ආතර් ස්ටැන්ලි එඩිංටන්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:53, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1882-1944). බ්‍රිතාන්‍ය නක්ෂත්‍ර විද්‍යාඥයකු හා භෞත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1882-1944). බ්‍රිතාන්‍ය නක්ෂත්‍ර විද්‍යාඥයකු හා භෞතික විද්‍යාඥයකු වූ මෙතෙමේ 1882 දෙසැම්බර් 28 වෙනි දින එංගලන්තයේ කෙන්ඩල්හි උපත ලැබීය. මැන්චෙස්ටර් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා 1906 දී ග්‍රිනිච්හි රාජකීය වායුගුණ පරීක්ෂණාගාරයේ ප්‍රධාන සහකාර නිලධරයා බවට පැමිණි හේ 1913 සිට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි නක්ෂත්‍ර විද්‍යාව පිළිබඳ ප්ලූමියන් මහාචාර්යවරයා වශයෙන් ද 1914 සිට එහි වායුගුණ පරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කෙළේය. තාරකාවන්ගේ පරිණාමය, චලනය හා අභ්‍යන්තර ඝටනාව සම්බන්ධ අධ්‍යයන විෂයයෙහි එඩිංටන් ඉටු කළ සේවය ඉතා අගනේ විය.

එඩිංටන්ගේ මුල් ම ලේඛන තාරකා සංචලනය හා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විය. 1914 දී ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ ‘තාරකා සංචලන හා විශ්වයේ ව්‍යූහය’ (Stellar Movements and the Structure of the Universe) ප්‍රකාශයට පත් විය. තාරකාවන්ගේ අභ්‍යන්තරය සම්බන්ධව විමර්ශනයක් කළ හේ සූර්යයා ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නමුත් වායුමය බවත් තාරකා දිලිසෙමින් පවත්නේ උප-පරමාණුක ශක්තිය මගින් බවත් දැක්වීය.

අයින්ස්ටයින්න්ගේ සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් විස්තරයක් එඩිංටන්ට දැනගන්නට ලැබුණේ ඔහු රාජකීය නක්ෂත්‍ර විද්‍යා සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කරද්දීය. ඒ නව සිද්ධාන්තය ඉංග්‍රීසි කතා කරන ලෝකයා හමුවෙහි හාපුරා කියා පළ කිරීමේ ගෞරවය නිරායාසයෙන් ම ඔහුට හිමි වෙයි. සාපේක්ෂතාවාදය පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත් වූ හේ 1919 දී අයින්ස්ටයින්ගේ අනාගත වාක්‍යය පරීක්ෂා කර බැලීම සඳහා ගිය අප්‍රිකානු සූර්යග්‍රහණ නිරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය ද ගත්තේය. විද්‍යා විෂයයන් සම්බන්ධ විශිෂ්ට තොරතුරු සපයන්නකු වූ එඩිංටන් ග්‍රන්ථ සමූහයක් සම්පාදනය කෙළේය. ඔහුගේ වැදගත්ම දාර්ශනික කෘතීන් වූයේ ‘භෞතික ලෝකයේ ස්වභාවය’ (The Nature of_the_Physical_World) හා ‘භෞතික විද්‍යා දර්ශනය’ (The Philosophy of Physical Science) නමැති ග්‍රන්ථද්වයයි. ‘විස්තාරී විශ්වය’ (The Expanding Universe) මොහු කළ සුප්‍රකට ග්‍රන්ථයකි.

නුතන බ්‍රිතාන්‍ය නක්ෂත්‍ර විද්‍යාඥයන් අතර ශ්‍රේෂඨතමයකු ලෙස සැලකෙන එඩිංටන් 1930 දී නයිට් පදවියෙන් ද 1938 දී ‘ඕඩර් ඔෆ් මෙරිට්’ පදවියෙන් ද සම්මාන ලද්දේ ය.

(සංස්කරණය: 1974)