයි නම් ග්‍රන්ථයෙහි අර්ගරු නමින් ද ටොලමි විසින් ඔර්තුරා රේජියා සොර්නාති නමින් ද සඳහන් කරන ලදි. උරෙයියූර් නගරයෙහිත් කාවේරි පටුනෙහිත් (පුහාර්) විසූ චෝළ රජුන් අතර නිරන්තරයෙන් යුද්ධ පැවති බව සංගම් සාහිත්‍යයෙන් හෙළි වෙයි.

උරෙයියූර් නගරයෙහි හා කාවේරි පටුනෙහි පෞරාණික ශ්‍රී විභූතිය කෙබඳු දැයි යන්න හෙළි කරන නෂ්ටාවශිෂ්ට කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. එසේ වුව ද සංගම් සාහිත්‍යයෙන් හෙළි වන කරුණු අනුව අපට එහි අතීත ශ්‍රී විභූතිය වටහා ගත හැකිය. චෝළ පරපුරේ සමාරම්භකයා වූ විජයාලය නැඟී ආවේ උරෙයියූර් නගරය අසලිනි. ලංකාවේ වංකනාසිකතිස්ස රජු දවස කරන ලද චෝළ ආක්‍රමණයට පළිගැනීමක් වශයෙන් ගජබාහු රජු චෝළ රාජ්‍යය ආක්‍රමණය කොට එහි අගනුවර වූ උරෙයියූර් නගරය අල්ලාගෙන ටික කලක් බලයෙහි සිටි බව ග්‍රන්ථාගතය. මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය රජුගේ සෙල්ලිපිවල ඔහු චෝළ රජු පරදා තංජෝරය හා උරෙයියූර් නගරය ගිනිතබා විනාශ කළ බව සඳහන් වෙයි. 13 වන සියවසේ අවසාන භාගයෙහි දී සුන්දර පාණ්ඩ්‍යත් වීර පාණ්ඩ්‍යත් අතර සිහසුන සඳහා අරගළයක් පවතිද්දී එවක දිල්ලි නගරයෙහි සුල්තාන්වරයා වූ අලා උද්දීන් බල්ජිගේ සෙන්පති මලික් කෆූර් උරෙයියූර් නගරය අසල වූ බීර්ධුල් නම් ස්ථානය දක්වා ආක්‍රමණය කෙළේය.

උරෙයියූර් අනගි කපු පිළී වෙළඳාමෙහි ප්‍රධාන මධ්‍යස්ථානයක් වී යැයි පෙරිප්ලස් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් හා සමකාලීනයකු වූ බුද්ධදත්ත හිමියන්ගේ උත්පත්තිස්ථානය වූයේ ද උරගපුර හෙවත් උරෙයියූර්ය. එය ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් විය. එය දකුණු ඉන්දියාවේ ආධිපත්‍යය සඳහා පල්ලවයන් හා චාලුක්‍යයන් අතර පැවති අරගළවල දී යුද කඳවුරු ලාගත් ස්ථානයක් ලෙස ද දැක්වෙයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරෙයියූර්&oldid=10652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි