ඌරුබොක්ක ඔය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:22, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු පළාතේ දෙණියායේ කඳුකරයෙහි පනිල්කන්දේ බෑ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු පළාතේ දෙණියායේ කඳුකරයෙහි පනිල්කන්දේ බෑවුම්වලින් පටන්ගෙන ගිරුවාපත්තුව ඔස්සේ ගලා ගොස් තංගල්ලට සැතපුම් හයක් පමණ නැගෙනහිර දිගින් ද රන්නට සැතැපුම් දෙකක් පමණ දකුණු දිගින් ද වූ ස්ථානයක දී මුහුදට වැටෙන ඔයකි. මෙහි දිග සැතපුම් 37ක් පමණ ද මුළු ජලවහන ප්‍රදේශය ව.සැ. 136ක් පමණ ද වේ. මෙම ගංගාධාරයෙහි පොල්, පැඟිරි, වියළි කලාපීය එළවළු හා වී වගා කරනු ලැබේ. දෙමෝසම් වැසි ලබන මෙපෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 60-70ක් පමණ වේ. මෑතක් වන තුරු ජලසම්පාදන කටයුතු සඳහා මෙම ඔය උපයෝගී කරගත්තේ එහි එක ම ජලාශය වූ උඩුකිරිවිල වැව (බ.) ද වකමුල්ල අමුණ, හකුරුවෙල අමුණ ආදි අමුණු හා ඇළ මාර්ග කීපයකින් යුත් කුඩා ජල සම්පාදන ව්‍යාපාර කීපයක් ද මගින් පමණි. මේ නිසා මෙතෙක් ඌරුබොක්ක නිම්නයේ වී ගොවිතැන ප්‍රධාන වශයෙන් දියුණු වී ඇත්තේ ද උඩුකිරිවිල වැවට පහළ ප්‍රදේශයේ පමණි. උඩුකිරිවිල වැව ඉහත්තාවෙහි ඌරුබොක්ක ඔය හරහා පස් පුරවා වේල්ලක් ඉදි කර අක්කර අඩි 39,000ක ධාරිතාවෙන් යුත් මුරුතවෙල ජලාශය (බ.) බැඳීමේ කටයුතු 1967 දී ආරම්භ කරන ලදි. එම ව්‍යාපාරය ක්‍රියාත්මක වන විට උඩුකිරිවිල වැවෙන් ජලය සැපයුණු අක්කර 4,000ට අමතරව මෙම නිම්නයේ අලුතින් අක්කර 3,000ක් පමණ ද වී ගොවිතැන සඳහා යෙදවීමට හැකි වනු ඇත. මේ හැර මුරුතවෙල ජලාශයේ දකුණු ඉවුරෙහි ඇළ ඔස්සේ ඌරුබොක්ක ඔයට බටහිර දිගින් වූ කිරම ඔය ව්‍යාපාරයට වැඩිපුර ජලය සැපයීමේ වැඩ පිළිවෙළක් ද සැලසෙනු ඇත. ජල සම්පාදන කටයුතු දියුණු කිරීමත් සමඟ ම ගොවිතැන් පහසුකම් වැඩි වන හෙයින් මෙම නිම්නයේ ජනපදවාසීන් 1,500ක් පමණ පදිංචි කළ හැකි වෙයි. කටුවන, ජුලම්පිටිය, වීරකැටිය, උඩයාල, කොටවාය හා රන්න මෙම නිම්නයේ පිහිටා ඇති ප්‍රධාන නගර වෙයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරුබොක්ක_ඔය&oldid=10712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි