එතිලීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:12, 30 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(එතීන්). ඔලිපීන (බ.) හයිඩ්‍රොකාබන පවුලේ ප්‍රථම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(එතීන්). ඔලිපීන (බ.) හයිඩ්‍රොකාබන පවුලේ ප්‍රථම සාමාජිකයායි. C2H4 රසායනික සූත්‍රයෙන් එය හඳුන්වනු ලැබේ. සාමාන්‍ය උෂ්ණත්වය හා පීඩනය යටතේ වායු අවස්ථාවේ පවතින මෙහි සිත් පිනවන සුවඳක් ඇත. පැහැයක් නොමැත. පැට්රෝලියම් (බ.) බිඳීමේ දී ඉවත් වන වායුවල සංඝටකයක් බැවින් අතුරුඵලයක් වශයෙන් නිපදවා ගත හැකිය. තාපාංකය සෙ. -103.7°කි. වායුගෝලීය පීඩනය යටතේ ද්‍රවාංකය සෙ. -169.1°කි. වායුගෝලීය පීඩන 50 පමණේ දී සෙ. 10°ක පමණ උෂ්ණත්වය යටතේ මෙය ද්‍රව අවස්ථාවේ තබාගත හැකිය. දීප්ත දැල්ලක් දෙමින් වාතයේ දහනය වන එතිලීන්, වාතය සමග එකතුවීමෙන් ස්ඵෝටනය වන වායු මිශ්‍රණයක් සෑදේ.

එතිලීන්වල කාබන් පරමාණු දෙකක් තිබේ. මෙම කාබන් පරමාණු දෙක ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වී තිබේ. මෙම ද්විත්ව බන්ධනයෙන් එකක් ó-බන්ධනයකි. එනම් sp2 දෙමුහුමට යටත් වූ කාබන් පරමාණු දෙකක දෙමුහුන් වූ කවච දෙකක් කෙළින් ම අතිච්ඡාදනය වීම නිසා ඇති වන බන්ධනයකි. අනෙක් බන්ධනය π-බන්ධනයකි. එනම් දෙමුහුමට භාජන නොවූ 2p උපකවච පාර්ශ්විකව අතිච්ඡාදනය වීම නිසා ඇති වන්නකි. π-බන්ධනය පහසුවෙන් බිඳීමට පිළිවන් හෙයින් එතිලීන් අසන්තෘප්තය.

සෙ. 160°-170° පමණ උෂ්ණත්වයක දී සාන්ද්‍ර සල්පියුරික් අම්ලයට එතිල් මද්‍යසාරය යෙදීමෙන් රසායනාගාරයේ දී එතිලීන් නිපදවාගනු ලැබේ. මෙම ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැත. අම්ලය මෙහි දී උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කරතැයි වැඩිදෙනා පිළිගනිති. සිදුවිය හැකි අතුරු ප්‍රතික්‍රියා නිසා අම්ලයෙන් කොටසක් සල්පර්ඩයොක්සයිඩ් (SO2) ගෙනදෙමින් වියෝජනය වේ. නිදහස් වන වායු මිශ්‍රණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුළින් බුබුලනය කිරීමෙන් අපද්‍රව්‍ය වශයෙන් ඇති S02 ඉවත් කළ හැකිය. ප්‍රතික්‍රියාවේ දී ඉවත් වන ජලය නිසා සල්පියුරික් අම්ලය තනුක වීමෙන් නිර්ජලකාරකයක් වශයෙන් ක්‍රියා කිරීමට සල්පියුරික් අම්ලයට ඇති හැකියාව ටික වේලාවක දී හීන වේ.

සෙ. 420°ට පමණ රත් කරන ලද ඇලුමිනා කැටිති මතින් එතිල් මද්‍යසාර වාෂ්ප ගමන් කරවීමෙන් සංශුද්ධ එතිලීන් නිපැදවිය හැකිය. වාණිජ අවශ්‍යතාවන් සඳහා එතිලීන් නිපදවාගනු ලබන්නේ එතේන් හා ප්‍රොපේන් තාපවිච්ඡේදනයට භාජන කිරීමෙනි.

එතිලීන් තනුක සල්පියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් එතනෝල් ලැබේ. ක්ලෝරීන් හා බ්රෝමීන් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් අනුරූප හේලයිඩ ලබාගත හැකිය. රිදී උත්ප්‍රේරකයක් ඇති විට සෙ. 200°-400° පමණ උෂ්ණත්වයේ දී වායුගෝලයේ ඇති ඔක්සිජන් මගින් එතිලීන් ඔක්සිකරණය කිරීමට පිළිවන. මෙහි දී එතිලීන් ඔක්සයිඩය සෑදේ. 88888888888888888888888888888888888888888 එතිලීන් ඔක්සයිඩය හිම දිය කරන ද්‍රව්‍යයක් වශයෙන් ද තීන්ත වර්ග, ප්ලාස්ටික් වර්ග හා ක්ෂාලක (detergents) නිපැදවීමේ දී ද උපයෝගී කරගනු ලැබේ. ලැකර් වර්ග හා වාර්නිෂ් නිපැදවීමේ දී ද්‍රාවකයක් වශයෙන් යොදාගනු ලබන සෙලෝසෝල්ව් (cellosolve) නිපදවනු ලබන්නේ එතිලීන් ඔක්සයිඩය ඇල්කොහොල් විච්ඡේදනයට භාජන කිරීමෙනි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයක් වශයෙන් ඇති විට එතිලීන්, බෙන්සීන් සමග ප්‍රතික්‍රියාවේ යෙදීමෙන් එතිල් බෙන්සීන් ලැබේ. එතිල් බෙන්සීන් හයිඩ්රජන්හරණය කිරීමෙන් ස්ටයිරීන් (styrene) ලැබේ. ස්ටයිරීන් වූකලි කෘත්‍රිම රබර් හා ප්ලාස්ටික් වර්ග නිපැදවීමේ දී යොදාගනු ලබන ද්‍රව්‍යයකි. එතිලීන් බහුඅවයවීකරණයෙන් පොලි-එතිලීන් හෙවත් පොලිතීන් නිපදවා ගත හැකිය. 8888888888888888888888888888888888888888 වායුගෝලීය පීඩන 1000ක පමණ පීඩනයක් යටතේ මඳ ප්‍රමාණයක් ඔක්සිජන් ඇති විට ඉහළ උෂ්ණත්වයක දී මෙම බහුඅවයවීකරණය සිදු වේ. පොලි-එතිලීන් වූකලි ප්ලාස්ටික් වර්ගයකි. මෙම ප්ලාස්ටික් වර්ගය අම්ල හා භස්ම මගින් ද පොදු කාබනික ද්‍රාවණ මගින් ද කරනු ලබන පහර දීම්වලට ඔරොත්තු දේ.

පලතුරු වර්ග එතිලීන් වායුවට නිරාවරණය කිරීමෙන් ඉදවිය හැකිය. මේ නිසා අමු පලතුරු වර්ග වෙළඳපොළට ප්‍රවාහණය කිරීමෙන් අනතුරුව ගබඩාවල දී දින කීපයක් එතිලීන් වායුව වැදීමට හැරීමෙන් හොඳින් ඉදේ. ස්වාභාවිකව ඉදුණු පලතුරුවල හා මෙම පලතුරුවල වෙනසක් හඳුනාගැනීමට නොහැකි තරම්ය. වේදනානාශකයක් වශයෙන් ද එතිලීන් යොදාගනු ලැබේ. මෙම වායුව ආශ්වාස කිරීමෙන් ඉක්මනටත් අපහසුවක් නොමැතිවත් විසංඥභාවය ඇති වේ. එසේම නැවත සිහිය එම ද අපහසුවක් නොමැතිව සිදුවුවත් එතිලීන් වාතය සමඟ මිශ්‍රවීමෙන් පහසුවෙන් ස්ඵෝටනය වනසුලු මිශ්‍රණ සෑදෙන නිසා ප්‍රායෝගික වශයෙන් වේදනානාශකයක් වශයෙන් එතිලීන් යොදාගැනීමේ දී දුෂ්කරතා මතු වේ. ග්ලයිකෝල්, ඩයොක්සැන් (dioxan) වැනි ද්‍රාවක නිෂ්පාදනයේ දී ද මස්ටඩ් වායුව නිපැදවීමේ දී ද එතිලීන් උපයෝගී කරගනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එතිලීන්&oldid=10960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි