උළුක්කුව

සිංහල විශ්වකෝෂය වෙතින්
11:47, 16 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උළුක්කුවක් ඇති වීමට හේතුවන්නේ ශරීරයෙහි යම්කි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උළුක්කුවක් ඇති වීමට හේතුවන්නේ ශරීරයෙහි යම්කිසි සන්ධියක් හදිසියෙන් එසේ නැතහොත් තදබල ලෙස ඇඹරීයෑමෙන් හෝ කරකැවී වේගයෙන් ඇදීයෑමෙන් හෝ යමක හැපීමෙන් හෝ ඒ සන්ධියට සම්බන්ධව තිබෙන බන්ධනියක් (ligament) ඉරීයෑම හෝ ඇදීයෑමය. උළුක්කුවකට පේශියකුත් ඇතැම් විට කණ්ඩරාවකුත් (tendon) අසු විය හැකිය.

සන්ධියක් පිට ක්‍රියා කරන පේශි කිහිපයක් ඒ සන්ධිය සමඟ සම්බන්ධ වේ. මේ පේශි තුළ හදිසියේ යම්කිසි චලනයක් සිදු වුවහොත් උළුක්කුවක් ඇති කිරීමට එය හේතු විය හැකිය. වඩා උග්‍ර අවස්ථාවක දී තදින් ඇදීයෑමකට විරුද්ධව ක්‍රියා කිරීමට පේශි අසමර්ථ වේ. දණ, වළලුකර, මැණික්කටුව, උරහිස යනාදිය බොහෝවිට උළුක්කු වන්නට පුළුවන. පේශීන්ගේ හෝ සම්බන්ධක පටකවල හෝ සමහර තන්තු කැඩීයාම උළුක්කුව හා සම්බන්ධ වේ. ඇතැම් විට රුධිර වාහිනීන් පවා පුපුරන්නට පුළුවන.

උළුක්කු වූ තැන වේදනාව ද ඉදිමුම ද ඇති වේ. ඒ ස්ථානයේ පාට ද වෙනස් වන්නට පුළුවන. හානි වූ බන්ධනයේ ඇදීම සිදු කරන සන්ධියේ යම්කිසි චලනයක් ඇති වේ නම් එය ඉතා වේදනා සහිතය. උළුක්කුවක් භග්නයකින් වෙන් කොට අඳුනා ගැනීම බොහෝ විට දුෂ්කරය. ඒ ගැන සැකයක් ඇතොත් එය භග්නයක් සේ සලකා ප්‍රතිකාර කළ යුතුය. බොහෝ උළුක්කු භග්නයත් සමඟ ම ඇති වේ. එබැවින් සන්ධියකට උග්‍ර හිංසාවක් ඇති වූ විට X-කිරණ පරීක්ෂණයක් කිරීම අවශ්‍ය වේ.

උළුක්කුවකට හොඳින් ම ප්‍රතිකාර කළ හැක්කේ උළුක්කු වූ ප්‍රදේශය තරමක් උස් තැනක තබා ගෙන විවේකව සිටීමෙනි. එසේ ම ඒ ප්‍රදේශය නිශ්චලව තබා ගැනීමත් සිහි පරීක්ෂා සහිතව ඉඳහිට චලනය කිරීමත් කළ යුතුය. හානි වූ තන්තු සැම විට ම තව තවත් හානිවීම්වලට භාජන වේ නම් උළුක්කු වූ බන්ධනියකට පිළියම් කළ නොහැකිය. අනික් අතට උළුක්කු වූ සන්ධියක් හෝ කණ්ඩරාවක් බොහෝ දිගු කාලයක් තුළ ම නිශ්චලව තබා තිබුණ හොත් බන්ධනියේ පිළියම්වීම සිදුවන්නේ පේශි ක්ෂය වීමත් සමඟය. ආසක්ති (adhesions) ද ඇති වන්නට පුළුවන. වළලුකරේ උළුක්කුවකට ඇතැම් විට කරන ප්‍රතිකාරය නම් සුනම්‍ය ආසක්ති පැලැස්තර පටිවලින් වළලුකර වෙළීමය. උළුක්කු වූ ඇතැම් ස්ථාන මිරිකා අත ගෑමෙන් (සම්බාහනයෙන්) වේදනාව අඩු කළ හැකිය. සිසිල් ආලේප යෙදීමෙන් ද උළුක්කුවලට ප්‍රතිකාර කරනු ලැබේ. උළුක්කුව කල්ගිය එකක් නම් බොහෝ විට අධෝරක්ත කිරණ (infra-red rays) හෝ විතාපනය (diathermy) ද ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උළුක්කුව&oldid=10674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි