එදිරිල්ලේරාල

සිංහල විශ්වකෝෂය වෙතින්
09:07, 9 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(දොමිංගු කොරයා; එදිරිල්ලේ බණ්ඩාර; එදිරිමාන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(දොමිංගු කොරයා; එදිරිල්ලේ බණ්ඩාර; එදිරිමාන්නසූර්ය). පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමුදාවේ සේනාපති තනතුරක් හා සත්කෝරළයේ පාලක ධුරය ද දැරූ මෙතෙම දොන් ජුවන් ධර්මපාල රජුගේ භාෂා පරිවර්තකයා වූ එදිරිල්ලේ ආරච්චිගේ පුත්‍රයාය. පෘතුගීසීන් අතර ඉපද ඔවුන් අතර හැදුණු වැඩුණු මොහු විවාහ වූයේ ද පෘතුගීසි කාන්තාවක සමඟය. පෘතුගීසි ලේඛකයන් මොහු හඳුන්වා තිබෙනුයේ දොමිංගු කොරයා යන නමිනි. එය ඔහුගේ බෞතිස්ම නාමය විය.

මුල දී පෘතුගීසීනට සේවය කිරීමෙහි යෙදුණු මොහු කැරලි ආදිය මැඬලීමට මහත් ලෙස උපකාරී විය. එවක පෘතුගීසි කපිතන් ජනරාල්වරයා වූ දොන් ජෙරෝනිමෝ ද අසවේදුගේ හා පෘතුගීසීන්ගේ ක්‍රියා නිසා කළකිරීමට පත් වූ මොහු ධර්මපාල රජුට හා පෘතුගීසීන්හට විරුද්ධ විය. පෘතුගීසි හමුදා සත්කෝරළයේ කැරැල්ලක් මැඩලමින් සිටිය දී තමා බලා සිටි අවස්ථාව පැමිණ ඇති බැව් සැලකූ හෙතෙම 1595 නොවැම්බර් 17 වැනි දින හත් දහසක හමුදාවක් සමඟ ධර්මපාල රජුට විරුද්ධව නැඟී සිට තමා එදිරිල්ලේ බණ්ඩාර නමින් රජ වූ බව ද ප්‍රකාශයට පත් කෙළේය. මෙම කැරැල්ලට ඔහුගේ සොහොයුරු සීමන් කොරයා ද සහභාගී විය. සීතාවක ඇතුළුව පස්දුන්, හේවාගම් සහ රයිගම් යන කෝරළ මෙම කැරැල්ලේ ප්‍රධාන ස්ථාන ලෙස සැලකෙන අතර පහත රටට ද මෙය පැතිර ගියේය. පෙර්නාං ද කේරෝෂ් නමැති පෘතුගීසි ලේඛකයා දක්වා ඇති පරිදි මේ අවස්ථාවේ දී පෘතුගීසීනට ඉතිරි වූයේ ගාල්ල සහ කොළඹ පමණි. මෙම කැරැල්ලට සමරකෝන්රාල (බ.) ද සහභාගි කරවා ගැනීමට එදිරිල්ලේ උත්සුක වූ නමුත් එම ප්‍රයත්නය නිෂ්ඵල විය.

කැරැල්ල ගැන සැල වූ වහා ම එහි බරපතළකම වටහාගත් අසවේදු, ධර්මපාල රජුත් සමඟ කොළඹට පසුබසින ලෙස පෘතුගීසි හමුදාවට අණ කෙළේය. මාර්ග අවහිර කිරීමටත්, කොළඹ හා සීතාවක අතර සබඳතා පවත්වාගත නොහැකි වන පරිදි ක්‍රියා කිරීමටත් එදිරිල්ලේ උත්සුක විය. කොළඹින් ආධාර ලබා ගැනීමත් කොළඹට පසු බැසීමත් මේ අනුව පෘතුගීසීන්හට අපහසු කාර්යයක් විය. සීතාවක සිට කොළඹට පසුබැසීමට ධර්මපාල රජු පිරිවරාගත් අසවේදු ගමනාරම්භ කෙළේය. පාදුක්ක අසල ගලගෙදර දී දෙසෙනඟ මුණ ගැසුණහ. එදිරිල්ලේගේ හමුදාව 12,000ත් 15,000ත් අතර වී යැයි ද යුද්ධ හස්තීන් කිහිප දෙනකුත් යුද්ධයට යොදවා තිබූ බව ද කියැවේ. සටන් කරමින් ම පසු බැසීමට පෘතුගීසි හමුදාව වගබලා ගත්හ. මෙම සටනේ දී පෘතුගීසීන් 134ක් මියගිය අතර 118ක් තුවාල ලැබූහ. පෘතුගීසි සේනාවේ ප්‍රමාණය අනුව බලන විට මෙය විශාල සංඛ්‍යාවක් විය. සටනේ දී එදිරිල්ලේරාල ද තුවාල ලැබීය. හොරණ දක්වා පසුබැසි පෘතුගීසි හමුදාවට සමරකෝන්ගේ හා ඔහුගේ සොහොයුරාගේ හමුදාවක් ද ආධාර පිණිස පැමිණීමෙන් ජීවිත බේරාගෙන කොළඹට පැමිණීමට හැකි වී යයි කේරෝෂ් දක්වා තිබේ. තවද එදිරිල්ලේ හා සමරකෝන් අතර පැවති විරුද්ධත්වය මෙහි දී පෘතුගීසීන්ගේ වාසියට හේතු වී යැයි ද ඔහු දක්වා ඇත.

කොළඹට පසු බැසීමෙන් පසුව අසවේදු හා සමරකෝන් යන දෙදෙනා කැරලිකරුවන් මැඬලීමට ඉදිරිපත් වූහ. කැරලිකරුවන් මැඬලීමෙහි යෙදුණු ඔව්හු එදිරිල්ලේගේ වස්තුව පවා අල්ලා ගත්හ. කැරලි නායක එදිරිල්ලේ මෙහි දී උඩරට රාජයා වූ විමලධර්මසූර්‍ය්‍යගේ ආධාරය පැතීය. මොහු කෝට්ටේ හා සීතාවක රජු ලෙස පිළිගත් විමලධර්මසූර්‍ය්‍ය අවශ්‍ය යුද්ධාධාර ද දුන්නේය. වීදිය බණ්ඩාර නමැති සත්කෝරළයේ කුමාරයාගේ දියණිය ද මොහුට විවාහ කර දෙනු ලැබීය. එදිරිමානසූර්‍ය්‍ය යන රාජ නාමය ගත් එදිරිල්ලේ උඩුවර සිටි සමරකෝන්හට පහර දීමට ගොස් සටනින් පරාජයට පත්ව පලා ගියේය. රයිගම් කෝරළයේ මැහැලියකගේ නිවසක සැඟවී සිටි හෙතෙම තමා ආරක්ෂා කළ හොත් බොහෝ සම්පත් දෙන බවට පොරොන්දු වුව ද, මොහු අල්ලා දුනහොත් දෙන බවට පළ කර තිබූ ත්‍යාගය වඩාත් අගය කළ මැහැල්ල රහසිගතව සමරකෝන්හට සියලු පුවත් දන්වා හැරියාය. ඒ අනුව සමරකෝන්ගේ සිරකරුවකු බවට පත් වූ මොහු කොළඹට ගෙනෙනු ලැබ 1594 ජූලි 14 වැනි දින මරණයට පත් කරන ලදි.

එදිරිල්ලේරාලගේ පවුලෙහි පිරිමින් මරා දමනු ලැබූ අතර ස්ත්‍රීහු ගෝවට පිටුවහල් කරන ලදහ. ගෝවට යවනු ලැබූ එදිරිල්ලේගේ සොහොයුරා මරන්නට ගෙන යද්දී පෘතුගීසි කාන්තාවක ඔහු හා විවාහ වීමට කැමති වීමෙන් නිදහස ලැබීය. ඇය හා විවාහ වූ ඔහු යළි ලංකාවට පැමිණ ධර්මපාල රජුට සේවය කිරීමෙහි යෙදුණු බව රාජාවලියෙහි දැක්වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එදිරිල්ලේරාල&oldid=11046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි