ක්‍රිස්ටෝෆර් එලියට්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:54, 12 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1810-1859). එතෙක් මෙතෙක් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1810-1859). එතෙක් මෙතෙක් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණි අතිවිශිෂ්ට පුද්ගලයන් අතුරෙහි ලා ගැනෙන මොහු 1848 උඩරට කැරැල්ලේ දී මහජනයාගේ පාර්ශ්වය ගෙන උද්යෝගයෙන් ක්‍රියා කළ අයිරිෂ් ජාතික වෛද්‍යවරයෙකි.

ඩබ්ලින්හි වෛද්‍ය ශාස්ත්‍රය උගත් ක්‍රිස්ටෝෆර් එලියට් 1834 දී සහකාර වෛද්‍ය නිලධරයකු වශයෙන් ලංකාවට පැමිණ බදුල්ලේ සේවය කෙළේය. 1836 දී රජයේ සේවයෙන් ඉවත්ව කොළඹ පෞද්ගලික වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන්නට පටන් ගත්තේය. ඔහු වෛද්‍ය වෘත්තිය ඉතා පුළුල් ලෙස කරගෙන යන අතර ම වතුවැවිලි ව්‍යාපාරයෙහි මුදල් ආයෝජනය කරමින් ‘කලම්බු ඔබ්සර්වර්’ නමැති ප්‍රවෘත්ති පත්‍රයේ පාලනය ද සියතට ගත්තේය. ඔහු ලංකාවේ නිදහස් පුවත්පත්වල පිතෘවරයා සේ ගිණිය හැකිය. තමා 1836 දී භාරගන්නා විට කිසිදු විශේෂත්වයක් නොඉසුලූ ‘කලම්බු ඔබ්සර්වර්’ පත්‍රය නොපමාව තීව්‍ර ආණ්ඩු විචාරකයකු බවට පත් කරන ලදි. එම පුවත්පතේ කර්තෘ වශයෙන් එලියට් එවක ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපයන් නොවළහා විචාරයට ලක් කළා පමණක් නොව එය නිදහස් මත පතුරුවාලීමේ මාධ්‍යයක් බවට ද පමුණුවා ලීය. අයර්ලන්තයේ උපත ලද ද බැප්ටිස්ට් සභිකයකු වූ එලියට්ගේ ආධානගාහිත්වයෙන් තොර වූ එම ආගමික විශ්වාසයන් නිසා ඔහුගේ නිදහස් දේශපාලන මත දියුණු තියුණු වී ගිය බව සිතාගත හැකිය. එවක බ්‍රිතාන්‍ය රැඩිකල්වාදීන්ගේ ඇතැම් ප්‍රගතිශීල දේශපාලන අදහස් ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. ස්ථාපිත එංගලන්ත සභාවට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු, තම නිදහස් විශ්වාසයට අනුව, රාජ්‍යයත් සභාවත් අතර සම්බන්ධයක් නොතිබිය යුතු යයි ද ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා කිසිදු ආගමික සංස්ථාපිතයක් සමග ලංකාවේ යටත් විජිත රජය කිසිදු සම්බන්ධකමක් නොපැවැත්විය යුතු යයි ද තරයේ කියා සිටියේය. නියෝජිත ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙන් උද්යෝගයෙන් ක්‍රියා කළ ඔහු රාෂ්ට්‍ර පාලනයෙහි ලා දේශීය ජනතාවට නියම බලයක් ලැබෙන තරමේ ඡන්ද බලයක් මත පදනම් වූ නියෝජිත මණ්ඩලයක් පිහිටුවාගැනීම සඳහා ව්‍යාපාරයක් ද ගෙනගියේය. ජාතීන් අතර උස්මිටිකම් නුදුටු ඔහු ජාතීන්ගේ සමත්වය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිව සිටියේය.

කොලින් කැම්බල් ආණ්ඩුකාරතැනගේ පාලන සමයේ අන්තිම කොටසේ දී කොළඹ නගරයේ මහා මාර්ග අද්දර පිහිටි නිවෙස්වල පාරට නෙරා තිබුණු ආලින්ද කඩාබිඳ දමනු වස් රජය ගත් තීරණයට විරුද්ධව ගෙනගිය ව්‍යාපාරයේ මූලිකයා වූයේ එලියට්ය. ඒ වූකලී කොළඹ ඉහළ පෙළේ නාගරික ජනයා කෙරෙහි බලපෑ ප්‍රශ්නයක් විය. ආලින්ද කඩාබිඳ දැමීම පිළිබඳ මතභෙදය උග්‍ර දේශපාලන ප්‍රශ්නයක් බවට පෙරළී ටොරිංටන් ආණ්ඩුකාර තැනගේ පාලන කාලය (1847-50) දක්වා දිග් ගැසිණි. මේ පිළිබඳ ඓතිහාසික වැදගත්කම නම් රජයේ ආලින්ද ප්‍රතිපත්තියට විරුද්ධව උද්ඝෝෂණයන් ගෙනයෑමේ අරමුණින් ඇති කරගත් සංවිධාන හා සම්බන්ධකම් ඊට වෙනස් වූ, ඊට වඩා හාත්පසින් වැදගත් වූ අරමුණක් ඉටුකර ගැනීමෙහි ලා උපස්තම්භක වීමය. 1847, 1848 යන වර්ෂවල දී ටොරිංටන් ආණ්ඩුකාර තැන විසින් පනවන ලද අලුත් බදු මාලාවකට විරුද්ධව පුවත්පත් මගින් නොනවත්වා සටනක් ගෙනයන ලදි. මේ බදු සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදයක් රට පුරා පැතිර පැවැත්තේය. 1848 යුරෝපයේ විප්ලව වර්ෂය විය. යුරෝපා විප්ලව පිළිබඳ ආරංචිය සැල වූ කෙණෙහි යුරෝපයේ රැඩිකල්වාදී අදහස් අනුසාරයෙන් ලංකාවේ බදු පිළිබඳව උද්ඝෝෂණයක් ඇති කිරීමට එලියට් බලාපොරොත්තු වූයේය. ඔහුගේ හඬ නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හඬ බවට පත් විය. 1848 පැනනැඟුණු කැරලි කෝලාහල ටොරිංටන් විසින් මැඩ පවත්වන ලද්දේ අවස්ථාවට අනවශ්‍ය තරම් ප්‍රචණ්ඩ භාවයකිනි. මීට විරෝධය පෑ එලියට් ජනතාවගේ දුක්ගැනවිලි වෙනුවෙන් ක්‍රියාශීල ව්‍යාපාරයක් ආරම්භ කෙළේය. 1848 කැරලි කෝලාහලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මතභෙදයට තුඩු දුන් කරුණක් වූයේ වැඩි වශයෙන් ම එලියට්ගේ උපක්‍රම ශක්තිය හේතුකොටගෙනය. එලියට් හා ඔහුගේ සගයෝ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ රැඩිකල්වාදී කණ්ඩායම් සමඟ පැවැති සම්බන්ධකම්වලින් විපුල ප්‍රයෝජන ලැබූහ. බ්‍රිතාන්‍ය අගමැති ජෝන් රසල් සාමි ලවා ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරවීමට එච්. බේලි, ජේ. හ්‍යුම් යන රැඩිකල්වාදී මන්ත්‍රීවරුන් දෙදෙනා දැරූ ප්‍රයත්නය සඵල විය. එම කමිටුව විසින් වාර්තා තුනක් නිකුත් කරන ලද නමුදු ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අර්ථවත් නිගමනයකට බැසීමට ඊට නුපුළුවන් විය. එහෙත් 1848-1851 අතර වූ මේ කාලය තුළ දී ලංකාව ප්‍රථමවරට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැදගත් දේශපාලන ප්‍රශ්නයක් බවට පත් විය. කමිටුවේ පරීක්ෂණවල එක් ප්‍රතිඵලයක් වූයේ ටොරිංටන් ආණ්ඩුකාර තැන හා ජ්‍යෙෂ්ඨ නිලධරයන් දෙදෙනකු ආපසු එංගලන්තයට කැඳවනු ලැබීමයි. සැසිවාර මුළුල්ලෙහි කමිටුවේ විරුද්ධවාදී කථිකයන් හා ලංකාව අතර සම්බන්ධකම් පවත්වන ලද්දේ එලියට්ගේ මාර්ගයෙනි.

ඊළඟ දසකයේ (1850-1859) දී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළේ වඩා තැන්පත් විලාසයකිනි. ‘කලම්බු ඔබ්සර්වර්’ පත්‍රය ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රය වශයෙන් පැවතුණු නමුදු එහි හඬ අතිශයින් සංයත වූවක් විය. එහි විවේචනය ද එතරම් එඩිතර නොවීය. එලියට් ද දිවයිනෙහි නිදහස් අදහස් පතුරුවාලීමෙන් වෙහෙසට පත් වූවා සේ පෙනිණි. සැබැවින් ම 1859 වන විට ඔහු නැවතත් රජයේ සේවයට බැඳී ප්‍රධාන වෛද්‍ය නිලධාරි තනතුරකට පත්ව සිටියේය. ඔහුගේ පුවත්පත එහි සහකාර කර්තෘ වශයෙන් ද අනතුරුව සම කර්තෘ වශයෙන් ද කටයුතු කළ ඒ.ඇම්. ෆර්ගසන්ට විකුණන ලදි. අනතුරු අර්ධ ශත සංවත්සරය තුළ ඔබ්සර්වර් පත්‍රය ෆර්ගසන් පවුලේ පාලනය යටතේ පැවතිණ. ක්‍රිස්ටෝෆ්ර් එලියට් තම නව පත්වීම ලබා මාස කීපයක් ඇතුළත දී අභාවප්‍රාප්ත වූයේය. [ උඩරට කැරැල්ල ද (1848) බ.]

(කර්තෘ: කේ.ඇම්. ද සිල්වා)

(සංස්කරණය: 1974)