එක්විසෙටාලේස්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:05, 16 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Equisetales). මෙය ටෙරිඩොෆීටා (බ.) වංශයට අයත් ශාක ගෝත්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Equisetales). මෙය ටෙරිඩොෆීටා (බ.) වංශයට අයත් ශාක ගෝත්‍රයකි. අවුරුදු කෝටි 25කට පමණ පෙර අංගාරධර යුගයේ දී මේ ගෝත්‍රය බහුලව පැවැතිණි. මේ අවධියේ දී ලෝකයේ තිබුණු ගස් කොළන් අතුරෙන් එක්විසෙටාලේස් ගෝත්‍රයට අයත් කලමයිටේස් (බ.) නමැති ශාකය ඉතා ප්‍රමුඛ තැනක් ගත්තේය. දැන් මේ ගෝත්‍රයට ඇතුළත් වන්නේ ශාක ස්වල්පයක් පමණි. ඒවා සියල්ල ම එක්විසෙටුම් (බ.) නමැති එක ම ගණයට අයත් වේ.

එක්විසෙටාලේස් ගෝත්‍රයේ බීජාණු ශාක කඳන්වල බොහෝ ශාඛා තිබේ. මේ ශාඛා හරස්චලයන් ලෙස සිටී. කඳන් සහ ශාඛා පැහැදිලි ගැටවලටත් පර්වවලටත් විභේදනය වේ. පර්වවල සිරස් අතට දාර වැටී තිබේ. අනුපූර්ව පර්වවල දාර සාමාන්‍යයෙන් එකිනෙක සමඟ මාරුවෙන් මාරුවට ඇත. සෑම ගැටයක ම ශල්ක වැනි කුඩා පත්‍රවලින් සෑදුණු පත්‍ර වලයක් තිබේ. සනාල සිලින්ඩරය ඇත්කොන් (endarch) නාලස්ථූණයකි (siphonostele). ඇතැම් ගණයන්හි සනාල සිලින්ඩරයේ ද්විතීයික ඝනවීම් ද සිදු වේ.

බීජාණු ශාකවල සරු කොටස් නම් බීජාණුධානිධර සහිත සංකේතය. බීජාණුධානිධරවල විදුර (distal) කොන් සාමාන්‍යයෙන් පලිහාකාරය. සමහර ගණයන්හි සංකේතුවල නිපත්‍ර තිබේ. මේ නිපත්‍ර හා බීජාණුධානිධර වෙන් වෙන්ව පවතී. එක්විසෙටාලේස් ගෝත්‍රයට අයත් ශාකවල බීජාණු ශාක සම බීජාණු හෝ විෂම බීජාණු හෝ විය හැකිය.

එක්විසෙටාලේස් ගෝත්‍රය කුල තුනකට බෙදනු ලැබේ. කලමයිටේසේ හා එක්විසෙටේසේ කුල දෙක ඔවුනතුරෙන් වැදගත් වේ. එක්විසෙටාලේස් ගෝත්‍රයට අයත් ශාක පළමුවෙන් පෙනී සිටින්නේ ඉහළ ඩෙවොනියන් (බ.) යුගයේ දීය. ඉහළ අංගාරධර යුගයේ දී මේ ශාක බොහෝ සෙයින් නානාප්‍රකාර වී ඉතා විශිෂ්ට විය. ප’මියන් (බ.) යුගයේ දී මේ ශාකවලින් බොහොමයක් නැති වී ගියේය. එහෙත් එක්විසෙටුම් නමැති එක ගණයක් අවිනෂ්ටව අද දක්වාත් පවතී.

එක්විසෙටාලේස් වනාහි ස්වාභාවික ගෝත්‍රයකි. මේ ගෝත්‍රයට අයක් ශාක අතර කිට්ටු සම්බන්ධකම් විද්‍යමාන වේ. මේ ශාක ස්ෆෙනො‍ෆිලාලේස් (බ.) ගෝත්‍රයට අයත් ශාකවලට කිට්ටු සම්බන්ධකම් පෙන්වයි. සයිලොටාලේස් (ටෙරිඩොෆීටා බ.) ගෝත්‍රයට අයක් ශාක සමගත් තරමක් සම්බන්ධකම් පෙන්වයි. නොබෝදා කළ වර්ගීකරණයක එක්විසෙටාලේස් හා ස්ෆෙනොෆිලාලේස් ගෝත්‍ර දෙක ස්ෆෙනොප්සිඩා නමැති වංශයෙහි එකට තබා ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එක්විසෙටාලේස්&oldid=10760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි