එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල

සිංහල විශ්වකෝෂය වෙතින්
12:21, 15 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(United Nations Children's Fund - UNICEF). මෙය වූකලි දෙවෙනි ලෝක සංග්‍රාම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(United Nations Children's Fund - UNICEF). මෙය වූකලි දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් විනාශයට පැමිණි රටවල විපතට පත් ළමයින්ට හදිසි සහනාධාර සැපයීම සඳහා පිහිටුවන ලද්දකි. 1946 දෙසැම්බර 11 වෙනි දා ඇරඹුණු මෙම අරමුදලේ හදිසි ආධාර යෝජනා ක්‍රම නිමාවට පත් වූ කල්හි එහි වටිනා සේවය ගැන සලකා බැලූ මහාමණ්ඩලය විසින් 1953 දී එය ස්ථාවර ආයතනයක් වශයෙන් නොකඩවා පවත්වාගෙන යෑමට තීරණය කරන ලදි.

හත්සිය දෙනකුන්ගෙන් පමණ යුත් කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් ළමා අරමුදල පාලනය කරනු ලබන්නේ සාමාජිකයන් තිස් දෙනකුන්ගෙන් සමන්විත විධායක මණ්ඩලයක් මගිනි. ප්‍රතිපත්ති සකස් කිරීමත් යෝජනා ක්‍රමවලට ආධාර වෙන් කිරීමත් මෙම විධායක මණ්ඩලයෙන් ඉටු වෙයි. ආර්ථික හා සමාජ කවුන්සලයත් මහා මණ්ඩලයත් මගින් ආයතනයේ කටයුතු විමර්ශනය කරනු ලැබේ. විධායක මණ්ඩලයේ උපදෙස් අනුව මහලේකම් විසින් විධායක අධ්‍යක්ෂ පත් කරනු ලැබේ. මෙහි ප්‍රධාන කාර්යාලය එක්සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ලේ පිහිටා ඇති අතර යුරෝපය හා අප්‍රිකාව සඳහා පැරිසියෙහි ද ආසියාව සඳහා බැංකොක්හි ද නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශ සඳහා බේරූට්හි ද ඇමෙරිකාව සඳහා නිව් යෝක්හි ද ප්‍රාදේශික කාර්යාල පිහිටුවා ඇත. ළමා අරමුදල එක්සත් ජාතීන්ගේ සංගමයේ ම කොටසක් වුව ද ඊට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයවැය ලේඛනයෙන් නොව නොයෙක් රාජ්‍යවලිනුත් විවිධ සංවිධානවලිනුත් තනි පුද්ගලයන්ගෙනුත් ය. 1950 දී තිහකින් පටන්ගත් ආධාර සපයන රටවල් සංඛ්‍යාව 1970 දී 124 දක්වා වැඩි විය. ආශිංසන පත්‍ර අලෙවි කිරීම වැනි ව්‍යාපාර මගින් ද මීට මුදල් ලැබේ. ළමා අරමුදල විවිධ ක්ෂේත්‍රයන්හි ලා ඉටු කළ විශිෂ්ට සේවය සලකා 1965 දී එයට නොබෙල් ත්‍යාගය පිරිනමන ලදි. ඩොලර් 54,000ක් පමණ වූ ත්‍යාග මුදල ආයතනයේ යෝජනා ක්‍රම සඳහා ම යෙදවීමට විධායක මණ්ඩලය තීරණය කෙළේය.

ආධාර ලබන රටවල් ළමා අරමුදලේ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් වගකිවයුතු වේ. අරමුදලේ ආධාර අවසන් වූ පසු ද යෝජනාක්‍රම අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා කටයුතු සංවිධානය වී තිබේ. ළමා අරමුදල මගින් සැපයෙන ආධාර මෙසේ ප්‍රධාන අංශ පහකට බෙදා දැක්විය හැකිය.

