ඇපිනයින්
ඉතාලි අර්ධද්වීපයට අයත් කඳු වැටියකි. දිගින් සැතැපුම් 840ක් පමණ වූ මෙය මුළු අර්ධද්වීපය දිගට ම විහිදී ගොස් ලිගුරියා සහ පීඩ්මොන්ට් යන පළාත්වල දී ඇල්ප්ස් කඳුවලට සම්බන්ධ වෙයි. මේ කඳුවැටිය නිර්මාණය වී තිබෙන්නේ මෙසොසොයික සමයේ තැන්පත් වුණු පාෂාණවලිනි. මයෝසීන අවධිය දක්වා මේ ස්තර උස් වෙමින් ද රැළි ගැසෙමින් ද පැවැත්තේය. මේ නිසා මෙය ඇල්පයින් කඳු යුගයට අයිති වේ. ඉතාලියෙහි ආර්නෝ, ටයිබර්, සාංග්‍රෝ, වොල්ටුර්නෝ ආදි ගංගාවන් පටන්ගන්නේ මේ කඳුවැටියෙනි.
ඇපිනයින් කඳුවැටිය උතුරු කොටස, මධ්‍යම කොටස, දකුණු කොටස යනුවෙන් කොටස් තුනකින් යුක්තයි. මේ එක් එක් කොටස තවත් කුඩා කොටස් කීපයකට බෙදේ. මුහුදුබඩ ඇල්ප්(ස්) කඳුවැටියෙහි සිට විහිදී යන උතුරු කොටසෙහි ද ලිගුරියානු ඇපිනයින්, ටස්කන් ඇපිනයින්, උම්බ්‍රියානු ඇපිනයින් යයි කොටස් තුනක් වෙයි. එහි බූවේ (5,914'), විමෝනේ (7,095') සහ නෙරෝනේ (5,005') උස ම ශිඛර වේ. වැලිගල් සහ මැටිගල් මෙහි පවත්නා ප්‍රධාන පාෂාණ වර්ගයෝයි. පළලින් මෙන් ම උසින් ද වැඩි වූ මධ්‍යම ඇපිනයින් කඳු සාංග්‍රෝ මිටියාවත තෙක් විහිදී යයි. එහි මොන්ටේ කෝර්නෝ හෙවත් කෝර්නෝ ග්‍රාන්ඩේ (9,557') ශිඛරය මුළු ඇපිනයින් කඳුවැටියෙහි උස ම කඳු මුදුනයි. වේටෝරේ කන්දෙහි උස අඩි 8,128ක් පමණ වේ. මධ්‍යම ඇපිනයින් කඳු ප්‍රදේශයෙහි පවත්නා ප්‍රධාන පාෂාණ වර්ගය හිරිගල්ය. සංග්‍රෝ මිටියාවතට දකුණින් පිහිටි දකුණු ඇපිනයින් එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලයි. එහි උස ම ශිඛරය වශයෙන් සැලැකෙන්නේ මිලෙත්තෝ (6,725') කඳු මුදුනයි. ඇපිනයින් කඳු වැටියෙහි ඉතා ම ප්‍රසිද්ධ ශිඛරය වූකලි විසූවියස් ගිනිකන්දයි. යුරෝපයේ අනික් කඳු වැටි හා සසඳා බලන විට ඇපිනයින් කඳු වැටිය දිගින් වැඩි වුවත් උසින් නම් ඉතා ම අඩුය.
ඇපිනයින් පෙදෙසේ පහත් කඳුකර පළාත්වල ඔලිව් සහ මිදි වවනු ලැබේ. ජල පහසුකම් ඇති නිම්න ප්‍රදේශවල මෙන් ම පහත් කඳු බෑවුම්වලත් තිරිඟු ආදි ධාන්‍ය වර්ග වගා කෙරෙන අතර එළු, බැටළු, ගව ආදි සත්තු ද ඇති කරනු ලබති. මෙහි ඛනිජ උල්පත් රැසක් ඇත ද අඟුරු, ඇලුමිනියම්, ගෙන්දගම් ආදි ඛනිජ ද්‍රව්‍ය ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ප්‍රධාන ගංගාවලින් ජලවිදුලිය උපදවා ගනු ලැබේ.
ඇපිනයින් කඳුවැටිය හරහා දුර්ග මාර්ග කීපයක් ම වැටී ඇත. මුහුදු මට්ටමේ සිට උස අඩි 1,549ත් අඩි 5,000ත් අතර පිහිටි මේ දුර්ග ඔස්සේ මහා මාර්ග 45ක් ද දුම්රිය මාර්ග 18ක් ද දිවෙයි. බොලොඤ්ඤා-ෆ්ලොරන්ස් දුම්රිය මාර්ගයෙහි ඇති බිංගෙවල් දිගින් සැතැපුම් 22ක් පමණ වේ. ඒ අතුරින් ඇපිනයින් බිංගෙය සැතපුම් 11 1ක් පමණ වේ.
(සංස්කරණය: 1967)