ඇමෙරිකානු ජනපද සංවිධානය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:11, 9 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(0.A.S.). ආජන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, චිලි ප්‍රද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(0.A.S.). ආජන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, චිලි ප්‍රදේශය, කොලොම්බියාව, කොස්ටා රිකා ප්‍රදේශය, ක්‍යුබාව, ඩොමිනිකන් සමූහාණ්ඩුව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ගුවාතමාලාව, හායිටි ප්‍රදේශය, හොන්ඩ්‍යුරාස් ප්‍රදේශය, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමාව, පැරගුවේ, පීරු රට, එක්සත් ජනපද රාජ්‍යය, උරුගුවේ හා වැනිසියුලාව යන අපරාර්ධගෝලීය ඇමෙරිකානු සමූහාණ්ඩු රටවල් එක්විස්ස එකතුව 1948 දී පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර දේශපාලන බල මණ්ඩලයකි. වර්ග සැතපුම් 12,000,000ක් පමණ වූ භූමි ප්‍රදේශයක පිහිටි මේ රටවල ජනගහනය 330,000,000ක් පමණ වේ.

ක්‍රි.ව. 1826 දී සීමෝන් බොලීවාර් විසින් පැනමාහි රැස්කරවන ලද දේශපාලන සම්මේලනයක දී අලුතෙන් නිදහස ලබාගත් ඇමෙරිකානු සමූහාණ්ඩු අතර කිට්ටු සම්බන්ධයක් ඇතිකරලීමටත් ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි දී ඒ රටවල් අතර එක්සත්භාවය වර්ධනය කිරීමටත් කැමැත්තක් දැක්වුණු හෙයින් සමස්ත ඇමෙරිකානු ජනපද සංවිධානයක ඇති වැදගත්කම දහනවවන සියවසේ මුල හරියේ දී පවා ඒ රටවල වැසියන්ට අවබෝධ වී තුබූ බව පෙනේ. ක්‍රි.ව. 1889-1890 දී ඇමෙරිකානු රාජ්‍යයන් එකතුව ඔවුන්ගේ ප්‍රථම ජාත්‍යන්තර සාකච්ඡාව පැවැත්වූ අවස්ථාවේ දී ඇමෙරිකානු ජනපද එක්සත් කිරීම පිණිස ස්ථීර සංවිධානයක් ඇති කර ගැනීමට තීරණය කර ගන්නා ලදි. මේ සංවිධානය හැඳින්වෙනුයේ ‘සමස්ත ඇමෙරිකානු සංගමය’ යනුවෙනි. ජාත්‍යන්තර සාකච්ඡාවට සහභාගී වූ රටවල සාමාජිකයන්ගේ මුලික බලාපොරොත්තුව වූයේ ඒ ඒ රටවල් අතර වෙළඳ කටයුතු දියුණු කිරීම සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම වුව ද ඊට පසු වර්ෂවල දී වරින්වර පවත්වන ලද සමස්ත ඇමෙරිකානු ජාතීන්ගේ සාකච්ඡාවල දී වෙනත් වැදගත් කටයුතු ද ඒ මඟින් කිරීමට තීරණය විය. 1948 මාර්තු-අප්‍රේල් කාලයේ දී කොලොම්බියා ප්‍රදේශයේ බෝගොටාහි දී පවත්වන ලද නවවන සමස්ත ඇමෙරිකානු ජාතීන්ගේ සාකච්ඡා සභාව විසින් ‘ඇමෙරිකානු ජනපද සංවිධානය’ පිළිබඳව පිළියෙළ වුණු ‘ප්‍රකාශ පත්‍රයක්’ පිළිගන්නා ලදි. මේ සාකච්ඡාවේ දී ඇති කරගන්නා ලද ගිවිසුම් මගින් ඇමෙරිකානු රාජ්‍යයන් අතර අනාගත සම්බන්ධය පිණිස වූ දේශපාලන, ආර්ථික, සමාජ, ආරක්ෂක හා අධිකරණ පදනම තහවුරු විය.

ඇමෙරිකානු ජනපද සංවිධානය එක් එක් සාමාජික ජනපදයෙන් තානාපති තත්වය දරන එක නියෝජිතයකු බැගින් එවීමෙන් සැදුණු ස්ථිර මන්ත්‍රණ සභාවකින් යුක්ත වෙයි. සංගමයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ වොෂිංටන් නගරයේය. මන්ත්‍රණ සභාව මගින් තෝරා පත්කර ගනු ලබන ප්‍රධාන ලේකම් කෙනෙක් ද උපප්‍රධාන ලේකම් කෙනෙක් ද මේ සංවිධානයේ විධායක නිලධාරීන් ලෙස කටයුතු කරති.

ඇමෙරිකානු ජනපද සංවිධානය මාර්ගයෙන් එක්සත් ජනපද රාජ්‍යය ලතින් ඇමෙරිකානු රටවලට ආර්ථික ආධාර සපයයි. ඒ ආධාර දෙනු ලබන්නේ ලතින් ඇමෙරිකානු රටවල කොමියුනිස්ට්වාදය පැතිර යාම වළක්වාලීමේ අදහසිනි. එම රටවල පවතින දේශපාලන නොසන්සුන්කම කොමියුනිස්ට්වාදීන්ට කදිම අවස්ථාවක් ලෙස එක්සත් ජනපද රාජ්‍යය කල්පනා කරයි.

ඇමෙරිකානු ජනපද සංවිධානයේ අනාගතය කුමක් ද යන්න ස්ථිරව ම කිව නොහැක. මෙම සංවිධානය දැනටමත් තරමක් දුරට දුර්වල වී ඇති බවට කරුණු දැක්විය හැක. එක්සත් ජනපද රාජ්‍යය ලතින් ඇමෙරිකානු රටවල ආභ්‍යන්තරික කරුණුවලට මැදිහත් වීම පිළිබදව එම රටවල අප්‍රසාදයක් පවතින බව එම රටවල් සියල්ලේ ම පාහේ නිතර නිතර ඇතිවන ලතින් ඇමෙරිකානු ශිෂ්‍ය ව්‍යාපාරයන්ගේ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිය. ක්‍යුබාව මෙම සංවිධානයෙන් ඉවත් වීම තවත් සාධකයකි. 1965 මුල දී ඩොමිනිකන් සමුහාණ්ඩු රාජ්‍යයේ ඇති වූ දේශපාලන වියවුල් තත්වය සමථයකට පත් කරලීමට මෙම සංවිධානය ගත් වෑයම නිරර්ථක වීම ද මෙහි ලා සැලකිය යුතුය.

(සංස්කරණය: 1967)