ඌරුස්තම්භය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:07, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('විවිධ හේතූන් කරණකොටගෙන කිපියා වූ සෙම් මේදස් ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විවිධ හේතූන් කරණකොටගෙන කිපියා වූ සෙම් මේදස් සහිත වාතය පිත මැඩගෙන දෙකළවා කරා පැමිණ ඒවා ඇතුළත පිරීයෑම නිසා සෙලවීම හෝ ක්‍රියා කරවීම නොහැකි වන පරිදි කළවා දරදඬු කැරෙන රෝග විශේෂය 'ඌරුස්තම්භ' නමින් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි හඳුන්වා තිබේ. වාතය මේදසින් ආවෘත වන හෙයින් ඇතැමෙක් මීට 'ආඪ්‍යවාත' යයි ද කියති.

පරස්පර විරෝධි ආහාර සේවනයෙන් ද කෑ ආහාර නොදිරා මඳක් ශේෂව පවත්නා අවස්ථාවල දී නැවතත් කෑමෙන් ද හිත වූත් අහිත වූත් දේ එකට අනුභව කිරීමෙන් ද නිසි සේ නොපැසුණු මද්‍ය වර්ග පානයෙන් ද අධිකව දහවල් නිදීමෙන් හා රෑ නොනිදා සිටීමෙන් දැයි යනාදි හේතූන්ගෙන් ඌරුස්තම්භය හටගනී.

නින්ද අධික බව, සිතිවිලි බොහෝ බව, ඇඟ බර බව, උණ, ලොමුදැහැගැන්ම, අරුචිය, වමනය, කෙණ්ඩා හා කළවා අප්‍රාණික වීම යන මේවා ඌරුස්තම්භ රෝගය පිළිබඳ පූර්වරූප වේ. හිරිවැටීම් හැකිළීම් ආදිය ඇති හෙයින් මෙය වාත රෝගයකැයි ද වරදවා සිතන්නට පුළුවන.

ස්නේහ වර්ග වර්ජනය කොට ෂඩ්ධරණ චූර්ණය හෝ පිප්ඵල්‍යාදි ගණයට අයත් ද්‍රව්‍යවලින් සෑදූ චූර්ණය උණුදිය සමග පානය කිරීම රෝග ශමනයට හේතු වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරුස්තම්භය&oldid=10720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි