ඇමසන් (2)
ග්‍රීක ජනප්‍රවාදයන්හි එන රණශූර ස්ත්‍රී වර්ගයකි. ඔවුන් දුනුදිය ඇදීමට පහසු වන පරිදි තම දකුණු පයෝධර කපා දැමූ බව කියත්. සුළු ආසියාවේ වුසූහයි සැලැකෙන මෙම ස්ත්‍රීහු අසුන් පිට යෑමේ අතිදක්ෂ වූහ. ඔවුන් කාලය ගෙවූයේ දඩයම් කිරීමෙන් හා යුද වැදීමෙනි. ඔවුන් තම ප්‍රදේශයට මිනිසුන් වැද්ද නොගත් නමුදු අසල ප්‍රදේශවල මිනිසුන් හා සබඳකම් ඇති කොටගත් බවත් ඔවුනට ලැබුණු පුත්‍රයන් මරුමුවට පත් කොට හෝ පියවරුන් වෙත යවා දූවරුන් ඇතිදැඩි කරගෙන යුද සරඹ පුහුණු කරවූ බවත් කියැවේ.
පැරණි ලේඛකයෝ ඇමසන් ස්ත්‍රී වර්ග තෙකොටසක් ගැන ලියති. ආසියානු, සිතියානු හා අප්‍රිකානු යනුවෙනි. ආසියානු ඇමසන් රැජින වූ හිපොලිටාගේ මේඛලාදාමය ලබා ගැනීමට හර්කියුලීස් කළ සටන ඉතා ප්‍රකටය. ඇයගේ සහෝදරිය වූ ඇන්ටියෝජි කුමරිය තීසියස් විසින් පැහැරගෙන යනු ලැබීම නිසා ඇමසන් ස්ත්‍රීහු ඇටිකාව ආක්‍රමණය කළහ. තීසියස් හා ඇමසන් ස්ත්‍රීන් අතර වූ මේ සටන ග්‍රීක කලා කෘතීන්හි ඉතා ජනප්‍රිය විෂයයක් වී තිබේ. ට්‍රෝයි නගරය වටලන ලද අවස්ථාවේ දී ඇමසන් ස්ත්‍රීහු ඒ දූවරුන් හා එක්ව සටන් කළහ. එහි දී ග්‍රීක රණශූරයන් බොහෝ දෙනකුන් මැරූ පෙන්තෙසීලියා නම් ඇමසන් රැජින ඇකිලීස් අතින් මැරුම් කෑවාය.
ඇමසන් ස්ත්‍රීන් පිළිබඳ ජනප්‍රවාද සනාථ කරන ඓතිහාසික සාධක නැත ද ඇතැම් පුරාවිද්‍යාඥයෝ ඔවුන් හිටයිට් ප්‍රතිමාවල දැක්වෙන සන්නද්ධ පූජකවරියන් හා සම කොට දක්වති.
(සංස්කරණය: 1967)