එලිසබත් II

සිංහල විශ්වකෝෂය වෙතින්
15:53, 12 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1926-). එක්සත් රාජධානියෙහි හා උතුරු අයර්ලන්තයෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1926-). එක්සත් රාජධානියෙහි හා උතුරු අයර්ලන්තයෙහි රාජිනිය වූ මෝ තොමෝ පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව ද වන්නීය. පස්වන ජෝජ් රජුගේ දෙවන පුත් යෝක්හි ආදිපාද එඩ්වඩ්ගේ සහ ස්කොට් ජාතික රදල පෙළපතකින් පැවත එන එලිසබත් බෝස්ලයන් ආර්යාවගේ වැඩිමහල් දුව ලෙස 1926 දී එලිසබත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය උපත ලැබුවාය. 1936 දෙසැම්බර් මාසයේ දී එඩ්වඩ් VIII රජු රජකමින් ඉවත් වීමෙන් හිස් වූ සිංහාසනය යෝක්හි ආදිපාද එඩ්වඩ් කුමරු හට (ජෝජ් VI) හිමි වූ විට එලිසබත් කුමරිය ප්‍රධාන රාජ උරුමක්කාරිය බවට පත් වූවාය. රූමත් වූත්, නිරහංකාර වූත් එලිසබත් කුමරිය කුඩා කල සිට සිය අනාගත වගකීම උදෙසා සූදානම් වූ අතර බ්‍රිතාන්‍යය හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු සියලු රටවල වැසියන්ගේ සිත් දිනාගැනීමට ද සමත් වූවාය.

II ලෝක යුද්ධ සමයෙහි දී එලිසබත් කුමරියට ග්‍රීසියේ රජ පෙළපතට සබඳකමක් ඇති ඇන්ඩ්රූ කුමාරයාගේත් ඇලිස් කුමරියගේත් පුත් වූ රාජකීය නාවික හමුදාවේ ලුතිනන් පිලිප් කුමරා හමු විය. 1921 දී ග්‍රීසියේ දූපතක උපත ලැබූ පිලිප් කුමරා සිය මාමා වන මවුන්ට්බැටන් සාමිගේ භාරකාරත්වය උඩ ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලැබුවේය. ලෝක යුද්ධය අවසාන වීමත් සමඟ එංගලන්ත රජ මැදුරේ නිතර ගැවසුණු ආගන්තුකයකු වූ මෙතෙම සිය පදිංචිය ද එංගලන්තයට මාරු කෙළේය. 1947 දී වයස 21 පිරුණු කුමරිය හා ග්‍රීසියේ පිලිප් කුමරාත් අතර විවාහ ගිවිස ගැනීම සිදු විය. අනතුරුව ජෝජ් VI රජු විසින් පිලිප් කුමරාට එඩින්බරෝහි ආදිපාද පදවිය පිරිනැමිණ. 1947 නොවැම්බර් මස 20 වැනි දා මෙම යුවළගේ විවාහය චාරිත්‍රානුකූලව ඉතා උත්කර්ෂවත් ලෙස වෙස්ට්මින්ස්ටර් ඇබි දෙව් මැදුරේ දී සිදු කරන ලදි. ඔවුන්ගේ දෙටු පුත් චාල්ස් කුමාරයා 1948 නොවැම්බර් 14 වැනි දින උපත ලැබුවේය. 1950 දී ඈන් කුමරිය ද 1960 දී ඇන්ඩ්රූ කුමාරයා ද 1964 දී එඩ්වඩ් කුමාරයා ද එලිසබත්-පිලිප් යුවළට ලැබුණාහ.

1948 දී ප්‍රංසයේ චාරිකාවක යෙදුණු මේ රාජකීය යුවළ 1951 දී කැනඩාවේ හා වොෂිංටනයේ ද ඊළඟ වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යවල හා විජිතවල ද චාරිකාවක යෙදුණාහ. හදිසි ශල්‍යකර්මයකින් පසු පිය රජු මිය ගිය පුවත සැල වූයෙන්, රාජ්‍යභාරය ලත් කුමරියට චාරිකාව නවතා ආපසු ලන්ඩන් නගරයට ඒමට සිදු විය. 1953 ජූනි 2 වන දා එලිසබත් II රැජිනගේ අභිෂේක මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමලංකෘතව වෙස්ට්මින්ස්ටර් ඇබි දෙව්මැදුරේ දී පවත්වන ලද අතර ඕතොමෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේත් උතුරු අයර්ලන්තයේත් අධිරාජිනිය හා කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 50කත් නායිකාව ලෙස ප්‍රිවි කවුන්සලයේ දී දිවුරුම් දුන්නාය. අභිෂේකයෙන් පසු එලිසබත් රැජින සිය හිමියා ද සමඟ 1954 අප්‍රේල් මාසයේ දී නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දියානු දූපත්, උගන්ඩාව, ලංකාව යන රටවල චාරිකාවක යෙදුණාය. ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඕතොමෝ සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදි මෙරට අතීත ශ්‍රී විභූතිය විදහාපාන ඓතිහාසික ස්ථාන නරඹමින් දින 12ක් මෙහි සැරිසැරුවාය. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වී අවුරුදු 150ක් පමණ කාලයක දී එම රටින් අධිරාජයකු හෝ අධිරාජිනියක මෙහි පැමිණි ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම අවස්ථාවේ දී මහරැජින විසින් නිදහස් මන්දිරයේ දී ලංකා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. සෝල්බරි සාමිගෙන් පසු මෙරට ප්‍රථම සිංහල අග්‍රාණ්ඩුකාරයා වූ සර් ඔලිවර් ගුණතිලක මහතා එම පදවියට රැජින විසින් නිල කරන ලද්දේ එතුමිය මෙරට සංචාරය කළ අවධියේය. 1955 දී නෝර්වේ රටෙහි ද 1957 දී පෘතුගාලය, ප්‍රංසය, ඩෙන්මාර්කය හා ස්වීඩනය යන රටවල ද සැරිසැරූ රැජින විසින් 1957 කැනඩාවේ පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන ලදි. 1960 දී එලිසබත් රැජින විසින් තම පවුලේ සිහසුනට උරුමය කෙළින් ම නොලබන අය මවුන්ට්බැටන්-වින්සර් නාමය දරන බව හා කිරුළ දරන්නන් හා සිහසුන හිමි අය වින්සර් නාමයෙන් දත යුතු බව ද ප්‍රකාශයට පත් කරන ලදි.

1961, 1963, 1964 හා 1966 වර්ෂයන්හි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල චාරිකාවන්හි යෙදුණු එලිසබත් රැජින 1961 චාරිකාවේ දී ඉන්දියාව, පකිස්තානය, නේපාලය, ඉරානය, තුර්කිය, සයිප්‍රස් හා ඉතාලිය යන රටවල සංචාරය කළාය. එතුමියගේ 1965 ජර්මන් චාරිකාව විශේෂයෙන් සිහි කට යුත්තකි. අඩසියවසක් පමණ කාලයක් බ්‍රිතාන්‍ය අධිරාජයන් ජර්මනියට පා තැබීමෙන් වැළකී සිටි හෙයිනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එලිසබත්_II&oldid=11078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි