ඇපූලියා

සිංහල විශ්වකෝෂය වෙතින්
13:22, 17 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(පූල්යා). අග්නිදිග ඉතාලියේ පළාතකි. බාරි, බ්‍රින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පූල්යා). අග්නිදිග ඉතාලියේ පළාතකි. බාරි, බ්‍රින්ඩිසි, යෝන්යෝ සහ ලෙත්චෙ යන කොටස්වලට බෙදී ඇත්තා වූ මෙහි දකුණින් ටරන්ටෝ බොක්කයි; නැගෙනහිරින් ආද්‍රියාතික් මුහුදයි.

'ඉතාලියේ විළුඹ' යනුවෙන් හැඳින්වෙන අග්නිදිග ප්‍රදේශය හිරිගලින් සෑදුණු තැන්නකි. ඉතාලියේ වියළිතම ප්‍රදේශය වූ ඇපූලියාවට දිය ලැබෙන්නේ ඇපිනයින් කඳුකරයේ සිට එන දිය පාලමක ආධාරයෙනි.

ව.සැ. 7,469ක් විශාල වූ මෙහි ජනගහනය, 2886,570 (1943)කි. ප්‍රධාන නගරය වන බාරි (2,87,700) නැව් තොටක් ද කපු මධ්‍යස්ථානයක් ද වේ. ටරන්ටෝ (1,80,500) නාවික තොටකි. ෆොජියෝ (1,09,100) දුම්රිය සන්ධිස්ථානයකි. මිදි ආදි මධ්‍යධරණී පලතුරු, ධාන්‍ය වර්ග, කපු සහ දුම්කොළ වැවීම ද ගව, එළු, බැටළු, ඌරු ආදි සතුන් ඇති කිරීම ද මසුන් මැරීම ද ප්‍රධාන රක්ෂායි. ගාර්ගානෝ කඳුකරයෙහි ඇලුමිනියම් හාරනු ලැබේ. ඇතැම් නගරවල රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය දියුණු වෙමින් පවතී.

රෝම රාජ්‍යයේ වැටීමෙන් පසු ගොත්, ලොම්බාඩ් සහ බයිසැන්ටයින් යන ජාතිකයනට අයිති වූ මේ පළාත 11 වැනි හා 12 වැනි සියවස්වල දී නෝමන්වරු අත් කරගත්හ. එහි මුහුදු තීරය නොයෙක් කාලවල දී තුර්කිවරුන් සහ වැනිසිවරුන් සතුව පැවැත්තේය. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ග්‍රීක, අරාබි, නෝමන් ආදි ගෘහනිර්මාණශිල්පයන්ගේ ලක්ෂණ පෙන්වයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපූලියා&oldid=10934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි