එක්සත් ජාතීන්ගේ ආධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:36, 8 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(එ.ජා.ආ.වි.සං.ස.) (UNESCO). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(එ.ජා.ආ.වි.සං.ස.) (UNESCO). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝව විශේෂිත ආයතන තෙළෙසින් පෘථුලතම ආයතනයයි. සාමාජික රටවල් එකසිය තිස්හතරකින් (1974) සැදුම් ලත් අන්තර් රාජ්‍ය ආයතනයක් වූ 'එජාආවිසංස'ය අන් විශේෂිත ආයතන මෙන් එක් කාර්‍ය්‍යක්ෂේත්‍රයකට පමණක් සීමා නොවේ. ජාති, භාෂා, ආගම් හෝ ස්ත්‍රී පුරුෂාදී භේදයක් නොමැතිව, සාධාරණත්වයත් නීතියේ මහිමයත් මානව අයිතිවාසිකම් හා මූලික නිදහසත් සම්බන්ධයෙන් ලෝකයා තුළ ගරු සැලකිල්ල වර්ධනය කිරීම අරභයා අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතිය මාධ්‍යය කොටගෙන ජාතීන් අතර සහයෝගය වැඩි දියුණු කිරීමෙන් ලෝකයේ සාමය හා ආරක්ෂාව විෂයෙහි සේවයක් ඉටු කිරීම මෙම සංවිධානයේ පරමාර්ථයයි. අන්තර්ජාතික වශයෙන් බුද්ධි විෂයක සහයෝගය වැඩි දියුණු කිරීම, සාමාජික රටවලට ආධාර සැපයීම හා ජනතාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ලබා දී මානව අයිතිවාසිකම් ආරක්ෂා කොට සාමය උදාකිරීම සම්බන්ධයෙන් මේ ආයතනය පානා අවධාරණයත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ගයත් ව්‍යවස්ථා මාලාවෙහි එන "යුද ගැටුම් ඇරඹෙන්නේ මිනිසාගේ සිත්සතන් තුළින් බැවින් සාමයේ රැකවරණ ගොඩනැගිය යුත්තේ ද මිනිසාගේ සිත් සතන් තුළය" යන ආරම්භ වාක්‍යයෙන් මොනවට පැහැදිලි වෙයි.

ආරම්භය

ඒ ඒ රටවල අධ්‍යාපනය නඟාලීමට විශේෂයෙන් දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් විනාශයට පත් රටවල අධ්‍යාපන ක්‍රමය පුනරුත්ථාපනය කිරීමට අන්තර්ජාතික වශයෙන් ගත යුතු පියවර කවරේද යන්න ගැන සලකා බැලීම සඳහා 1942-45 කාලය මුළුල්ලේ පැවැත්වුණු, මිත්‍ර රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ රැස්වීම්වල දී ජාතීන්ගේ සංගමය (League of Nations ) බුද්ධි විෂයක සහයෝගතා ආයතනය (Institute of Intellectual Co-operation) විස්තාරිත ජාත්‍යන්තර සංවිධානයක් බවට පමුණුවාලීමේ අදහස ඉදිරිපත් විය. එජාආවිසංසයේ ආරම්භය පිළිබඳ මූල බීජය ලෙස සැලකිය හැක්කේ එම අදහසයි. ඊට අනතුරුව රටවල් හතලිස් හතරක නියෝජිතයන් ලන්ඩනයේ දී රැස් වී සකස් කරගන්නා ලද ව්‍යවස්ථා මාලාව රාජ්‍ය විස්සක් විසින් පිළිගනු ලැබ 1946 නොවැම්බර් 4 වැනි දා පැරිසියේ දී මෙම සංවිධානය නිල වශයෙන් ඇරඹිණි.

පරිපාලනය හා කාර්යමණ්ඩලය

එජාආවිසංසයේ ප්‍රධාන බලමණ්ඩලය වූකලි සාමාජික රටවල් එකසිය තිස්හතරට එක ඡන්දය බැගින් ඇති මහා සම්මේලනයයි. විධායක මණ්ඩලය තෝරනු ලබන්නේත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරනු ලබන්නේත් දෑවුරුදු කාලසීමාවක් සඳහා වැඩ සටහන් හා අයවැය ලේඛනය නිශ්චය කරනු ලබන්නේත් එම සම්මේලනය මගිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇති පරිද්දෙන් එක් එක් සාමාජික රට අයවැය ලේඛනයට මුදල් සපයයි. 1971-72 වර්ෂය සඳහා පිළියෙල කරන ලද එජාආවිසංසයේ අයවැය ලේඛනයෙහි මුදල් ප්‍රමාණය ඩොලර් 89,898,560කි. පැරිසියේ පිහිටා ඇති, එජාආවිසංසයේ විධායක ආයතනය වූ මහා ලේකම් කාර්යාලය අධ්‍යක්ෂවරුන්, විශේෂඥයන්, පරිපාලන නිලධාරීන් ආදීන්ගෙන් යුත් වෘත්තීය මාණ්ඩලික සාමාජිකයන් 1,660 දෙනකුන්ගෙන් සමන්විත වෙයි. ලිපිකරු හා කාර්මික කාර්ය මණ්ඩලය 1,400 දෙනකුන්ගෙන් යුක්තය. එජාආවිසංසයේ ලෝකව්‍යාප්ත වැඩ පිළිවෙළවල් ක්‍රියාවේ යෙදවීමේ පහසුව උදෙසා බොහෝ සාමාජික රටවල් ජාතික කොමිසම් පිහිටුවා ඇත. මේ හැරුණු විට මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනිකුත් ආයතන හා සමඟ මෙන් ම අන්තර්රාජ්‍ය සංවිධාන හා වෙනත් සංවිධාන හා සමඟ ද සමීප සම්බන්ධතාවකින් යුතුව ක්‍රියා කරයි.

කාර්යාවලිය

එජාආවිසංසයේ හැම කාර්යයක ම පදනම වනුයේ දැනුම, අත්දැකීම් හා අදහස් හුවමාරුව මගින් අන්තර්ජාතික වශයෙන් බුද්ධිවිෂයක සහයෝගය වැඩිදියුණු කිරීමයි. මෙම සංවිධානයේ නිත්‍ය සම්බන්ධකම් පවත්වන ජාතික සංවිධානවලට හා ජාත්‍යන්තර සංවිධානවලට අයත් අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන්, කලාකරුවන්, ලේඛකයන් සමාජ විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් විශාල පිරිසක සහයෝගය මේ කාර්යයෙහි ලා නොඅඩුව ලැබේ. ලෝකයේ නොයෙක් රටවල විශේෂඥ සාකච්ඡා සම්මේලන හා රැස්වීම් සංවිධානය කිරීම, ජාත්‍යන්තර විද්‍යාප්‍රයත්න සමායෝජනය කිරීම, විවිධ සංවිධානවලට ආධාර සැපයීම, මූලාශ්‍රය ග්‍රන්ථ හා ආශ්‍රය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන සමූහයක් ප්‍රසිද්ධ කිරීම, ජාත්‍යන්තර ගිවිසුම් ඇති කිරීම ආදී කටයුතු එජාආවිසංසයේ කාර්යාවලියට ඇතුළති. සාමය, මානව අයිතිවාසිකම් හා අන්‍යෝන්‍ය අවබෝධය තරකිරීමේ විශේෂ වැඩසටහන් ද මේ මගින් ක්‍රියාත්මක වෙයි. ජාතිභේද ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීම, විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම, එක්සත් ජාතීන් පිළිබඳ දැනුමක් ලබාදීම ජාත්‍යන්තර අවබෝධය ඇති කිරීම මේ වැඩසටහන්වලින් කීපයකි. 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගන්නා ලද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එජාආවිසංසයේ සහයෝගය ඇතුව කෙටුම්පත් කරන ලද්දකි. එජාආවිසංසයේ සෑම කාර්යයක දී ම දැනුම පුළුල් කිරීමත් එම දැනුම මිනිසාගේ යහපත උදෙසා උපයෝගී කරගැනීමත් විශේෂයෙන් එය ලෝකයේ ජනතාවන් අතර අවබෝධයේ හා සහයෝගයේ පදනම කරගැනීමත් කෙරෙහි විශේෂ අවධානය යොමු වෙයි. එහි ප්‍රධාන කාර්යක්ෂේත්‍රයන් පිළිබඳ සංක්ෂේප විස්තරයක් පහත දැක්වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය මූලික මානව අයිතිවාසිකමක් පමණක් නොව සංවර්ධනයට අත්‍යාවශ්‍යක ආයෝජනයක් වශයෙන් ද දැන් සලකනු ලැබේ. එහෙත් දැනට ලෝකයේ ප්‍රාථමික හා ද්විතීයක පාසැල් වියෙහි පසුවන ළමා ජනගහනයෙන් පාසැල් අධ්‍යාපනය ලබනුයේ සියයට හැටදෙනෙකි. වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් කොටසකට කියවීමට හෝ ලිවීමට නුපුළුවන. ජනගහනයේ වැඩිවීම නිසා මේ තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙයි. එසේ වුවද එජාආවිසංසය මගින් ඒ ඒ රටවල ක්‍රියාත්මක කෙරෙන නොයෙකුත් අධ්‍යාපන යෝජනා හේතුකොටගෙන එම සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය අඩු වෙමින් පවතී. ගුරුවරුන් පුහුණු කිරීම (ලොව පුරා ගුරු අභ්‍යාස යෝජනා ක්‍රම තිහකටත් වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලැබේ), පාසැල් ඉදිකිරීම, පාසැල්වලට මුදල් සැපයීම හා පරිපාලනය, මැනැවින් සකස් කළ විෂයමාලා සම්පාදනය කිරීම, පාඨග්‍රන්ථ හා වෙනත් අධ්‍යාපන උපකරණ සැපයීම යන කටයුතු අතින් එජාආවිසංසය තම සාමාජික රටවලට ආධාර සපයයි.

විද්‍යාව

මෑත වර්ෂවල දී එජාආවිසංසයේ කාර්ය මාලාවේ ඉතා ශීඝ්‍ර ලෙස පුළුල් වෙමින් පවත්නා අංශය වනුයේ විද්‍යාවිෂයයෙහි වූ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමයි. විද්‍යා ප්‍රතිපත්තිය, විද්‍යාතොරතුරු සැපයීම හා මූලික පර්යේෂණ, විද්‍යා අධ්‍යාපනය, තාක්ෂණික විද්‍යා පුහුණුව හා පර්යේෂණ, පරිසර විද්‍යාව හා ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම යනුවෙන් අංශ තුනකින් විද්‍යා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන් එජාආවිසංසය මූලික පාසැලේ පටන් විශ්වවිද්‍යාලය දක්වා මූලික විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීමට සාමාජික රටවලට ආධාර සපයයි. ජාත්‍යන්තර සහයෝගය වර්ධනය කිරීමෙහි ලා එජාආවිසංසය ආරම්භ කොට ඇති ඉතා සාර්ථක කර්තව්‍යයක් නම් සාගර විද්‍යාව හැදෑරීමට - ලෝකයේ සාගර සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට - ආධාර දීමයි. ලෝකයේ ස්වාභාවික සම්පත් අපතේ යෑම හා විනාශ කිරීම පිළිබඳව පර්යේෂණ පැවැත්වීම එජාආවිසංසයේ නව පර්යේෂණ ක්ෂේත්‍රයකි. විද්‍යාවත් තාක්ෂණික විද්‍යාවත් සංවර්ධන කටයුතු උදෙසා යොදාගැනීම විද්‍යා වැඩසටහනේ තවද අංගයකි. මීට අමතර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාරය ඇතිව උපදේශක දූත ගමන් මගින් හා ප්‍රාදේශික සම්මේලන මගින් ද විද්‍යාඥයන්, කාර්මිකයන් හා තාක්ෂණික විද්‍යාඥයන් පුහුණු කිරීමෙහි හා කාර්මික පර්යේෂණ වැඩිදියුණු කිරීමෙහි ලා සංවර්ධනය වෙමින් පවත්නා රටවල අවශ්‍යතාවන් සපුරාලීමට මේ සංවිධානය ආධාර සපයයි.

සමාජවිද්‍යාව මානවවිද්‍යාව හා සංස්කෘතිය

මානව සංහතියට සේවය කිරීමේ බුද්ධිවිෂයක හා ප්‍රායෝගික මාධ්‍යයක් වශයෙනුත් මානව සංහතිය මුහුණපා සිටින උග්‍ර සමාජ ප්‍රශ්න තේරුම්ගෙන ඒවා හැකි පමණින් විසඳනු පිණිස මිනිසුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් හා ජීවන ක්‍රම උපයෝගි කර ගැනීම උදෙසාත් සමාජ විද්‍යා වැඩසටහන මෙහෙයවනු ලැබේ. ජාති ප්‍රශ්න, මානව අයිතිවාසිකම් පිළිබඳ වෙනත් ප්‍රශ්න හා සාමය පිළිබඳ ප්‍රශ්න කෙරෙහි එජාආවිසංසය සෑහෙන තරමින් අවධානය යොමු කොට තිබේ. ප්‍රායෝගික සමාජවිද්‍යා වැඩසටහන එම විෂයයන්ගෙන් සමාජයට ඉටුවන සේවය සම්බන්ධයෙන් අධ්‍යයන පැවැත්වීමට කැප වී ඇත. මිනිසාගේ නාගරික හා ග්‍රාමීය පරිසරය විද්‍යාවේ හා තාක්ෂණික විද්‍යාවේ විශ්වසාධාරණත්වයට එරෙහිව පවත්නා සංස්කෘතික විෂමතා, තනි පුද්ගලයන් හා ජනතාවන් අතර අදහස් හුවමාරුවේ පදනම හා ස්වභාව යනු එම අධ්‍යයන ක්ෂේත්‍ර අතුරෙන් කීපයකි. එජාආවිසංසය මේ ක්ෂේත්‍රයන් යටතෙහි පර්යේෂණ පවත්වනු පමණක් නොව, ඒ සඳහා අනිකුත් ආයතනවලට ආධාර ද කරයි. විශේෂඥ සාකච්ඡා ද සංවිධාන කරයි; පර්යේෂණ වාර්තා ද ප්‍රකාශයට පමුණුවයි. සංස්කෘතිය වූ කලි වර්තමානයේ ප්‍රතිබිම්බයක් මෙන් ම අතීතයේ උරුමයක් ද වන්නේය. මේ ද්වන්ද්ව ලක්ෂණය එජාආවිසංසයේ සංස්කෘතික වැඩසටහන්වලින් මොනොවට පැහැදිලි වෙයි. එය ස්වායත්ත කලානිර්මාණයන්ට ධෛර්ය දෙන අතර ම සංස්කෘතික උරුමයන් රැකගැනීමට ද විශේෂ ආයාසයක් ගන්නා බැවිනි. අබු සිම්බල් ඇතුළු සිද්ධස්ථාන විසිදෙකක් අස්වාන් වේල්ලේ ජලාශයෙන් රැකගැනීමට ගෙන ගිය ව්‍යාපාරය නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.

අදහස් හුවමාරුව හා ප්‍රවෘත්ති සේවය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සෑම මානව අයිතිවාසිකමකට ම වඩා ප්‍රධාන වෙයි. එහෙත් ලෝක ජනගහනයෙන් රටවල් සියයකටත් වැඩි සංඛ්‍යාවක ජීවත්වන සියයට හැත්තෑවක් පමණ දෙනා පහසුකම් නොමැතිකමින් ලෝක සිද්ධි තබා තම රටේ සිදුවීම් වත් දැනගත නොහැකිව සිටිති. එජාආවිසංසයේ අදහස් හුවමාරු හා ප්‍රවෘත්ති සේවා වැඩ සටහනේ මුඛ්‍ය අදහස වනුයේ මේ තත්ත්වයට පිළියම් යෙදීමයි. ලේඛන හා චිත්‍ර මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමටත් අදහස් හුවමාරු කිරීමේ මාර්ග හා ඒවා ආධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික අරමුණු උදෙසා උපයෝගී කරගැනීමේ විධි දියුණු කිරීමටත් එජාආවිසංසය විශේෂ පරිශ්‍රමයක් දරයි. මේ අතර පතපොත සුලභ කිරීමේ දීර්ඝකාලීන වැඩසටහනක් අරඹා ඇතුවා පමණක් නොව 1972 වර්ෂය ජාත්‍යන්තර පොත් වර්ෂය වශයෙන් ප්‍රකාශයට පමුණුවන ලදි. සංවර්ධනය වෙමින් පවත්නා රටවල තොරතුරු සැපයීමේ පහසුකම් වඩාලන අටියෙන් පත්‍රකලාවේදීන් පුහුණු කිරීමට ද ජාතික ප්‍රවෘත්ති ආයතන හා පුවත්පත් බිහි කිරීමට ද විධිවිධාන යොදනු ලැබේ. එජාආවිසංසය ඇතුළු එක්සත් ජාතීන්ගේ අනෙකුත් ආයතන මානව සංහතියේ සුභසිද්ධිය උදෙසා මෙහෙයවන කාර්යයන් දැනුම් දීමෙන් ජාත්‍යන්තර අවබෝධය වැඩි දියුණු කිරීමේ පරමාභිප්‍රායයෙන් අරඹා ඇති තොරතුරු සැපයීමේ කටයුතුවලට ගුවන් විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට, සඟරා හා වෙනත් ප්‍රකාශන උපයෝගී කරගනු ලැබේ.

(සංස්කරණය: 1974)