එල් ග්‍රේකෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:48, 15 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1541-1614 පමණ). ක්‍රීට් දිවයිනෙහි උපත ලබා ස්පාඤ්ඤයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1541-1614 පමණ). ක්‍රීට් දිවයිනෙහි උපත ලබා ස්පාඤ්ඤයේ විසූ ග්‍රීක චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ නියම නම වූයේ ඩොමේනිකෝස් තේයොටොකෝපූලොස් යන්නයි. ස්පාඤ්ඤයේ වාසයට යෑමෙන් පසු හෙතෙම “එල්ග්‍රේකෝ ” (ග්‍රීක්කාරයා) යන නමින් හැඳින්විණ. ඔහුගේ තුරුණු විය පිළිබඳ තොරතුරු අප්‍රකටය. ඔහු වැනිසියේ දී චිත්‍රශිල්පය හදාරා රෝමයට පැමිණ කලක් එහි සිතුවම් අඳිමින් විසූ බව කියනු ලැබේ. ඉතාලියේ ගතකළ කාලය තුළ දී ටිෂන්, ටිංටරෙටෝ, මයිකලැංජලෝ ආදීන්ගේ කෘතිවලින් ඔහුගේ චිත්‍ර ශෛලිය ප්‍රභාවිත වූ බව පෙනේ. 1576 තරමේ දී හෙතෙම ස්පාඤ්ඤයට ගොස් ටොලීඩෝ නගරයෙහි පදිංචි වූයේය.

ග්‍රේකෝ ස්පාඤ්ඤයෙහි පදිංචි වීමෙන් පසු ඔහුගේ ශෛලිය ඉතාලි චිත්‍රකලාවේ ආභාසයෙන් ක්‍රමයෙන් මිදී ස්වතන්ත්‍ර ඌරුවකට අනුව හැඩගැසිණ. මෙම චිත්‍ර ශිල්පියා ස්පාඤ්ඤයේ ගත කළ කාලය සම්බන්ධයෙන් ප්‍රථම වරට සඳහන් වනුයේ 1577 වර්ෂයයි. එම වර්ෂයේ දී ඔහු ටොලීඩෝහි සන්තෝ දොමිංගෝ එල් අන්තිගුවෝ දේවස්ථානයේ සිතුවම් ඇඳීම බාරගෙන එම කටයුත්ත ආරම්භ කෙළේය. මෙම දේවස්ථානයේ ග්‍රේකෝ ඇඳි සිතුවම් අතර ‘දේවමෑණියන්ගේ ස්වර්ගාරෝහණය’ නම් වූ චිත්‍රය විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙම චිත්‍රයෙහි ද තත්කාලීන ඉතාලි චිත්‍ර කලාවෙහි ආභාසය දක්නා ලැබෙන නමුත් එහි අපූරු විශේෂත්වයක් ද වෙයි. ඔහුගේ කලා කෞශල්‍යයෙහි පරිණතභාවයක් මෙම චිත්‍රයෙහි දැක්වෙන බව විචාරකයන්ගේ මතයයි.

ඔහුට ආවේණික වූ ශෛලිය කුළුගැන්වුණු පළමු වැනි කෘතිය වශයෙන් සැලකෙන්නේ ටොලීඩෝහි සත්තෝ තොමේ දේවස්ථානය සඳහා 1586 දී නිම කරන ලද ‘ඕර්ගාස් කවුන්ට්වරයාගේ මළගම’ නම් වූ චිත්‍රයයි. මෙම චිත්‍රයට විෂය වූයේ 14 වැනි සියවසෙහි ටොලීඩෝහි විසූ ප්‍රභූවරයකු මියගිය අවස්ථාවෙහි ඔහුගේ යහපත් කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් ස්ටීවන් සහ ඔගස්ටින් යන සාන්තුවරයන් දෙදෙනා නගරයේ ප්‍රභූපිරිස ඉදිරියේ ප්‍රාදුර්භූත වී ඔහුගේ මෘතදේහය භූමදානය සඳහා ඔසවාගෙන යෑමේ ප්‍රාතිහාර්ය යයි. ‘සාන්ත ජෝසප් සහ දරුවා’, ‘සාන්ත මාටින් සහ යාචකයා’ යන චිත්‍ර දෙක ද ග්‍රේකෝගේ ශෛලියෙහි පරිණතිය දැක්වෙන චිත්‍ර අතුරෙහි ලා ගැනේ.

ඔහුගේ ශෛලියෙහි විකාසනයේ අවසාන අවධියේ අඳින ලද ඉතා වැදගත් චිත්‍ර තුනක් නම්, ‘පෙන්තකොස්ත හෙවත් ශුද්ධාත්මයේ පහළ වීම’ ද ‘ලෙයොකෝන්’ ද ‘ටොලීඩෝ නගරයෙහි දර්ශනය’ ද වේ. මෙකී ‘ලෙයොකෝන්’ නම් චිත්‍රයෙන් දැක්වෙන්නේ ට්‍රෝයි නුවර ඇපොලෝ දෙවියන්ගේ පූජකයකු වූ ලෙයොකෝන්ට හා ඔහුගේ පුතුන් දෙදෙනාට ඔවුන් කළ වරදක් සඳහා ඇපොලෝ සහ ආටෙමිස් යන දෙවියා සහ දෙව්දුව විසින් දඬුවම් පමුණුවන ලද ආකාරයයි.

ග්‍රේකෝ විසින් ජීවාලේඛ්‍ය (portraits) රාශියක් ද අඳින ලදි. එම ආලේඛ්‍ය අතුරින් ෆ්‍රැන්සිස්, ජෙරෝම් යන සාන්තුවරයන් දෙදෙනාගේ රූප ද ෆෙර්නාන්ඩෝ නිඤෝ ද ග්වෙවාරා නම් වූ කාඩිනල්වරයාගේ රූපය ද කවියකු මෙන් ම රාජසභාවේ දේශක කෙනකු ද වූ හෝටෙන්සියෝ ෆේලික්ස් පාරාවිචිනෝගේ රූපය ද විචාරකයන්ගේ විශේෂ සම්මානයට පාත්‍ර වී ඇත.

එකල ආගමික උද්‍යෝගයෙහි හා ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරයෙහි උපරිම අවස්ථාවට එළඹ තුබූ ස්පාඤ්ඤයේ විසූ භක්තිමත් ජනයාගේ පරමාධ්‍යාශය වූයේ දෙවියන්වහන්සේ හා ගූඪාත්මක එකීභාවයක් ඇති කරගැනීමයි. එබඳු තත්ත්වයකට අත්‍යන්තයෙන් ම අනුරූප වූ ආගමික වූත් ගූඪ වූත් මානසික පරිසරයක් මවාලන අයුරෙන් සංකේතාත්මක ලෙස වක් කොට දික් කොට අඳින ලද විකෘත රූප එල් ග්‍රේකෝගේ අද්විතීය චිත්‍ර ශෛලියේ විශේෂ ලක්ෂණයක් විය. භෞතික නොව ආධ්‍යාත්මික අභිප්‍රායක් සඳහා ඔහු විසින් වස්තූන්ගේ නියම පාට විපරීත කොට ඒ වස්තු චිත්තස්වභාවය පිළිබඳ සංකේත බවට පරිවර්තනය කරන ලදි. ඔහුගේ පරිණත කෘතීන් බොහොවක අද්භූත වූ පාරලෞකික ස්වභාවයක් දක්නට ලැබේ. එල් ග්‍රේකෝගේ චිත්‍රයන්හි ඇති මේ සියලු විශේෂතා සැබැවින් ම අවශ්‍ය කලාත්මක පරමාර්ථයක් ඉටු කරගැනීම පිණිස දැනදැන යෙදු ශිල්පක්‍රම විනා උමතු ගූඪවාදියකුගේ විකාර නොවේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එල්_ග්‍රේකෝ&oldid=11090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි