ඇපෙලීස්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:45, 17 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Apelles). ක්‍රි.පූ. සිව්වැනි සියවසේ අග කොටසෙහි ජීවත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Apelles). ක්‍රි.පූ. සිව්වැනි සියවසේ අග කොටසෙහි ජීවත් වූ ශ්‍රෙෂ්ඨ ග්‍රීක චිත්‍රශිල්පියෙකි. සිසියොන් නගරයේ පැම්ෆිලස් (Pamphilus) වෙතින් චිත්‍ර ශිල්පය හැදෑරූ ඔහු ඩෝරික් හා අයෝනික් චිත්‍ර සම්ප්‍රදායයන්ගේ සංකලනයක් ඇති කළේය. කල් යෑමේ දී ඇපෙලීස් මැසිඩෝනියාවේ රාජකීය චිත්‍රශිල්පී තනතුරට පත් විය. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ප්‍රතිරූප කිහිපයක් ම ඔහු අතින් නිමැවිණ. මේ හැර ක්ලයිටස්, ඇන්ටිගෝනස් ආදීන්ගේ ප්‍රතිරූප ද, ග්‍රීසියේ ඉමහත් ප්‍රශංසාවට භාජන වූ, ඇෆ්‍රොඩයිටී දෙව්දුවගේ පහළ වීම පිළිබිඹු කරන, චිත්‍රයක් ද ඇපෙලිස්ගේ උසස් කලාකෘතීන් අතර වේ. මේ සියල්ලක් ම විනාශ වී ඇති හෙයින් ඔහුගේ චිත්‍ර ශෛලිය ගැන වැඩි විස්තරයක් කළ නොහැකියි. ඇපෙලීස් සියුම් රේඛා රචනයෙහි දක්ෂයෙකැයි ප්‍රකටය. ඔහු තම සිතුවම් මතුපිට ඔප දැමීම නිසා ඒවායේ අලුත් බව ආරක්ෂා වූ අතර ම වර්ණයන්ගේ මෘදුගතියක් ද ඇති විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපෙලීස්&oldid=10939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි