එප්සම් ලුණු
(Epsom salts). ස්ඵටිකරූපී මැග්නීසියම් සල්පේටයකි. MgSO4 7H2O රසායන සූත්‍රයෙන් හඳුන්වනු ලැබේ. එංගලන්තයේ එප්සම් නගරය අසල පිහිටි මැග්නීසියා උල්පත් ජලයෙන් එම ලුණු පළමුවෙන් ම ලබාගත් බැවින් එයට එප්සම් ලුණු යයි කියති. මුහුදු ජලයෙහි ද උල්පත් ජලයෙහි ද එප්සම් ලුණු ස්වල්ප වශයෙන් අඩංගු වේ. වණික් කටයුතු සඳහා අවශ්‍ය එප්සම් ලුණු ජර්මනියේ ෂ්ටාස්ෆුර්ට් නගරයේ පතල්වලින් ලැබේ. එහි මේ ලවණ ඇත්තේ එකට තද වූ විශාල ඛණ්ඩ වශයෙනි.
එප්සම් ලුණු ස්ඵටික නිර්වර්ණය. ඒවා චතුෂ්පාදක (tetragonal) හෝ ඒකාන්ති (monoclinic) හෝ විය හැකිය. කුඩු කළ විට එප්සම් ලුණු සුදුපාටය. එහි වි.ගු. 1.68කි. එය ජලයෙහි ද ඇල්කොහොල්වල ද දිය වේ. සින්ක් සල්පේට් ස්ඵටික, නිකල් සල්ෆේට් ස්ඵටික හා එප්සම් ලුණු ස්ඵටික සමරූපී වේ.
එප්සම් ලුණු තිත්ත රසය. එය විරේචකයක් වශයෙන් බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ. එහෙත් එය නිතර නිතර පාවිච්චි නොකළ යුතුය. බඩේ රිදීමක් ඇත්නම් එය කිසි විටෙකත් පාවිච්චි නොකළ යුතුය. එප්සම් ලුණු විරේචකයක් වශයෙන් ක්‍රියා කරන්නේ මෙසේය. එය අන්ත්රයට ඇතුළු වූ විට අන්ත්රය මගින් ජලය අවශෝෂණය කරනු ලැබීම වැළකී එහි ජලය එකතු වත් ම අන්ත්රය සංකෝචනය වී අන්ත්‍රයේ අඩංගු දේ පිට කරනු ලැබේ.
ශරීරය ඊයම් ලවණවලින් විෂ වී ඇත්නම් එප්සම් ලුණු පොටෑසියම් අයඩයිඩ් සමග ගැනීමෙන් ඒ විෂ ශරීරයෙන් ඉවත් කළ හැකිය. රෙදිපිළී, කඩදාසි හා හම් කර්මාන්තවල ද විරංජන ද්‍රාවණවල සංඝටකයක් වශයෙන් ද ගිනි නොගන්නා ද්‍රව්‍ය සෑදීමෙහි ද විද්‍යුත් බැටරිවල ද එප්සම් ලුණු පාවිච්චි කරනු ලැබේ. එය ප්‍රතිකාරකයක් වශයෙනුදු යොදනු ලැබේ.
(සංස්කරණය: 1974)