එඩ්වඩ් කුමාර දූපත
(Prince Edward Island). සෙන්ට් ලෝරන්ස් බොක්කේ පිහිටා ඇති දූපතකි. මෙය කැනඩාවේ කුඩා ම පළාතය. නෝතම්බර්ලන්ඩ් සමුද්‍රසන්ධිය මගින් නිව් බ්‍රන්ස්වික් පළාතෙන් හා නෝවා ස්කෝෂා පළාතෙන් වෙන් වී ඇති, කලින් සෙන්ට් ජෝන් දූපත යනුවෙන් හැඳින්වුණු මෙය 1798 දී වික්ටෝරියා රැජනගේ පියා වූ කෙන්ට්හි ආදිපාදයාණන්ගේ නාමය අනුව එඩ්වඩ් කුමාර දූපත යි නම් කරන ලදි. භූමිදර්ශන ආදියෙන් උයනක සිරි උසුලන බැවින් හා මෙහි භූමි ප්‍රදේශයෙන් සියයට අසූ පහක් ම ගොවිතැනට යෝග්‍ය බැවින් මෙය 'මුහුදුබොක්කේ උයන' (The Garden of the Gulf) යනුවෙන් ද හඳුන්වති.
මේ දිවයිනෙහි ප්‍රමාණය ව.සැ. 2,184කි. ජනගහනය (1951) 98,429කි. ෂාර්ලට්ටවුන් නගරය මෙහි අගනුවර මෙන් ම විශාලතම නගරය ද වේ. කිංස් කෝරළය (ප්‍රධාන නගරය - ජෝජ් ටවුන්), ප්‍රින්ස් කෝරළය (ප්‍රධාන නගරය - සමර් සයිඩ්), ක්වීන්ස් කෝරළය (ප්‍රධාන නගරය - ෂාර්ලට්ටවුන්) යනුවෙන් මෙය කෝරළ තුනකට බෙදී තිබේ.
අර්ධ චන්ද්‍රාකාර හැඩයෙන් යුත් මේ දිවයිනෙහි ගැඹුරු මුහුදු බොකු බෙහෙවි. උසින් අඩි 500ක් පමණ වූ ක්වීන්ස් කවුන්ට් කඳුවැටිය මුහුදු මට්ටමේ සිට ඉහළ ම පෙදෙසයි. මෙහි විල් නැත. ගංගා දීර්ඝ නොවුව ද පුළුල්ය. බ්රූඩනල්, කාර්ඩිගන්, ඩන්ක්, මොන්ටේගු, නෝත්, වෙස්ට් හිල්ස්බරෝ යනු ප්‍රධාන ගංගාවෝයි. මේ දිවයිනෙහි ජාතික උද්‍යානයක් ද වේ.
මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ශීත ඍතුවේ දී ෆැරන්හයිට් 170ක් පමණ ද උෂ්ණ සෘතුවේ දී ෆැරන්හයිට් 650ක් පමණ ද වේ. වාර්ෂික වර්ෂාපතනය අඟල් 40ක් පමණය. දිවයින වටා පිහිටි මුහුදු බොකුවල සහ සමුද්‍ර සන්ධිවල උණුසුම් ජලය හේතුකොටගෙන මෙහි දේශගුණය කැනඩාවේ දේශගුණයට වඩා සෞම්‍යය.
එඩ්වඩ් කුමාර දූපතේ භූමි ප්‍රදේශයෙන් වැඩි හරියක් ම ගොවිතැනට හිතකරය. සියයට 85ක් ම ගොවිතැන සඳහා යොදා තිබේ. දිවයින මුළුල්ලේ පැතිරී ඇති රතු ලෝම් පස අගනා ස්වාභාවික සම්පතකි. මේ පස වැලිගල් තට්ටුවක් මත රඳා පවත්නා නිසා පැළෑටි මුල් කිට්ටුව ම ජලය රැඳේ. අර්තාපල් වගාව මෙහි ප්‍රධාන ගොවිතැනයි. ඕට්, බාර්ලි, තිරිඟු වැනි ධාන්‍ය සහ ට'නිප්, බීට් ආදි එළවළු වර්ග ද සමෘද්ධව වැවේ. ඇපල් සහ ස්ට්‍රෝබෙරි මෙහි විශාල ලෙස වවනු ලැබේ. දිවයිනෙහි ධීවර කර්මාන්තය තරමක් සැලැකිය යුතු ආදායම් මාර්ගයකි. බටර්, කේජු වැනි ආහාර ද්‍රව්‍ය සෑදීම සහ ඒවා ඇහිරීම ප්‍රධාන කර්මාන්තයි. ලීමෝල් කර්මාන්තය ද දියුණුවට පත්වූවකි.
එඩ්වඩ් කුමාර දූපත හා සම්බන්ධ ප්‍රදේශ ආණ්ඩුවේ බලතල කැනඩාවේ අනික් ප්‍රදේශ ආණ්ඩුවල බලතල මෙනි. එක් ආයතනයකින් සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලය මන්ත්‍රීවරුන් තිස්දෙනකුන්ගෙන් යුක්තය. සාමාන්‍යයෙන්, ආණ්ඩුවේ ප්‍රධානයා මහආණ්ඩුව විසින් පත් කරනු ලැබ සිටින උපආණ්ඩුකාර තැන වුව ද විධායක කටයුතු භාරව ඇත්තේ අගමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකටය. මේ දිවයිනේ කැනේඩියානු මහජන මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් සතර දෙනකු තෝරා පත් කරගනු ලබන අතර ෆෙඩරල් උත්තර මන්ත්‍රී මණ්ඩලයට සෙනට් සභිකයන් සතර දෙනෙක් පත් වෙති.
1871 දී මෙහි දුම්රිය මාර්ගය ඉදි කිරීමට පෙර ප්‍රධාන රට සහ දිවයින අතර ගමනාගමනය කෙරුණේ රුවල් නැව් සහ දුම් නැව් මගිනි. ශීත සෘතුවේ දී නෝතම්බර්ලන්ඩ් සමුද්‍රසන්ධියෙහි දිය මිදෙන බැවින් එම කාලය තුළ දී ගමනාගමනය තැපැල් ගෙන යන අයිස් බෝට්ටුවලට පමණක් සීමා විය. කැනේඩියානු ජාතික දුම්රිය අංශය මගින් පාලනය වෙන යටකී දුම්රිය මාර්ගය සමුද්‍ර සන්ධිය තරණය කරන්නේ පාරු පාලමෙනි. දැන් මේ දිවයිනෙහි සැතපුම් පන්සියයක පමණ මහා මාර්ග වේ. සාමාන්‍ය පාරවල් දහස් ගණනකි. මැරිටයිම් සෙන්ට්‍රල් එයාර්වේස් නම් අහස් යානා සේවය මගින් ෂාර්ලට්ටවුන්, සමර්සයිඩ් යන නගරවල සිට මොනික්ටන්, නිව් බ්‍රන්ස්වික් යන නගර දක්වාත් නිව් ග්ලැස්ගෝ, හැලිෆැක්ස්, නෝවා ස්කෝෂා යන නගර දක්වාත් ගුවන් නැව් යාත්‍රා කරනු ලැබේ.
1534 දී ෂාක් කාත්‍යෙ නම් ප්‍රංස දේශසංචාරකයා විසින් පළමුව සොයාගන්නා ලද මේ දිවයින පසුව 'ඊල් සැං ෂාං' යනුවෙන් නම් කරන ලදි. 1713 දී ප්‍රංස ආණ්ඩුව විසින් ෂාර්ලට්ටවුන් සහ ජෝජ්ටවුන් යන නගර අසල ජනාවාස පිහිටුවන ලදි. 1749 හා 1755 යන වර්ෂයන් අතර කාලය තුළ දී දෙදහසක් පමණ ආකේඩියන්වරුන් පිරිසක් නෝවා ස්කෝෂා පළාතේ සිට මේ දිවයිනට සංක්‍රමණය වූහ. 1758 දී මෙය බ්‍රිතාන්‍යයට අත්වීමෙන් පසු ආකේඩියන්වරු නෙරපන ලදහ. 1763 දී නෝවා ස්කෝෂා යටත්විදේශයේ කොටසක් බවට පත් කරනු ලැබූ එඩ්වඩ් කුමාර දූපත 1769 දී වෙන ම යටත් විදේශයක් බවට පමුණුවන ලදි. මීට යටත් විදේශ ස්වතන්ත්‍ර ආණ්ඩු ක්‍රමය ලැබුණේ 1851 දීය. මෙය 1873 දී කැනඩා සමූහාණ්ඩුවට සම්බන්ධ විය.
(සංස්කරණය: 1974)