රෝග මර්දනය

මැලේරියාව, ක්ෂය රෝගය, ලාදුරු, පරංගි, ට්‍රකෝමා ආදි බිහිසුණු රෝගයනට ගොදුරු වන අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවල ළමයින් එම රෝගයන්ගෙන් ආරක්ෂා කරනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව පුළුල් ව්‍යාපාරයක් ළමා අරමුදල විසින් අරඹන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය සංවර්ධනය වෙමින් පවතින රටවලට කාර්මික උපදෙස් හා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහයෝගය ලබාදෙන අතර ළමා අරමුදල කෘමිනාශක ද්‍රව්‍ය, බෙහෙත් විදින උපකරණ හෙවත් සිඤ්චක (Sprayers), විද්‍යාගාර උපකරණ, ශායනික උපකරණ, සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ, එන්නත් සාර හා වෙනත් ඖෂධ වර්ග, මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා අවශ්‍ය ජීප් රථ ආදි වශයෙන් භෞතික ආධාර සපයයි. ළමා අරමුදලේ ආදායම වැඩිවත් ම වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ආධාර සැපයෙන්නට විය. 1970 වන විට මේ අරමුදල මගින් තිස්හය කෝටියක් පමණ වූ ළමයින්ට ක්ෂයරෝග මර්දන එන්නත් ලබා දී ඇති අතර විසිතුන් කෝටියකටත් වැඩි ළමා පිරිසකට ට්‍රකෝමා නම් ඇස් රෝගයට ප්‍රතිකාර ලබා දී ඇත.

සෞඛ්‍ය සේවා

1950 දී ළමා අරමුදල මව්වරුන් හා ළදරුවන් උදෙසා ස්ථිර සෞඛ්‍ය සේවයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළකට මුල පිරීය. ළමා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය දෑ සපයා ඇතුවා පමණක් නොව ග්‍රාමීය සාත්තු සේවකයන්ගේ පටන් ළමාරෝග විශේෂඥයන් දක්වා වූ සෞඛ්‍ය සේවකයන් 150,000 දෙනකුන්ට අභ්‍යාස ශිෂ්‍යත්ව ලබා දී ඇත. සාමාන්‍ය ග්‍රාමීය බෙහෙත් ශාලාවල පටන් නවීන පහසුකම් ඇති අභ්‍යාස වාට්ටු දක්වා වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටුවා තිබේ. නූතන වෛද්‍ය පහසුකම් කොහෙත් ම නොමැති ප්‍රදේශවල පිහිටුවා ඇති මේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් හැත්තෑ කෝටියකටත් වැඩි පිරිසක් සේවය ලබයි. රටවල් 122ක මාතෘ හා ළදරු සෞඛ්‍ය මධ්‍යස්ථානවලට උපකරණ හා අනිකුත් අවශ්‍ය දෑ සපයා තිබේ. 1970 වන විට ග්‍රාමීය හා නාගරික සෞඛ්‍ය මධ්‍යස්ථාන 53,000කට හා අභ්‍යාස ආයතන 53,000කට පමණ ආධාර සපයා තිබේ.

