එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙළ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:39, 15 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(U.N. Development Programme). කෘෂිකර්ම, කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(U.N. Development Programme). කෘෂිකර්ම, කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන සැලැස්මකරණ, පොදු සේවා, සමාජසේවා ආදි අංශයන්හි යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ඒ ඒ රටවල ආණ්ඩුවලට ආධාර දීම සඳහා පිහිටුවා ඇති එ.ජා. ආයතනයයි.

1965 දී එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ නිර්දේශය අනුව එවක පැවති විස්තාරිත කාර්මික ආධාර වැඩ පිළිවෙළ (Expanded Programme of Technical Assistance) හා එ.ජා. විශේෂ අරමුදල (U.N. Special Fund) එකතු කොට මෙම එ.ජා. සංවර්ධන වැඩ පිළිවෙළ පිහිටුවීමට තීරණය කරන ලදි.

සංවර්ධන වැඩ පිළිවෙළ මගින් ආධාර දෙනු ලබන්නේ විශේෂඥයන්ගේ සේවය සැපයීම හෝ අධිශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හෝ මගිනි. සාමාන්‍යයෙන් එ.ජා. සංවර්ධන වැඩ පිළිවෙළට අයත් යෝජනා ක්‍රම අංශ දෙකකට වැටේ. විශාල ප්‍රමාණයේ ප්‍රාග්-ආයෝජන කටයුතු විශේෂ අරමුදල් අංශයට අයත් වේ. විස්තාරිත කාර්මික ආධාර වැඩ පිළිවෙළ යටතේ මුල දී කරගෙන ගිය සුළු ප්‍රමාණයේ කාර්මික ආධාර යෝජනා ක්‍රම අනික් අංශයට වැටේ.

වැඩ පිළිවෙළෙහි ධන සම්පත්, එහි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කොට කරගෙන යාමට හවුලේ වගකීම උසුලන ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), යුනෙස්කෝ ආයතනය (UNESCO), ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ආයතනය (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුව (IBRD), ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU), ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) , ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සිය (IAEA), ජගත් තැපැල් සංගමය (UPU) හා අන්තර් ආණ්ඩු සමුද්‍රාසන්න සාකච්ඡා සංවිධානය (IMCO) යන ආයතනවලට බෙදනු ලැබේ.

මෙම ආයතනයෙහි ප්‍රතිපත්තිමය පාලනය එහි පාලක මණ්ඩලයේ සාමාජිකයන් තිස්හත් දෙනාගෙන් සිදු වේ. මොව්හු සංවර්ධිත හා සංවර්ධනය වන රටවල් අතුරෙන් තෝරාගනු ලබන්නාහු වෙත්. 1971 දී මෙම සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ ආධාර දීම සඳහා ඩොලර් කෝටි 45ක වැඩ යෝජනා කොට තිබිණි.

සංවර්ධන වැඩ පිළිවෙළෙහි දෛනික කටයුතු පරිපාලක නිලධාරියකු විසින් පාලනය කරනු ලැබේ. වර්තමාන පරිපාලක නිලධාරියා රුඩොල්ප් ඒ. පීටර්සන් මහතාය. ප්‍රධාන කාර්යාලය නිව් යෝක් නුවර පිහිටා ඇත.

1971 වර්ෂයේ දී වැඩ පිළිවෙළෙහි කටයුතු කරගෙන යාම පිණිස සාමාජික රාජ්‍ය 128ක් විසින් ඩොලර් විසිහතර කෝටියක් ප්‍රදානය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි. ලංකාවේ මහවැලි යෝජනා ක්‍රමය සැලසුම් කිරීමට කලින් ගෙනයන ලද පරීක්ෂණ කටයුතු වල දී එ.ජා. සංවර්ධන වැඩ පිළිවෙළේ හා එ.ජා. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ලැබුණේය.

1972 ජූනි මාසයේ දී එ.ජා. වැඩපිළිවෙළ කෘෂිකර්ම, මානව සම්පත්, කාර්මික කටයුතු හා ස්වාභාවික ධන සම්පත් සඳහා වූ ලංකාවේ තාක්ෂණික ආධාර වැඩ පිළිවෙළක් පිළිගනිමින් පස්වර්ෂයක කාලයක් තුළ දී එම සංවර්ධන කටයුතු සදහා වැයකිරීම පිණිස ඩොලර් එක්කෝටි පනස් ලක්ෂයක ආධාර මුදලක් අනුමත කෙළේය.

(සංස්කරණය: 1974)