සූර්‍ය්‍ය ඌෂ්මක

සිංහල විශ්වකෝෂය වෙතින්
09:01, 30 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්ධන උපයෝගි කරගනු ලබන සාමාන්‍ය ඌෂ්මකවලින් ල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්ධන උපයෝගි කරගනු ලබන සාමාන්‍ය ඌෂ්මකවලින් ලැබෙන ඵලයට අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩකඩ තිබෙන නිසා පර්යේෂණ අවශ්‍යතාවන් සඳහා විශේෂ ඌෂ්මක අවශ්‍ය වේ. සූර්‍ය්‍ය ඌෂ්මකය එවැනි අවශ්‍යතාවන් පිරිමසා ගැනීම සඳහා නිපැදවූවකි. පැටවුම (load) රත් කිරීම සඳහා සූර්යයාගෙන් විකිරණය වන තාප ශක්තිය මෙහි දී ප්‍රයෝජනයට ගනු ලැබේ. විශාල උත්තල කාචයක් හෝ පරාවලයික දර්පණයක් (paraboloidal mirror) හෝ උපයෝගී කොට ආලෝක කදම්බයක් එක් ලක්ෂ්‍යයකට නාභිගතකිරීමෙන් මෙම ඌෂ්මක නිපදවා තිබේ. රත් කළ යුතු ද්‍රව්‍යය කාචයේ හෝ දර්පණයේ නාභියෙහි තබනු ලැබේ. කාචයකින් හෝ දර්පණයකින් හෝ නාභියෙහි දී ලබාගත හැකි ශක්තිය රඳා පවතින්නේ දර්පණය හෝ කාචය මත පතිත වන විකිරණ කිරණ ප්‍රමාණය මතයි. සාමාන්‍යයෙන් වර්ග මීටරයකට කිලෝවොට් එකක පමණ ශක්ති ප්‍රමාණයක් පෘථිවිය මත සිටින්නකුට සූර්යයාගෙන් ලැබේ. එහෙත් මේ ශක්තියෙන් කොටසක් වායුගෝලය මගින්, විශේෂයෙන් ම වායුගෝලයේ ඇති ඕසෝන් මගින්, උරාගනු ලැබේ. ඌෂ්මකයේ උපයෝගී කරගනු ලබන දෘෂ්ටි උපකරණ නිසා සිදු වන වර්තනය හා පරාවර්තනය හේතුකොට ගෙන තවත් කොටසක් අපතේ යයි.

නිර්මාණය කළ හැකි කාචයේ හෝ දර්පණයේ ප්‍රමාණය මත මෙවැනි ඌෂ්මකයකින් ලබාගත හැකි ශක්තිය රඳා පවතී. විශාල කාච නිර්මාණය කිරීමට ඇති අපහසුව නිසා ද එම කාච උපකරණවල සවිකිරීමේ දී බලපාන තාක්ෂණික දුෂ්කරතා නිසා ද දැන් මෙවැනි ඌෂ්මක සඳහා දර්පණ ම උපයෝගී කරගනු ලැබේ. කාච උපයෝගී කොට නිපදවා ඇති විශාලතම ඌෂ්මකය කැලිෆෝනියාවේ සවි කොට තිබේ. මෙය කාච 19කින් යුතු සැකිල්ලකින් සමන්විතය. මෙම කාචවල සඵල (effective) ක්ෂේත්‍රඵලය වර්ග මීටර 5කි. මෙම ඌෂ්මකය උපයෝගී කොට සෙ. 3000ක පමණ උපරිම උෂ්ණත්වයක් ලබාගත හැකි බව පෙන්වා දී තිබේ.

දර්පණ උපයෝගී කරගන්නා ඌෂ්මකවල යොදා ගනු ලබන දර්පණවල විෂ්කම්භය සාමාන්‍යයෙන් මීටර 1 සිට 12 දක්වා වේ. මෙම ඌෂ්මකවලින් සෙ. 4000ක පමණ උෂ්ණත්වය දක්වා රත් කළ හැකි බව පරීක්ෂණ මගින් හෙළි වී තිබේ. ද්‍රව්‍යය රත් කළ හැකි උපරිම උෂ්ණත්වය, රත් කිරීමට යොදන ද්‍රව්‍යයේ මතුපිට ස්වභාවය මත ද තාප සන්නායකතාව මත ද රඳා පවතී. ඔප දමන ලද ඇලුමිනියම් තහඩුවලින් තැනූ හෝ තඹවලින් තනා රෝඩියම් (rhodium) ආලේප කොට ඇති හෝ දර්පණ මෙවැනි ඌෂ්මක සඳහා වඩා යෝග්‍යය.

සූර්‍ය්‍ය ඌෂ්මකයේ දර්පණ හෝ කාච හැමවිට ම සූර්යයා දෙසට හැරී තිබිය යුතු නිසා නක්ෂත්‍ර දුරේක්ෂයකට මෙන් මෙම ඌෂ්මකවලට ද සවි කිරීමේ උපකරණ හා පාලනය කිරීමේ උපකරණ පද්ධතියක් අවශ්‍ය වේ. බොහෝවිට ප්‍රකාශ විද්‍යුත් ඇසක් උපයෝගී කොට තනා ඇති උපක්‍රමයක් මගින් ඌෂ්මකයේ කාචය හෝ දර්පණය ස්වයංක්‍රීයව හැමවිට ම සූර්යයා දෙසට හැරෙන අයුරු සකසා තිබේ. පරාවලයික දර්පණවල හෝ අවතල දර්පණවල හෝ කාචවල හෝ පිහිටීම වෙනස් වන විට ආලෝක කදම්බ නාභිගත වී ඇති ස්ථානය ද ක්‍රමයෙන් වෙනස් වන නිසා රත් කළ යුතු ද්‍රව්‍යයේ පිහිටීම ද ස්වයංක්‍රියව වෙනස් විය හැකි අයුරු උපක්‍රම යෙදීම අවශ්‍යය. මෙය මඟහරවා ගැනීම සඳහා බොහෝ සූර්‍ය්‍ය ඌෂ්මකවල සහායක තල පරාවර්තකයක් යොදා ගනු ලැබේ. එවිට අවතල හෝ පරාවලයික දර්පණය නිශ්චලව තබා තල දර්පණය මගින් සූර්‍ය්‍යාලෝකය අවතල හෝ පරාවලයික දර්පණය මත වැටෙන්නට සලස්වනු ලැබේ. ප්‍රකාශ විද්‍යුත් ඇස මගින් සහායක දර්පණය පමණක් ක්‍රියා කරවනු ලැබේ.

සූර්‍ය්‍ය ඌෂ්මකයක් උපයෝගී කොට රත් කිරීමට ගන්නා ද්‍රව්‍ය භාජනයක් නොමැතිව කෙළින් ම රත් කළ හැකිය. එහෙත් ද්‍රව අවස්ථාවට හෝ වායු අවස්ථාවට හෝ පත් වන ද්‍රව්‍ය කෘෂ්ණ වස්තුවක (black body) තනා ඇති කුහරයක තබා විකිරණ කිරණ ඒ මත නාභිගත වීමට සලස්වනු ලැබේ. ද්‍රව්‍ය තබා ඇති කුහරය තුළ හා ඒ අවට ඇති වාතය අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට පිළිවන. මෙයින් පරීක්ෂණාත්මක කටයුතු පුළුල් ලෙස කිරීමට ඉඩ පහසුකම් සැලසේ. මෙය මහත් වාසියකි. තවද, රත් කරන ද්‍රව්‍ය අපද්‍රව්‍යවලින් කෙලෙසීම වළක්වා ගත හැකි වීම ද විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවල බලපෑමක් ඌෂ්මකය කෙරෙහි නොමැතිවීම ද ඉතා ඉක්මනින් රත්කිරීම හා සිසිල්කිරීම අවශ්‍ය වන ආකාරයේ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට හැකි වීම ද මෙම ඌෂ්මකවල ඇති තවත් වාසි කිහිපයකි. එහෙයින් උදුන්වල යොදන තාපසහ (refractory) ද්‍රව්‍යවල හැසිරීම ද ඉහළ උෂ්ණත්වවල දී සිලිකේට, ඔක්සයිඩ, බෝරයිඩ හා නයිට්‍රයිඩ වැනි ද්‍රව්‍යවල හැසිරීම ද අධ්‍යයනය කිරීම සඳහා මෙම ඌෂ්මක බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනිත්. අවුරුද්ද මුළුල්ලේ ම ඒකාකාර ලෙස සූර්යාලෝකය ලැබෙන හඳේ ආලෝකවත් කොටස වැනි ස්ථානයක මෙම ඌෂ්මක නොකඩවා ක්‍රියා කරවිය හැකිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සූර්‍ය්‍ය_ඌෂ්මක&oldid=10691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි