ඍ
සිංහල වර්ණමාලාවේ නවවන අක්ෂරයයි. සංස්කෘත, තෙලුඟු, මලයාලම් ආදි ඉන්දීය භාෂා කීපයක ම මීට සප්තම ස්ථානය දී තිබේ. එය ස්වරයකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි හල්භාවය දක්වන ලකුණ අස්කොට ගැටය සහිත ඇලපිල්ලක් (නි. ක්+සෘ=කෘ; ද්+සෘ=දෘ) යොදනු ලැබේ. ලඝු ස්වරයක් වූ ඍ කාරය මුදුනෙන් උපදින බැවින් මූර්ද්ධජාක්ෂරයක් ද එක ම ස්ථානයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් ද වෙයි.
පැරණි ඉන්දු-ආර්‍ය්‍ය යුගයෙහි දක්නා ඍකාර, ඎකාර පාලි ප්‍රාකෘත යුගයන්හි දී සාමාන්‍යයෙන් අ, ඉ හෝ උ යන ස්වරත්‍රයෙන් එකක් වශයෙන් සිටී. සිංහලයෙහි දී ද අ, ඉ, උ යන ස්වර තුනෙන් එකක් වශයෙන් හෝ බෙහෙවින් ම අර්ධ තත්සම ශබ්දයන්හි දී ඉකාර හෝ උකාර පූර්ව හෝ පර කොට ඇති ර කාරය වශයෙන් හෝ සිටී. උදා.
අ - තෘණ>තණ, ඉ - භෘංග>බිඟු, උ - මෘග>මුව
ඉ - පූර්ව ර කාරය - ඍග්වේද>ඉරුවේ
උ - පූර්ව ර කාරය - හෝතෘ>හොතුරු
ඉ - පර ර කාරය ඍද්ධි>රිද්දි
(ලෝවැඩසඟරාව 93)
උ - පර ර කාරය - ඍෂි>රුසි
(ගිරා සන්දේශය 55).
(සංස්කරණය: 1974)