ජේකබ් එප්ස්ටයින්
ඔහුගේ මූර්ති ක්‍රමය ග්‍රීක, මිසර හා පොලිනීසියානු ශෛලීන්ගෙන් ද විශේෂයෙන් ඝනවිභාගවාදී සම්ප්‍රදායෙන් හා අප්‍රිකානු නීග්‍රෝ මූර්ති ශිල්පයෙන් ද ආභාසය ලැබ සකස් කරගත් එකකි.
පළමුවෙන් ම ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ 1908 දී විශාල ශෛලමය ප්රතිරූප අටළොසකින් ලන්ඩන්හි බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ගොඩනැඟිල්ල සැරසීම හේතුකොටගෙනය. පැරිසියේ ඔස්කා වයිල්ඩ් සොහොන් ගැබේ විශාල ස්ෆිංක්ස් කැටයම (1911), ලන්ඩන්හි හයිඩ්පාක් උද්‍යානයේ හඩ්සන් ස්මාරකය (1925) හා එනුවර ප්‍රවාහණ කටයුතු ගොඩනැඟිල්ලේ දවාල හා රාත්‍රිය නිරූපණය කරන කැටයම් දෙපෙළ (1929) ද ඉරුදෙවි රූපය (1931), ඇමෙරිකානු සෙබළා (1917), වීනස් දෙව්දුව (1917), මව සහ ළදරුවා (1913) යන මූර්ති ද එප්ස්ටයින්ගේ වෙනත් උසස් නිර්මාණ අතර වේ. 1916 පමණේ සිට ප්රතිරූප විශාල සංඛ්‍යාවක් නෙළීමෙන් එප්ස්ටයින් ඉමහත් කීර්තියක් ලද්දේය. ඔහු කළ ටී.ඇස්. එලියට්, පෝල් රෝබ්සන්, ඇල්බට් අයින්ස්ටයින්, ජෝජ් බර්නාඩ් ෂෝ, සොමසෙට් මෝම්, විලියම් බ්ලේක්, වින්ස්ටන් ච’චිල්, ජවහර්ලාල් නේරු, ඉතියෝපියාවේ හෛල සෙලාසි අධිරාජයා ආදීන්ගේ ප්රතිරූප විශිෂ්ට සේ සැලකේ. එප්ස්ටයින්ගේ ආගමික නිර්මාණ අතුරෙහි ක්‍රිස්තුස්වහන්සේ හා දේවමෑණියන් දක්වන ප්රතිරූප කිහිපයක් ම ඇත. දේවමෑණියන් හා ජේසු බිළිඳා දක්වන පුද්ගල ප්‍රමාණයේ වූ නිර්මාණය විශිෂ්ට වූවකි. ‘උත්පත්ති කථාව’ (1935), ආදම් (1939), විභූතිමත් ක්‍රිස්තුස්වහන්සේ (1957) යන මූර්ති මේ ගණයේ වෙනත් වැදගත් නිර්මාණ අතුරෙහි වේ. ස්මාරක හා ගොඩනැඟිලි සඳහා එප්ස්ටයින් නිම කළ නිර්මාණ වැඩිහරියක් ශෛලමය නිර්මාණ වන අතර ඔහු නෙළුැ ප්රතිරූප බොහොමයක් ලෝකඩ මාධ්‍යයෙන් නිම වූ ඒවාය. ස්වාභාවික අලංකාරය කෙරෙහි වැඩි ඇල්මක් නොදැක්වූ එප්ස්ටයින් නෙළුැ ප්රතිරූප රළු මුහුණුවරකින් යුක්ත විය. ඒවා විසිතුරු බවින් තොර වුව ද හැඟීම් දැනවීමෙහි ලා අතිශයින් පොහොසත් විය.
(සංස්කරණය: 1974)
