ඇමියන්ස්
(ඒමියන්ස්, අම්යැං). උතුරු ප්‍රංසයේ සෝම් පළාතේ ප්‍රධාන නගරයයි. සෝම් ගං ඉවුරේ පිහිටි මෙය රෝමවරුන්ගේ පාලනයට යටත් වීමට පෙර සමරෝබ්‍රිවා නමින් හැඳින්වුණේය. පස්වැනි ශතවර්ෂයේ දී ෆ්රෑන්ක්වරුනට ද 1185 දී ප්‍රංස රාජ්‍යයට ද 1435 දී බ'ගන්ඩි ආදිපාදවරුනට ද 1597 දී ස්පාඤ්ඤයට ද 1870 දී ප්‍රසියාවට ද හිමි වූ ඇමියන්ස් වැදගත් ඓතිහාසික නගරයකි. බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ස්පාඤ්ඤය හා ඕලන්දය අතර 1802 දී ඇති කරගත් සුප්‍රකට ඇමියන්ස් ගිවිසුම (බ.) අත්සන් කරන ලද්දේ මෙහි දීය. ලෝක සංග්‍රාම දෙකේ දී ම ජර්මනුන් විසින් අල්ලාගනු ලැබූ මෙම නගරය ඒ දෙවර ම ඔවුන් අතින් මහත් වනසට පත් විය. මෙහි පිහිටි ‘නෝත්‍ර දාම්’ දේවස්ථානය (1220) ප්‍රංසයේ විශාලතම විශිෂ්ට ගොතික් දේවමන්දිරයයි.
වර්තමාන ඇමියන්ස් නගරය ප්‍රංසයේ ප්‍රධාන කාර්මික නගරයකි. මෙහි ලොම් සහ කපු රෙදිපිළී කර්මාන්තය ද රසායන ද්‍රව්‍ය, පාවහන්, යන්ත්‍රසූත්‍ර සහ ලෝහ කර්මාන්ත ද දියුණුය. අවුරුදු පතා මෙහි වෙළඳ සල්පිලක් පවත්වති. ජනගහනය (1954) 92,506කි.
(සංස්කරණය: 1967)