සාගින්න හා කුපෝෂණය

සංවර්ධනය වෙමින් පවත්නා රටවල තත්ත්වය පසුගිය දසක කීපය තුළ ශීඝ්‍ර ලෙස වෙනස් වුව ද ඉතා ම මූලික මානුෂික ප්‍රශ්නය වූ සාගින්න තවමත් විසඳිය යුතු ප්‍රශ්නයක්ව පවතී. ඌන සංවර්ධිත රටවල මාංසජනක ධාතු, විටමින් පදාර්ථ හා වෙනත් පෝෂ්‍යජනක ආහාර ලැබෙනුයේ ඉතා සුළු ළමා පිරිසකටය. මේ ප්‍රශ්නය විසඳීමේ පියවරක් වශයෙන් ළමා අරමුදල විසින් පාසැල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් බෙදා හැරීම සඳහා පිටිකිරි සපයනු ලබන අතර මීට අමතරව ඉන්දියාවේ හා පකිස්ථානයේත් මැද පෙරදිග හා අප්‍රිකා මහාද්වීපයේ නොයෙක් රටවලත් ලතින් ඇමෙරිකාවේත් නූතන කිරිකම්හල් සමූහයක් පිහිටුවා ඇත. 1956 දී කිරි හිඟයක් ඇති වූ විට අන්‍ය ක්‍රමයකින් ආහාරවල පෝෂණ ගුණය ලබාදීමේ පුළුල් වැඩ පිළිවෙළක් ළමා අරමුදල මගින් ආරම්භ කරන ලදි. එනම් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් වෙනත් විද්‍යාත්මක හා කාර්මික කණ්ඩායම්වලත් සහයෝගය ඇතිව කපුඇට පිටි, රටකජු (පී නට්) පිටි, මත්ස්‍ය පිටි වැනි උසස් ගණයේ මාංසජනක ධාතු අඩංගු ආහාර වර්ග අලුතෙන් නිපදවීමයි. සාගින්න හා කුපෝෂණය තුරන් කිරීමේ ව්‍යාපාරයේ එක් පියවරක් වශයෙන් 1970 වර්ෂය අවසාන වන විට කිරිපිටි රාත්තල් සැත්තෑහය කෝටි පනස් ලක්ෂයක් ඌන සංවර්ධිත රටවල සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ළමා අරමුදල මගින් යවා ඇත.

සමාජ සේවා

සමාජ සේවා තර කිරීම උදෙසා ආධාර සැපයීම ළමා අරමුදල මගින් පටන් ගන්නා ලද්දේ 1959 දීය. දියුණු වෙමින් පවත්නා රටවල් කාර්මිකකරණය දෙසට නැඹුරුවීම හේතුකොටගෙන ගැමිජනයා නගර කරා යෑමෙන් චිරාගත ජීවන ක්‍රමය අඩපණ විය. පවුල් ජීවිතය වියවුල් විය. දරුවන් කෙරෙහි වූ සැලකිල්ල ක්‍රමයෙන් අඩුවන්නට විය. මෙසේ අඩපණ වූ ජීවන ක්‍රමය හා වියවුල් වූ පවුල් ජීවිතය නැවත ගොඩනැඟීමට ඉවහල් වන පරිද්දෙන් ළමා අරමුදල නොයෙක් මං සැලසීය. සෞඛ්‍යයට අහිතකර මුඩුක්කුවල වැසි ජනයාට වාසයට යෝග්‍ය පරිසරයක් ඇති කර දෙනු වස් යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරන ලද අතර ළමයින්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස සුභසාධක ආයතන පිහිටුවන ලදි. ග්‍රාමීය පෙදෙස්වල පවුල් ජීවිතයේ මට්ටම උසස් කරන අටියෙන් මව්වරුන් හා ගෘහිණීන් පුහුණු කිරීමේ යෝජනා ක්‍රම ද නොයෙකුත් ප්‍රජා සංවර්ධන කටයුතු ද අරඹා තිබේ.

අධ්‍යාපනය

ළමා අරමුදල මගින් පටන් ගන්නා ලද අලුත් ම යෝජනා ක්‍රමය වූකලි අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව විෂයයෙහි ආධාර සැපයීමයි. මේ සඳහා ළමා අරමුදලේ වැය ශීර්ෂයෙන් හතරෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත. ළමා අරමුදල මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනුයේ යුනෙස්කෝවේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමීප සහයෝගය ඇතිවය. අධ්‍යාපනය සම්බන්ධයෙන් පන්ති කාමරයේ දී භාවිත වන චාම් උපකරණ සඳහා පමණක් නොව පාඩම් පොත් මුද්‍රණය කරන මුද්‍රණාලයන් සඳහා ද ආධාර සැපයේ. වෘත්තීය මධ්‍යස්ථානවලට උපකරණ හා නොයෙකුත් ආම්පන්න සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද ගුරුවරුන් හා වෘත්තීය උපදේශකයන් පුහුණු කරවීම සම්බන්ධයෙන් ද විශේෂ පරිශ්‍රමයක් දරනු ලැබේ.

(සංස්කරණය: 1974)