හෙන්රි හැව්ලොක් එලිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:45, 15 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1859-1939). ඉංග්‍රීසි ජාතික මනෝවිද්‍යාඥයෙකි; ලේඛකයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1859-1939). ඉංග්‍රීසි ජාතික මනෝවිද්‍යාඥයෙකි; ලේඛකයෙකි; අපරාධ විමර්ශන විද්‍යාඥයෙකි.

නැව් කපිතන්වරයකුට දාව 1859 දී සරේ ප්‍රදේශයෙහි ක්‍රොයිඩන්හි දී උපත ලැබූ එලිස්ගේ ළමා විය බොහෝදුරට ගත වූයේ මුහුදු ගමන්වලටය. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ගුරුවරයකු වශයෙන් සිව් වසක් ගත කළ පසු 1889 දී වෛද්‍යවරයකු වූ ඔහු එම වෘත්තියෙහි කටයුතු කෙළේ ඉතා ටික කාලයකි. ඉන් පසු හේ සාහිත්‍ය හා ශාස්ත්‍රිය කටයුතුවල නිරත විය. සිත් අදනා ශෛලියකින් රචනා සමූහයක් සම්පාදනය කළ හේ 1898 දී ‘ලිංගික මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යයන’ (Studies in the Psychology of Sex) නම් කාණ්ඩ 7කින් යුත් කෘතියේ ප්‍රථම කාණ්ඩය පළ කැරැවිය. එය අසභ්‍ය ග්‍රන්ථයකැයි පොත් වෙළෙන්දකුට විරුද්ධව පවරන ලද නඩුවේ දී එහි ඇති විද්‍යාත්මක වටිනාකම ගැන නිදහසට කී දෑ “කැත පොතක් විකුණාගැනීමට කියන රැවටිලි කතා” වශයෙන් විනිශ්චයකරු විසින් හඳුන්වනු ලැබීය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි පළ කැරැණු සෙසු කාණ්ඩ 1935 දක්වා ලබාගත හැකි වූයේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අයට පමණකි. එහෙත් මේ කෘතිය ලිංගික කරුණු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් එතෙක් පැවැති මෞනව්‍රතය බිඳ හෙළීමට සමත් විය. එලිස් විසින් අමුතුවෙන් තනන ලද පද කිහිපයක් ම සීක්මුන්ට් ෆ්‍රොයිඩ් සිය කෘතීන්හි යොදාගත්තා පමණක් නොව ලිංගික හා මනෝවිද්‍යාත්මක ප්‍රශ්න පිළිබඳව ලියුම් මගින් එලිස්ගේ අදහස් විමසීමට ද පුරුදුව සිටියේය. 1899 දී පළ වූ එලිස්ගේ ‘අපරාධකරු’ (The Criminal) නම් කෘතිය මනෝවිද්‍යාත්මක ලෙස අපරාධ හේතු සෙවීමේත් ඒවාට ප්‍රතිකර්ම යෙදීමේත් ලා ප්‍රථම බ්‍රිතාන්‍ය ප්‍රයත්නය ලෙස සැලැකිය හැකිය. 1892 දී පළ වූ ඔහුගේ ‘සෞඛ්‍යය ජනසතු කිරීම’ (The Nationalization of Health) නම් ග්‍රන්ථය බ්‍රිතාන්‍යයේ දැන් පවත්නා සෞඛ්‍ය සේවාවන් දිවැසින් දැක බලා ලියන ලද්දක් බඳුය. ස්ත්‍රීපක්ෂයේ අයිතිවාසිකම් හා නිදහසත් ලිංගික අධ්‍යාපනයත් අගේ කරමින් එලිස් විසින් ලියන ලද වැදගත් ග්‍රන්ථ කිහිපයකි. ස්වකීය අභිරුචීන්ට ලැදිකම් ඇති ඊඩිත් ලීස් නම් කාන්තාවක හා 1891 දී විවාහ වූ එලිස් එම විවාහ ජීවිතය මුල් කොට ‘මගේ ජීවිතය’ (My Life) නම් චමත්කාරජනක කෘතියක් ද කෙළේය. මහජන ප්‍රසාදය පිළිබඳ කිසිදු අපේක්ෂාවක් නොමැතිව ග්‍රන්ථ රාශියක් රචනා කළ හෙතෙමේ ජීව විද්‍යාත්මක ගැටලු නිරාකරණය කරනු වස් බෙහෙවින් වෙහෙස දැරීය.

(සංස්කරණය: 1974)