එඩ්වඩ් I
(1239-1307). 1272 සිට 1307 දක්වා එංගලන්ත රාජපදවිය දැරූ මෙතෙම හෙන්රි III රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.
1254 දී ප්‍රංසයේ ගැස්කනියේ ආදිපාද පදවිය ද එසේ ම චෙස්ටර්හි සිටු පදවිය හා වේල්ස්හි සාමි පදවිය ද පිය රජුගෙන් ලැබූ මෙතෙම එම වසරේ ස්පාඤ්ඤයේ එලනෝර් කුමරිය හා විවාහ විය. 1265 දී එඩ්වඩ් කුමාරයා රාජකීය සේනා මෙහෙයවා මොන්ට්ෆට්ගේ පටිගේ මූලිකත්වයෙන් ඇති වූ සාමිවරුන්ගේ කැරැල්ල මැඩ පැවැත්විය.
ප්‍රංසයේ ලුවී IX රජු සමග එක්ව මුස්ලිම් භක්තිකයන්ට විරුද්ධව ගෙනගිය කුරුස යුද්ධයෙන් පැරදී පසුව හයිපාහි සුළු වටලෑමකින් ජයගත් එඩ්වඩ් කුමාරයාට ආපසු සියරට එමින් සිටිය දී සිසිලියේ දී පියරජුගේ අභාවය සැල විය. මේ අතර සාමිවරුන් විසින් පිටරට සිටි එඩ්වඩ් එංගලන්තයේ රජු හැටියට පිළිගන්නා ලදි. තමා එංගලන්තයේ රජු හැටියට ප්‍රකාශ කොට අවුරුදු දෙකක් ගත වූ පසු 1274 දී හෙතෙම ඔටුනු පැලදීම පිණිස සියරටට පැමිණියේය. එවක එංගලන්තයේ කෙතරම් හොඳින් අභ්‍යන්තර සාමය පැවතියේ ද යන්න මින් පෙනී යයි. ඔහු පැමිණෙන තුරු රට පාලනය කෙළේ ග්ලොස්ටර් ආදිපාදයා හා පසුකල අගමැති බවට පත් කරනු ලැබූ බ’නල්ය.
වේල්සය හා ස්කොට්ලන්තය ද යටත් කොට මුළු බ්‍රිතාන්‍ය දූපත ම එක්සත් කිරීමට එඩ්වඩ් I වෙර ගත්තේය. 1284 දී වේල්ස්හි පාලක ලුඑලින් අප් ග්‍රිෆිත් නමැති කුමරා මරා වේල්සය එංගලන්තයට ඈඳාගන්නා ලදි.
1291 දී ස්කොට්ලන්තය ද ඔහුගේ ආධිපත්‍යය පිළිගෙන ඔහු විසින් නම් කරන ලද පෝන් බේල්යල් ස්කොට්ලන්තයේ රජු බවට පැමිණවිය. 1296 දී බේල්යල් ස්කොට්ලන්තයේ සිහසුනෙන් නෙරපා හැර ඉංග්‍රීසි පාලනයක් එහි ඇති කෙළේය. 1307 දී හෙතෙම ස්කොච් ජාතික වීරවර රොබට් බ්රූස් මැඩලන්ට යමින් සිටිය දී මිය ගියේය.
ප්ලැන්ටැජිනට් (ඇන්ජවින්) පරපුරෙහි ශ්‍රේෂ්ඨතම රජු හැටියට සලකනු ලබන එඩ්වඩ් I රදල බලය සීමා කිරීමට ක්‍රියා කෙළේය. නීතිදායක යන විරුද නාමය ද ලැබූ ඔහු අධිකරණයේ හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයේ සංවර්ධනය සම්බන්ධයෙන් පෑ බලය ඉමහත් විය.
දෙවරක් විවාහ වූ එඩ්වඩ් I රජු ඇවෑමෙන් රජ වූයේ පළමුවන විවාහයෙන් ලත් පුතුන් සිව්දෙනා අතුරෙන් ඉතිරිව සිටි එඩ්වඩ් කුමාරයාය.
(සංස්කරණය: 1974)