මයිස්ටර් එක්හාර්ට්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:56, 19 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Meister Eckhart). 1260-1328. ජර්මන් ගූඪවාදයේ හෙවත් අත්‍රීන්ද්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Meister Eckhart). 1260-1328. ජර්මන් ගූඪවාදයේ හෙවත් අත්‍රීන්ද්‍රියවාදයේ (mysticism) පියා ලෙස සැලකෙන දේවධර්ම ශාස්ත්‍රඥයෙකි. ගෝතා අසල හෝක්‍හයිම්හි දී උත්පත්තිය ලැබූ මෙතෙමේ පැරිස්, ස්ට්‍රැස්බර්ග්, කො‍ලෝන් යන නගරයන්හි ප්‍රධාන ඩොමිනිකන් නිකායෙහි පූජාවරය ලබා පැරිස්හි දී දේවධර්ම ශාස්ත්‍රපති උපාධිය ලදුයේය. සැක්සනි ප්‍රදේශයේ නායක පූජක තනතුරට පත් කරනු ලැබූ ඔහු පසුව බොහිමියාවේ විකාර්-ජනරාල් පදවිය ද ලැබීය. සිය නිකායික ප්‍රතිසංස්කරණ නිසාත් වාග් චාතුර්යය නිසාත් විශේෂයෙන් ප්‍රසිද්ධියට පත් ඔහු පාසැල්වල අධ්‍යයනයෙහි මෙන් ම අධ්‍යාපනයෙහි ද යෙදුණේය.

දෙවියන්වහන්සේගේ ස්වභාවය ගැන ද දෙවියන්වහන්සේ හා සත්වයනුත්-විශේෂයෙන් ම මනුෂ්‍යාත්මයත්-අතර ඇති සම්බන්ධතාව ගැන ද එක්හාර්ට් ඉගැන්වූ දෑ ඔහුගේ ගූඪවාදී ධර්මයේ ප්‍රමුඛස්ථානය ගනී. දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ඉතා කිට්ටුවෙන් වැඩවසන සේකැයි යන හැඟීමෙන් උජ්ජ්වලිත වූ ඔහු අන්‍යයන්ට ද එය ඒත්තු ගැන්වීමට නන් අයුරින් වෙහෙස දැරීය. ඔහු ගිය ගිය තැන නූගත් නිහතමාන ජනයාට දේශනා කරමින් මනුෂ්‍යයා තුළ සැඟවී ඇති දිව්‍යමය ගිනි පුපුර සොයා මොළවා ගන්නා ලෙස ඔවුන්ට ඇවිටිලි කෙළේය.

එක්හාර්ට්ගේ රචනා ශෛලිය ක්‍රමවත් නොවුවද, සංකේතාත්මක ප්‍රකාශනවලින් ගහන වුව ද, එකල එතරම් දියුණුවක් ලබා නොතිබුණු භාෂාවකින් ගැඹුරු මත එතරම් සාර්ථක ලෙස ප්‍රකාශ කිරීමට ඔහුට හැකිවීම සැලකිය යුතු කරුණකි. ජර්මන් දාර්ශනික භාෂාව හැඩගැස්වීමේ ගෞරවය ඔහුට හිමි වේ.

(සංස්කරණය: 1974)