ඇපොලෝනියස්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:49, 17 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(පෙර්ගාවේ ඇපොලෝනියස්) ක්‍රි.පූ. 220 පමණ කාලයේ දී ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පෙර්ගාවේ ඇපොලෝනියස්) ක්‍රි.පූ. 220 පමණ කාලයේ දී සුළු ආසියාවේ පෙර්ගා නගරයෙහි විසූ ශ්‍රෙෂ්ඨ ග්‍රීක ගණිත විද්‍යාඥයෙකි. ආකිමිඩීස්ගෙන් පසුව ඇලෙක්සැන්ඩියානු විද්‍යාඥ පරපුරේ ප්‍රමුඛ ස්ථානය මොහුට හිමි විය.

එක ම කේතුවකින් (ඍජු හෝ වේවා විෂම හෝ වේවා) කේතුක (conic sections) වර්ග තුන ම ලබා ගත හැකි බව ඇපොලෝනියස් පෙන්වා දුන්නේය. විශේෂයෙන් ම ඔහු සිහිපත් කෙරෙනුයේ ඔහුගේ 'කේතුකයෝ' (Conic Sections) නම් වූ රචනාව නිසාය. මූලික කේතුවේ කෝණය නමින් ඔහුට කලින් භාවිතයේ පැවති කේතුක වර්ග තුනට ඔහු යෙදූ ඉලිප්සය (ellipse), පරාවලය (parabola) හා බහුවලය (hyperbola) යන පද ස්ථීර විය. කේතුකයන්ගේ ලක්ෂණ ඇතුළත් වන සාමාන්‍ය ජ්‍යාමිතික නියම අපට ලැබෙනුයේ ඇපොලෝනියස්ගෙනි.

ජ්‍යාමිතිය සම්බන්ධයෙන් විසඳිය යුතු ප්‍රශ්න දෙකකට ආකිමිඩීස් හා ඇපොලෝනියස් යන දෙදෙනා විසින් මුල පුරන ලදි. එදා පටන් ජ්‍යාමිතිය පිළිබඳ විද්‍යාඥයෝ මේ ප්‍රශ්න විසඳීමේ යෙදී සිටිති. වක්‍රවලින් මායිම් වූ රූපයන්ගේ වර්ගමාතිය (quadrature) ඉන් පළමුවැන්නයි. පසු කාලයෙහි දී මෙයින් අත්‍යණුක කලනය (infinitesimal calculus) ඇති විය. කේතුකයන් පිළිබඳ සිද්ධාන්තය (theory of conic sections) දෙවැන්නයි. මෙයින් සෑම මාත්‍රවල ම ජ්‍යාමිතික චක්‍රයන් පිළිබඳ වාදය ඇති විය.

ග්‍රන්ථ අටකින් සමන්විත කොට ලියන ලද 'කේතුකයෝ' කෘතිය නිසා ඇපොලෝනියස් 'මහා ජ්‍යාමිතිඥ' නමින් ප්‍රකට විය. මේ කෘතිය හැර ඔහු විසින් ජ්‍යාමිතිය පිළිබඳව තවත් අගනා ග්‍රන්ථ රාශියක් කරන ලද බව පෙනේ. එම ග්‍රන්ථ දැනට අවිද්‍යමාන වුව ද ප්‍රෝක්ලස්, ටොලමි, යුටෝසියස් ආදි පැරණි ලේඛකයන්ගේ කෘතිවල ඒවා ගැන සඳහන් වී තිබීමෙන් ජ්‍යාමිතියේ විකසනයට ඔහුගෙන් කෙතරම් සේවයක් ඉටු වී දැයි අපට සලකාගත හැකිය. යූක්ලිඩ් හා ආකිමිඩීස් වැනි ස්වකීය පූර්වගාමීන්ගෙන් ආභාසය ලබා ඔවුන්ගේ ඇතැම් සිද්ධාන්ත වඩා නිවැරදි බවට පැමිණවීමට ඔහු වෙහෙස ගෙන ඇත. ඇපොලෝනියස් විසින් ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද අපිවක්‍ර (epicycles) සිද්ධාන්තය පිළිගත්, අතීතයේ 'ශ්‍රෙෂ්ඨතම නක්ෂත්‍ර විද්‍යාඥයා' හැටියට ප්‍රසිද්ධියට පත්ව සිටි හිපාකස් එය වැඩිදුරටත් දියුණු කළේය. පසු කල ටොලමෛක සිද්ධාන්තය නමින් දන්නා ලද්දේ මේ සිද්ධාන්තයේ ම විකසනයකි. (ඇපලෝනියස් ප්‍රමේයය බ.)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපොලෝනියස්&oldid=10947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි