එන්කැපල (ප්‍රදාහය) නිධිකර්පරදාහය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:04, 9 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Encephalitis). එන්කැපල ප්‍රදාහය යනු මොළයේ ප්‍රදාහයයි....' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Encephalitis). එන්කැපල ප්‍රදාහය යනු මොළයේ ප්‍රදාහයයි. වයිරස, බැක්ටීරියා හා රසායනික ද්‍රව්‍ය වැනි නානාවිධ කාරක විශාල සමූහයක් එන්කැපල ප්‍රදාහයට හේතුවේ. මේ හැම අවස්ථාවක දී ම මොළය පිළිබඳ ව්‍යථවේදීය ලක්ෂණ ඒකාකාර වේ. ඒවා මූලික වශයෙන් පළින් පළ ඇතිවන ක්ෂුද්‍ර රක්තපාතයන්ගෙන් ද බොහෝවිට යම් යම් විශේෂ පෙදෙස්වලට සීමාවී ධූසර පදාර්ථයෙහි මස්තිෂ්ක සෛල විනාශ වීමෙන් හා බිඳී යෑමෙන් ද කුඩා රුධිර වාහිනීන් වටා බෝරිච්චි ආකාරයට එක් රැස් වූ වටකුරු සෛල රාශින්ගෙන් ද යුක්ත වේ.

එන්කැපල ප්‍රදාහය පහත දැක්වෙන අයුරින් වර්ග කළ හැකිය:

1 ගණය: වයිරස එන්කැපල ප්‍රදාහය;

2 ගණය: සංස්ථෙමක වයිරස ආසාදනවලට ද්විතීයික වශයෙන් හටගන්නා එන්කැපල ප්‍රදාහය;

3 ගණය: මොළයේ විස්ඵෝටයකට මග පාදන (සැරව සාදන ජීවීන් හේතුකොටගෙන ඇතිවන) පූයන එන්කැපල ප්‍රදාහය;

4 ගණය: රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන ධූලක එන්කැපල ප්‍රදාහය.

එහෙත් ව්‍යවහාරයට අනුව එන්කැපල ප්‍රදාහය යන පදය පළමු හා දෙවෙනි ගණ දෙකට පමණක් සීමා වී තිබේ. තෙවෙනි හා සිව්වැනි ගණ දෙක මෙහි ලා කෙටියෙන් සලකා බැලෙනුයේ ලිපිය සම්පූර්ණ කිරීම් වස්ය.

1 ගණය

වයිරස එන්කැපල ප්‍රදාහය

මෙය අවුරුදු පනහක පමණ කාලයක සිට විමර්ශනයට භාජනව පවත්නා රෝගයකි. මේ කාලය ඇතුළත දී එම වයිරසයෙන් වූ රෝග හටගැනීම් ලෝකයේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වී ඇත. බොහෝ අවස්ථාවල දී රෝග කාරක වයිරස වර්ගය වෙන් වෙන් වශයෙන් හැඳිනගෙන තිබේ. අනෙක් අවස්ථාවන්හි දී ශායනික ලක්ෂණත් ව්‍යථවේදයත් අනුව රෝගයේ වයිරස ප්‍රභවය නිසැකව දත හැකි විය. මෙහි ලා සැලකිල්ලට භාජන වනුයේ වඩාත් නිශ්චිත ලෙස හැඳිනගත හැකි වූ රෝග හටගැනීම්ය.

වසංගත එන්කැපල ප්‍රදාහය

(සුෂුප්ත නිධිකර්පර දාහය-Encephalitis Lethargica). 1917 දී වියනාවෙහි සුළු වශයෙන් රෝගය පැතිරී ගිය අවස්ථාවේ දී වසංගත එන්කැපල ප්‍රදාහය වෙන ම වයිරස රෝගයක් වශයෙන් වොන් එකොනොමෝ විසින් හඳුනා ගන්නා ලදි. මෙහි ප්‍රධාන ලක්ෂණයක් වූයේ ආලස්‍යයයි. එහෙයින් හේ එම රෝගය ‘එන්කෙපලයිටිස් ලෙතාජිකා’ යනුවෙන් හැඳින්විය. අනතුරුව මෙම රෝගය උග්‍රකම අතින් අඩු වැඩිව ලෝකයේ නොයෙක් නොයෙක් පෙදෙස්වල උද්ගත විය. දැන් මෙය නිතර දක්නට නොලැබෙන රෝගයකි. මීට හේතුකාරක වූ වයිරසය වෙන් කොටගෙන නොමැත. විශේෂ වයිරසයක් එයට මූලික වන බව සාමාන්‍ය පිළිගැනීමයි. එය A වර්ගයේ එන්කෙපලයිටිස් වයිරසය යනුවෙන් නම් කර තිබේ. මේ තාක් දන්නා එක ම ධාරකයා මිනිසාය. වාහකයා කවරෙක් ද යනු තවමත් සොයාගෙන නොමැත.

රෝගාරම්භය නොදැනුවත්ව ම සිදුවිය හැකිය. නොඑසේ නම් උණ, හිසරදය, වමනය හා නිදිබර ගතියේ සිට අධිමූර්ච්ඡාව (සන්‍යාසය) දක්වා වූ ඒ ඒ තරමේ ආලස්‍යය සහිතව රෝගය සැණෙකින් උද්ගත විය හැකිය. දිවා භාගයෙහි ආලස්‍යය ද රාත්‍රි භාගයෙහි නින්ද නොයෑම ද නිතර දක්නට ලැබෙන ලක්ෂණය. ඉඳහිට නොසන්සුන්ගතිය හා විභ්‍රාන්තිය ද ඇති විය හැකිය. මේ අවස්ථාවේ දී හෝ පසු අවස්ථාවක දී ස්නායු දුර්වලත්වය පිළිබඳ ලක්ෂණ ද මතු විය හැකිය. ඒවා නම් මාංසපේශීන්, විශේෂයෙන් ඇස්වල, මුහුණේ හා උගුරේ මාංසපේශීන්, දුර්වල වීමෙන් හටගන්නා වපරය, ද්විත්ව දෘෂ්ටිය, කතාකිරීම මෙන් ම ගිලීම ද අමාරු වීම හෝ මුළුමනින් ම නොහැකිවීම යන මේයි. මාස ගණනකට පසු ඇති විය හැකි පොදු ලක්ෂණ සමූහයක් පාර්කින්සන් රෝගය නමින් හැඳින්වෙන රෝගයෙන් වෙන් කොට හඳුනාගත නොහේ. එය මාංසපේශීන්ගේ දැඩිකම හා දුර්වලත්වය ද විශේෂයෙන් අත්වල දැඩි වෙව්ලීම ද මුහුණ ප්‍රකාශනයෙන් තොර වෙස් මුහුණක් බඳුවීම ද ලාක්ෂණික ඉරියව්වක් හා පා අදිමින් තල්ලුවන ගමන් ලීලාවක් ඇතිවීම ද ලක්ෂණ කොට ඇත. විවිධ ප්‍රමාණයේ ශාරීරික දුර්වලතා ද ඉබේ ම සිදුවන, පිළිවෙළක් නොමැති, අංගචලන ද සංවේගදායක මානසික වෙනස්කම් හා පුද්ගල ස්වභාවය පිළිබඳ වෙනස්කම් ද අනෙක් විෂම ඵලයෝයි. ස්ථාවර අවශිෂ්ට ලක්ෂණ රෝගීන් අතුරෙන් සියයට පනහක් පමණ දෙනා කෙරෙහි ශේෂ වේ. සියයට 30 සිට 40ක් පමණ දෙනා මරු මුවට ගොදුරු වෙති. රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාරය විවිධය. මේ රෝගයට එක් විශේෂ ඖෂධයක් නැත.

මේ ගණයේ අන් එන්කැපල ප්‍රදාහයන්ගේ ලක්ෂණ වනුයේ ප්‍රධාන වශයෙන් උණ, හිසරදය, වමනය, නිදිබර ගතිය හෝ විභ්‍රාන්තිය, වලිප්පුව හා අධිමූර්ච්ඡාවයි. පරාශ්ලථික හා මානසික ලක්ෂණ දුලබය. අවශිෂ්ට ලක්ෂණ විරලය.

ඕස්ට්‍රේලියානු X රෝගය

1917 වර්ෂයේ දී ද 1918 වර්ෂයේ දී ද ඔස්ට්‍රේලියාවෙහි මෙම වසංගත ඇති විය. නැවත වරක් 1925 වර්ෂයේ දී වසංගතයක් ඇති විය. මෙහි වයිරසය හඳුනාගෙන තිබේ. එය වසංගත එන්කැපල ප්‍රදාහ A වයිරසයට වඩා වෙනස්ය. එහෙත් ජපන් එන්කැපල ප්‍රදාහ B වයිරසයට සමීප සම්බන්ධයක් දක්වයි. මේ වයිරසය ඕස්ට්‍රේලියාවට පමණක් සීමා වී ඇත. මරුමුවට පත්වන්නන්ගේ සංඛ්‍යාව අතිවිශාලය.

ජපන් B එන්කැපල ප්‍රදාහය

1924 වර්ෂයේ දී ජපානයෙහි එන්කැපල ප්‍රදාහය හටගත් අවස්ථාවක දී විශේෂ වයිරසයක් වෙන්කොටගෙන B වර්ගයේ වයිරසය යනුවෙන් නම් කරන ලදි.

සෙන්ට් ලුවී එන්කැපල ප්‍රදාහය

1933 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙන්ට් ලුවී නගරයෙහිත් කැන්සස් නගරයෙහිත් එන්කැපල ප්‍රදාහ වසංගතයක් ඇති විය. එහි දී ජපන් B වයිරසයට සබඳකම් ඇති විශේෂ වයිරසයක් වෙන්කොට හඳුනා ගන්නා ලදි. මේ වයිරසය පතුරුවනු ලබන්නේ මදුරුවකු විසිනි. රෝගය වැලඳුණවුන්ගෙන් 20% ක් පමණ මරුමුවට පත් වූහ.

අශ්ව එන්කැපල ප්‍රදාහය

මෑත අවුරුදුවල දී ඇමෙරිකා එක්සත් ජනපදයෙහි එන්කැපල ප්‍රදාහය හටගත් අවස්ථාවල දී අශ්ව එන්කැපල ප්‍රදාහයේ පෙරදිග හා අපරදිග වර්ගවලට අයත් සේ නිශ්චිත ලෙස හැඳිනගත් වයිරස වෙන්කොට ගන්නා ලදි. බොහෝකොට ම රෝගය වැලඳුණේ අවුරුදු පහෙන් පහළ ළමයින්ටය. මේ වයිරස අශ්වයන් හා කොටළුවන් කෙරෙන් මිනිසා කරා පැතිරෙන්නේ මදුරුවන් හා ගුල්ලන් මගිනි. මරණ සංඛ්‍යාව අතිවිශාලය.

යුරෝපීය අශ්ව එන්කැපල මිංජාදාහය

(බෝර්නා රෝගය). අශ්ව රෝගයක් වූ මෙය මිනිසුන් වෙත ද පැතිරීමට ඉඩ තිබේ.

රුසියානු ‍‍'ෆොරස්ට් ස්ප්‍රිං එන්කැපල ප්‍රදාහය’

මෙය ඇති වන්නේ විශේෂ වයිරසයක් මගිනි. බොහෝ සත්වයෝ මේ රෝගයට භාජනවනසුලුය. මේ වයිරසය මිනිසා වෙත ගෙන එනු ලබන්නේ කිනිතුල්ලන් මගිනි. ‘ලූපිං ඉල්’ (louping ill) යනු, දන්නා වයිරසයක් මගින් ඇති වන, බැටළු රෝගයකි. මිනිසුන්හට, විශේෂයෙන් රසායනාගාර සේවකයන්හට, මේ වයිරසය නිසා සුළු වශයෙන් එන්කැපල ප්‍රදාහය වැලඳුණු අවස්ථා කීපයක් වාර්තා වී තිබේ.

‘වෙස්ට් නයිල් මෙන්ගෝ’

(‘බ්වානා ෆීවර්’). නැගෙනහිර අප්‍රිකාවෙන් වාර්තා වී ඇති විශේෂ වයිරසයක් මගින් හටගන්නා මෘදු ස්වභාවයේ එන්කැපල ප්‍රදාහයකි.

2 ගණය

සංස්ථෙමක වයිරස ආසාදනවලට ද්විතීයික වශයෙන් හටගන්නා එන්කැපල ප්‍රදාහය

සරම්ප, කම්මුල්ගාය, පැපොල වැනි සංස්ථෙමක වයිරස රෝග පිළිබඳ විරල අතුරු උපද්‍රවයක් වශයෙන් ද, වසූරි රෝගය වැළැක්වීම සඳහා කැරෙන එන්නත් කිරීමෙන් පසුව ද එන්කැපල ප්‍රදාහය ඇති විය හැකිය.

මෙය උණ, හිසරදය, වමනය, නිදිබර ගතිය හෝ විභ්‍රාන්තිය ද උග්‍ර අවස්ථාවන්හි දී වලිප්පුව හා අධිමූර්ච්ඡාව ද යන රෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. පරාශ්ලථික හා මානසික රෝග ලක්ෂණ විරලය. මරණ සංඛ්‍යාව අධික විය හැකිය. අවශිෂ්ට ලක්ෂණ හා විෂමඵල විරලය.

3 ගණය

මොළයේ විස්ඵෝටයකට මඟ පාදන පූයන එන්කැපල ප්‍රදාහය

මේ එන්කැපල ප්‍රදාහ ගණය ඇති වන්නේ සැරව ඇති කරන ජීවීන් හේතුකොටගෙනය. මෙය ප්‍රතිජෛවක ඖෂධ හා ශල්‍ය කර්ම මගින් සුව කළ හැකිය. පහත සඳහන් මාර්ග තුනෙන් එකක් මගින් ආසාදනය මොළය කරා යා හැකිය.

(1) මැද කන, චුචුකාභය (mastoid), කෝටර (sinuses) ආදිය වැනි මොළය අසල පිහිටි ශරීරාංග කෙරෙන්;

(2) දුරස්ථ රෝගාසන කෙරෙන් රුධිර ධාරාව මගින් ගෙන යනු ලැබ [නි. පෙනහැලි පිළිබඳ ක්ලෝමමායාමය (bronchiectasis), අස්ථිමිංජාදාහය (osteomyelitis) ආදිය];

(3) කපෝලය සිදුරු කොට ගිය තුවාළ ඔස්සේ බාහිර වශයෙන්.

4 ගණය

ධූලක එන්කැපල ප්‍රදාහය

ආසනික් සහ ඊයම් එන්කැපල ප්‍රදාහය ඇති කරන ඉතා ප්‍රකට රසායන කාරක දෙකකි. උපදංශය, පරංගි ආදි රෝග සඳහා ඓන්ද්‍රික ආසනික සංයෝගයන් ප්‍රධාන ප්‍රතිකාරය ව පැවැති කාලයෙහි ආසනික එන්කැපල ප්‍රදාහය දුලබ නොවීය. ප්‍රතිජෛවක භාවිතය ආරම්භ වීමෙන් පසු ආසනික් භාවිත වනුයේ කලාතුරකිනි.

කර්මාන්ත ශාලාවන්හි හා මුද්‍රණ ආයතනයන්හි යොදා ඇති නූතන ආරක්ෂක ක්‍රියාමාර්ග නිසා පෙර පැවති ඊයම් විෂවීම් හා එන්කැපල ප්‍රදාහ රෝගය දැන් විරලය.

(කර්තෘ: ආර්.ඩී. ද ඒ. සෙනෙවිරත්න)

(සංස්කරණය: 1974)