එඩ්වඩ් ලෝ එලන්බරෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
11:33, 12 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1790-1871). 1841-44 කාලයේ දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1790-1871). 1841-44 කාලයේ දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ තැනැත්තාය. කේම්බ්‍රිජ්හි උගත් මෙතෙම කෝන්වෝල්හි සෙන්ට් මයිකල් ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් මහජන මන්ත්‍රී මණ්ඩලයේ පෙනී සිටියේය. 1818 දී තම පියාගේ ඇවෑමෙන් හිස් වූ සාමි මණ්ඩලයේ අසුන මොහුට හිමි විය. 1828 දී රාජමුද්‍රා සාමිවරයා වශයෙන් ද 1828-30 අතර කාලය තුළ පාලක මණ්ඩලයෙහි සාමාජිකයකු වශයෙන් ද ක්‍රියා කළේය. ඕක්ලන්ඩ් සාමි (බ.) පෙරළා සියරට ඒමෙන් හිස් වූ ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර තනතුරට 1841 දී නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද හෙතෙම පාලනයෙහි අතිදක්ෂයෙක් විය.

ආසියාවෙහි සාමය රැකීම සඳහා පත් කරන ලද නමුත් එලන්බරෝ සාමිගේ කාලය මුළුමනින් ම වාගේ ගත වූයේ යුද්ධ කටයුතු සඳහා යැයි විචාරකයෝ පවසති. ඇෆ්ඝනිස්ථානය හා සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට හෙතෙම කටයුතු කෙළේය. ඕක්ලන්ඩ් සාමි දවස සිදු වූ විනාශයෙන් පිරිහී ගිය බ්‍රිතාන්‍ය බලය හා කීර්තිය නඟාලීමට හේ උත්සුකව ක්‍රියා කළේය.

සින්ධ් හා ග්වාලියෝර් ප්‍රදේශ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතට ගන්නා ලද්දේ එලන්බරෝ සාමිගේ පාලන කාලයේ දීය. මෙම පෙදෙස් ඈඳාගැනීමට ඇලන්බරෝසාමි පෙළඹුණේ අලුත් පෙදෙස් ඈඳාගැනීමට ඔහු තුළ පැවති ලෝභය නිසා නොව බ්‍රිතාන්‍ය බලය ප්‍රතිවිරුද්ධ බලවේගයන්ගෙන් ආරක්ෂා කරගැනීමට යැයි ඇතැමෙක් පවසත්. එලන්බරෝ සාමිගේ යුද්ධ කාර්යයන් පිළිබඳව පාලක මණ්ඩලය සතුටු නොවූ බව 1844 දී ඔහු ආපසු කැඳවා ගැනීමෙන් පෙනේ. ඔහුගේ සින්ධ් ප්‍රතිපත්තිය පාලක මණ්ඩලයේ විරෝධයට ලක් විය. 1844 ජූනි මාසයේ දී හේ ආපසු සියරට බලා ගියේය.

1846 දී හේ අද්මිරාල්තියේ ප්‍රථම සාමිවරයා වශයෙන් නැවතත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් විය. අනතුරුව 1858 දී පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් පත් වූ මොහු 1871 දෙසැම්බර් 22 වැනි දා පරලෝ සැපත් විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්වඩ්_ලෝ_එලන්බරෝ&oldid=11069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි