එපමිනොන්ඩස්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:56, 27 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.පූ.418-362). මොහු වූකලි පැරණි ග්‍රීක රාජ්‍යයක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ.418-362). මොහු වූකලි පැරණි ග්‍රීක රාජ්‍යයක් වූ තීබ්ස්හි විසූ අතිශ්‍රේෂ්ඨ රණශූර සේනාධිපතියෙකි. මෙතෙම ක්‍රි.පූ. 372 සිට 362 දක්වා කාලයේ ග්‍රීක රාජ්‍යයන්හි විසූ යුද්ධෝපක්‍රමඥානයෙන් අගතැන්පත් අතිදක්ෂ සෙනෙවියා හැටියට සලකනු ලැබේ.

ක්‍රි.පූ. 4 වන ශතවර්ෂාරම්භය වන විට ස්පාටාව ග්‍රීකරාජ්‍යයන් අතර අධිපති තත්වයක් හිමිකරගෙන සිටියේය. තීබ්ස්හි බලය බිඳීමේ අපේක්ෂාවෙන් ස්පාටාව, බීයෝෂියා ගණරාජ්‍යය විසුරුවා හැර, එක් එක් නගරයක තමන්ට පක්ෂ ආණ්ඩු පිහිටුවීය. තීබ්ස්හි ද එවැනි ආණ්ඩුවක් පිහිටුවන ලද නමුත් මඳ කලකින් ම තීබ්ස් වාසීහු එය පෙරළා දැමූහ. ඉක්බිති ගණරාජ්‍යය නැවත පිහිටුවා ගත් තීබ්ස්හි නායක පදවිය ලැබූ පෙලොපිඩස් සිය සගයා වූ එපමිනොන්ඩස්ට සේනාපති පදවිය පැවරීය.

ක්‍රි.පූ. 371 පමණේ දී දසදහසකින් යුත් ස්පාටන් ආක්‍රමණික සේනාවක් එපමිනොන්ඩස් විසින් පරදවා පලවා හරින ලද්දේ හයදහසක සේනාවක ආධාරයෙනි. ඉක්බිති ඔහු 370 දී පෙලොපොනීසස්හි දී මෙසීනියාව ස්පාටන් ග්‍රහණයෙන් මුදවා මෙගලොපොලිස් නගරය පිහිටුවිය. ගොඩබිම බලය අතින්, තම රටට ග්‍රීක රාජ්‍යයන් අතර ශ්‍රේෂ්ඨතම ස්ථානය අයත් කර දුන් මේ තීබ්ස් වීරයා නිසා ග්‍රීක රාජ්‍යයන් අතර දිය ගොඩ දෙක්හි ම මහ බලවතා හැටියට කලක් තිස්සේ වැජඹුණු ස්පාටාවේ බලය සදහට ම මොට විය. ඉක්බිති ඔහුගේ අදහස වූයේ ඇතන්ස් හා ස්පාටා යන රාජ්‍යයන් ලබා තිබුණු ග්‍රීක නායකත්වය තීබ්ස් නගරයට හිමි කර දීමය. ඇතන්ස් හා යුද්ධයක් ඇති වූයේ මේ නිසාය. ස්පාටාව, සයිරක්‍යුස් ආදි රාජ්‍ය ද තීබ්ස් රාජ්‍යයට විරුද්ධව ඇතන්ස් පක්ෂය ගත්තේය. ක්‍රි.පූ. 362 දී මේ මිත්‍ර සේනාවෝ මැන්ටිනියාවේ දී තීබ්ස් හමුදාවට මුහුණ දුන්හ. තීබ්ස් හමුදා සිය සතුරන් සම්පූර්ණයෙන් ම වාගේ පැරද වූ නමුත් විජයග්‍රහණයට පළමුවෙන් ශූරවීර සෙන්පති එපමිනොන්ඩස් යුද බිමේ දී සතුරු ප්‍රහාරයකින් මරණයට පත්විය. මේ නිසා ජයපරාජයක් නොවිසඳී යුද්ධය නිමාවට පැමිණියේය. නැගගෙන ආ තීබ්ස් බලය ඔහුගේ අභාවයත් සමග ක්‍රමයෙන් වැටී ගියේය. මහා ඇලෙක්සැන්ඩර් රජු පවා ඔහුගේ සූක්ෂ්ම යුද්ධෝපක්‍රම ඥානයෙන් ගුරුකම් ලබාගත් බව කියති.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එපමිනොන්ඩස්&oldid=11036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි