එඩින්බරෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
08:54, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ස්කොට්ලන්තයේ අගනුවරය. මිඩ්ලෝදියන් හෙවත් එඩින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්කොට්ලන්තයේ අගනුවරය. මිඩ්ලෝදියන් හෙවත් එඩින්බරෝෂයර් කෝරළයේ ප්‍රධාන නගරය ද වන මෙය උතුරු මුහුදේ අත්තක් වූ ෆෝත් පුනීල මෝයේ (Firth of Forth) දකුණු පාර්ශ්වයෙහි, ග්ලාස්ගෝ නගරයට සැතැපුම් 44ක් ඊශාන දිගින් ද ලන්ඩන් නගරයට සැතැපුම් 373ක් වයඹ දෙසින් ද පිහිටා තිබේ. මෙහි මුහුදු තොට ලීත් (Leith) ය. 1966 දී ජනගහනය 468,765ක් විය.

යුරෝපයේ දර්ශනීය නගරයක් මෙන් ම ස්කොට්ලන්තයේ ඓතිහාසික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් ද සලකනු ලබන එඩින්බරෝ දහස් ගණන් දුම්කවුළුවලින් නැගෙන අප්‍රමාණ දුම් නිසා, ‘ඕල්ඩ් රීකී’ යන නාමයෙන් ද ඇතන්ස් නගරය මෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් හැටියට කීර්තියක් උසුලන හෙයින් ‘උතුරේ ඇතන්ස් නගරය’ නමින් ද හැඳින්වෙයි. දහඅටවැනි හා දහනවවැනි ශතවර්ෂයන්හි මෙහි වූ සාහිත්‍යක හා දාර්ශනික උද්දීප්තිය විශේෂයෙන් සඳහන් කළමනායි. එම උද්දීප්තිය ඇති කළ සාහිත්‍යධරයන්ගේ හා දාර්ශනිකයන්ගේ ගණයට ඩේවිඩ් හියුම්, ඇඩම් ස්මිත්, රොබට් බ’න්ස්, ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් වැන්නෝ ඇතුළත් වූහ. 1947 පටන් වර්ෂයක් පාසා මෙහි පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙල ලෝකයේ පවත්වනු ලබන ඉතා චමත්කාරජනක උත්සව අතුරෙන් එකක් ලෙස සලකනු ලැබේ. ලොව නොයෙක් දේශවලින් විශාල ජනකායයක් මේ සඳහා එඩින්බරෝ නගරයට ඇදී එති.

එඩින්බරෝ නුවර පුරාණ නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකට බෙදී ඇත. ජනාකීර්ණ වූ ද එසේම දර්ශනීය වූ ද පුරාණ නගරය මුහුදු මට්ටමේ සිට අඩි 300ක් උසැති ‘කාසල් රොක්’ පර්වතය වටා පැතිරී තිබේ. කාසල් රොක් පර්වත මස්තකයෙහි ස්කොට්ලන්තයේ පුරාණ රජවරුන්ගේ මාළිගාව වූ එඩින්බරෝ බලකොටු මන්දිරය වෙයි. දැන් මෙය පුරාණ රාජභාණ්ඩ, යුද්ධායුධ ආදියෙන් සමන්විත කෞතුකාගාරයක් වශයෙන් පාවිච්චි කෙරේ. බලකොටු පර්වතයට නැගෙනහිර දෙසින් ‘රෝයල් මයිල්’ නමින් ප්‍රකට මහා මාර්ගය පැරණි නගරය ඔස්සේ හොලිරූඩ් මාළිගය තෙක් විහිදී යයි. පැරැණි නගරය අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ම ආරක්ෂක පවුරුවලින් වට වී තිබුණු හෙයින් පිටතට විස්තීර්ණ වනු වෙනුවට අහස දෙසට විස්තීර්ණ වූවා සේ පෙනේ. ගල් බැම්මෙන් නිම කළ මහල් දොළහකින් පමණ යුත් පුරාණ ගොඩනැඟිලි මෙහි තවමත් පවතී. දැන් මේවා දුප්පත් ජනයා සඳහා වූ නිවාස වශයෙන් යොදා ඇත. පුරාණ නගරයේ ප්‍රධාන ගොඩනැඟිලි අතර ශාන්ත ජයිල්ස් දේවස්ථානයත් පුරාණ පාර්ලිමේන්තු මන්දිරයත් ජාතික පුස්තකාලයත් එඩින්බරෝ විශ්වවිද්‍යාලයත් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නව නගරය පුරාණ නගරය හා සම්බන්ධ වනුයේ ඒ අතර වූ කන්දරය හරහා බැඳි පාළම්වලින් හා ‘මෞන්ඩ්’ නමින් ප්‍රකට වූ කෘත්‍රිම වැටියෙනි. ස්කොට්ලන්තයේ සුප්‍රකට කලා මධ්‍යස්ථාන දෙක වන ජාතික කලාභවනත් රාජකීය ස්කොටිෂ් ඇකැඩමියත් පිහිටා ඇත්තේ මේ වැටිය මතය. ඒ අසල වූ මිටියාවත් බෑවුම්හි අලංකාර මහජන උද්‍යාන වේ. ලෝක ප්‍රසිද්ධ ප්‍රින්සස් ස්ට්‍රීට් නම් මහා මාර්ගය මේ මහජන උද්‍යානවලට මුහුණ ලා වැටී ඇත. ප්‍රින්සස් ස්ට්‍රීට් මහා මාර්ගයට පිටිපසින් ජෝජ් මාවතත් විශාල ව්‍යාපාරික මන්දිරවලින් සැදි ක්වීන් වීදියත් දක්නට ලැබේ. රජයේ නොයෙකුත් දෙපාර්තමේන්තු පිහිටා ඇත්තේ ශාන්ත ඇන්ඩ්රූස් මන්දිරයෙහිය. ජෝජ් වීදියේත් ප්‍රින්සස් ස්ට්‍රීට් උද්‍යානයේත් වෙනත් නොයෙක් වීදිවල හා මහජන ගොඩනැඟිලිවලත් රජවරුන්ගේ හා බිසෝවරුන්ගේත් අනිකුත් ප්‍රකට පුද්ගලයන්ගේත් විවිධ ස්මාරක දක්නට ලැබේ. මේවා අතුරෙහි විශාලතම ස්මාරකය වනුයේ ඊස්ට් ප්‍රින්සස් ස්ට්‍රීට් උද්‍යානයේ පිහිටා ඇති ශ්‍රීමත් වෝල්ටර් ස්කොට්ගේ ස්මාරකයයි. එහි ගොතික් ශෛලියෙන් නිමකොට ඇති, කොත් කැරලිවලින් හා කුලංගිවලින් සැදි ශෘංගය අඩි 200ක් උසය. සෑම කුලංගියක ම ස්කොට්ගේ කෘතිවල එන කිසියම් චරිතයක් කුඩා ප්‍රතිමාවකින් නිරූපණය කොට ඇති අතර පාදමෙහි කිරිගරුඬින් කළ ස්කොට් ප්‍රතිමාව වෙයි.

එඩින්බරෝහි අධ්‍යාපනායතන අතුරෙහි 1582 දී පිහිටුවන ලද එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ප්‍රධාන තැන හිමි වේ. මෙය බ්‍රිතාන්‍ය දූපත්වල ඇති ඉතා ම පුරාණ මෙන් ම සුප්‍රකට විශ්වවිද්‍යාල අතුරෙන් එකක් ලෙස සලකනු ලැබේ. වෛද්‍ය අංශය නිසා විශේෂ කීර්තියක් උසුලයි. අන් ප්‍රධාන විද්‍යායතන අතර රාජකීය වෛද්‍ය විද්‍යාලයත් රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයත් විශේෂ තැනක් ගනී.

පාර්ලිමේන්තු කටයුතු උදෙසා එඩින්බරෝ නගරය කොට්ඨාස හතකට බෙදා ඇත. මසල්බරෝ පෙදෙසත් ලීත් පෙදෙසත් මීට ම ඇතුළත් වේ. නගර සභිකයන් හැත්තෑ එක් දෙනකුන්ගෙන් සමන්විත නගර සභාව ප්‍රාදේශික පාලනයට අයත් සියලු කාර්ය ඉටු කරයි.

මේ නගරයෙහි බොහෝ කලක පටන් තහවුරු වී පවත්නා කාර්මික කටයුතු අතර මුද්‍රණය, රබර් භාණ්ඩ නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය පෙරීම, විස්කෝතු හා රස කැවිලි සෑදීම, වීදුරු භාණ්ඩ තැනීම, ඖෂධ වර්ග හා රසායන ද්‍රව්‍ය නිපදවීම ප්‍රධාන සංඛ්‍යාවෙහි ලා සැලකිය හැකිය. මුද්‍රණ හා ග්‍රන්ථ ප්‍රකාශන කටයුතු අතින් එඩින්බරෝ නගරය විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි. ලන්ඩනයේ ප්‍රකාශන ආයතන වෙනුවෙන් මුද්‍රණ කටයුතු වැඩි වශයෙන් කෙරෙන්නේ මේ නගරයෙහිය. නැව් තැනීම හා අලුත්වැඩියා කිරීම ද වානේ ගොඩනැඟිලි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ද මුද්‍රණ තීන්ත හා මුද්‍රණ කඩදාසි සෑදීම ද ඊළඟට දියුණු කාර්මික කටයුතුය. මේ නගරය 1960 ගණන්වල සිට ම සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් දියුණුවන්නට විය. වර්ෂයකට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අතින් බලන කල මෙය ලන්ඩනය හැරුණු විට එක්සත් රාජධානියේ අන්කිසි ම නගරයකට දෙවෙනි නොවන තරම්ය. එඩින්බරෝ නගරය බ්‍රිතාන්‍ය දුම්රිය මාර්ගවලින් සේවය ලබයි. මෙහි වේවර්ලි හා හේමාර්කට් යනුවෙන් විශාල දුම්රියපොළ දෙකක් ඇත. වේවර්ලි දුම්රිය නැවතුම්පොළ බ්‍රිතාන්‍යයේ දෙවෙනි විශාල දුම්රියපොළ වශයෙන් ගැ‍ණේ.

එඩින්බරෝ නගරයේ ඉතිහාසය ආරම්භවනුයේ නෝදම්බ්‍රියාවේ එඩ්වින් රජු වර්තමාන බලකොටු මන්දිරය පිහිටා ඇති ස්ථානයෙහි බලකොටුවක් ඉදි කළ තැන් සිටය. එකොළොස් වැනි සියවසේ දී තෙවැනි මැල්කම් රජු තම රාජධානිය කරගන්නා තුරු ම මෙහි බලකොටුවට වැඩි යමක් නොවීය. අනුක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මේ නගරය 1437 දී ස්කොට්ලන්තයේ අගනුවර බවට පත් විය. ස්කොට්ලන්තයත් එංගලන්තයත් ඒකාබද්ධ වීමෙන් පසු එඩින්බරෝ නගරයේ දේශපාලන වැදගත්කම බොහෝදුරට අඩු වී ගියේය. ප්‍රොතෙස්තන්ත පුනඃස්ථාපන සමයේ දී ප්‍රොතෙස්තන්ත භක්තිකයන් අතර බොහෝ ගැටුම් ඇති වූයේ මේ නගරයේ දීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩින්බරෝ&oldid=10992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි