එඩ්මන්ටන්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:55, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Edmonton). කැනඩාවේ ඇල්බ’ටා පළාතේ අගනුවරය. උ.අ. 53°40’ හා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Edmonton). කැනඩාවේ ඇල්බ’ටා පළාතේ අගනුවරය. උ.අ. 53°40’ හා බ.දේ. 113°30’ ආශ්‍රිතව උතුරු සැස්කැෂුවන් ගඟබඩ පිහිටා ඇත. විනිපෙග් නගරයට සැතපුම් 750ක් වයඹ දිගින් ද කැල්ගරි නගරයට සැතපුම් 175ක් ඊශාන දිගින් ද පිහිටි එඩ්මන්ටන් නගරය යෙලෝහෙඩ් කපොල්ල ඔස්සේ වැටී ඇති කැනේඩියානු ජාතික දුම්රිය මාර්ගයට සම්බන්ධ වැදගත් දුම්රිය මංසන්ධියකි. එඩ්මන්ටන් නගරය සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට අඩි 2158ක් උසය.

1795 දී හඩ්සන් බේ සමාගම විසින් පිහිටුවන ලද ලොම් වෙළඳ මධ්‍යස්ථානයක් වූ එඩ්මන්ටන් නගරය ඒ කාලයේ දී දේශගවේශක මධ්‍යස්ථානයක් වශයෙන් ද වැදගත් විය. වර්තමාන එඩ්මන්ටන් නගරය අවට ප්‍රදේශය ඉතා දියුණු කෘෂිකාර්මික ප්‍රදේශයකි. තිරිඟු වැවීම හා ගවපාලනය මෙහි ඉතා ම ප්‍රධාන ආර්ථික ව්‍යාපාරයෝය. නගරයේ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය අතර මස් හා තිරිඟු මුල්තැන් ගනී. දැව කර්මාන්තය සහ ලොම් කර්මාන්තය මෙහි තවමත් දියුණුය. ගල් අඟුරු ආකර කර්මාන්තය ද මෙහි කරනු ලැබේ. ප්‍රාදේශීය අවශ්‍යතාවන් සඳහා වයිකිං, කින්සෙලා සහ ෆැබේයන් යන කෙත්වලින් ලබාගන්නා භූමිවායුව (natural gas) ප්‍රයෝජනයට ගනු ලැබේ. නගරයට නුදුරු ඇතබස්කා නිම්නයෙහි ඉතා විශාල ඛනිජ තෙල් නිධි ද තිබේ. වත්මන්හි බටහිර කැනඩාවේ ප්‍රධාන තෙල් ශෝධන මධ්‍යස්ථානය මේ නුවරයි.

1904 දී මේ නගරය ඇල්බ’ටාහි අගනුවර බවට පත් විය. ප්‍රාදේශීය පාර්ලිමේන්තුව හා ඇල්බ’ටා විශ්වවිද්‍යාලය එඩ්මන්ටන්හි පිහිටියේය. ගුවන්තොටුපළක් ද මෙහි ඇත. නගරයෙහි ජනගහනය (1966) 376,925කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්මන්ටන්&oldid=10995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි